සිංහල, Colombo, Democracy, Features, Governance, Media

නිල් පාටට බයවූ, ‛පෝස්ටර් මාරයා’,

Poster Yaka publish

‛කොහේද යකෝ මේ ලොරිය එන්නේ.’ මාත් සමඟ යමින් සිටි මිතුරා කෑ ගැසීය. දිනය ඔක්තෝබර් 12 වෙනිදා, වේලාව 6.30ට විතර ඇති. කොළඹ, මල් පාර දෙසින් පුස්තකාල මංසන්දිය දෙසට එමින් සිටි අප දෙදෙනාම එක පයින් පේමන්ට් එකෙන් පාරට පැන්නේය. ඒ ලොරියෙන් බේරීම සඳහාය. අප ඉදිරියේ නතර වූයේ ලොරියකි. පුදුමයකි. එම ලොරියේ ඉදිරිපස විශාල අකුරින් ‛පෝස්ටර් මාරයා’ ලෙස සටහන් කර ඇත. මෙය කොළඹ නගර සභාවේ පෝස්ටර් ඉවත් කරන වාහනය බව අපට එක්වරම අවබෝධ වූයේ ය.

කඩිමුඩියේ ලොරියෙන් බැසගත් දෙදෙනකු අප දකුණු පසින් ඇති තාප්පය දෙස උනන්දුවෙන් බලනු පෙනිනි. ‛සර් 13වෙනිදා එකක්, මොන පාටද? වාහනය තුළ වූ කටහඩ අවදි විය. නිල්පාට සර්. යකෝ ගලවන්ට එහෙම එපා. ආණ්ඩුවේද බලපන්? නැවතත් කටහඬ අවදිවිය. ඔව් සර් නිල්පාට….’ පාරේ සිටි මිනිසුන් දෙදෙනා ඉක්මනින් ලොරියට ගොඩවිය. වේගයෙන් ලොරිය කොල්ලුපිටිය දෙසට ගමන් කරන්නට විය.

පෝස්ටර් තවම තාප්පයේ ය. ‛13’, ‛නිල්පාට’, අප විපරමින් එම පෝස්ටර් කියවීය. එය ආණ්ඩුවේ පෝස්ටරයකි. පෝස්ටරයක් නොවේ. පෝස්ටර් තාප්පයකි. එහි සටහන්ව ඇත්තේ ‛ආරාධනාවයි. ජනසෙවන, සුවපහසුව සමාරම්භක උළෙල යනුවෙනි.

ඕනෑම නගරයක අලංකරණය පිණිස අනවසර තැන්වල පෝස්ටර් වැනි දේ ඇලවීම හෝ සවිකිරිම තහනම් ය. බොහෝ පළාත්පාලන ආයතනවල ඒවා ඇලවීමට විශේෂ ස්ථාන ඇත. එවායේ ඇලවීම හෝ සවිකිරීම සඳහා එම පළාත්පාලන අයතනයෙන් අවසර ලබා ගත යුතුය. නැතිනම් එම ආයතනය විසින් එම පෝස්ටර් හෝ දැන්වීම් ඉවත් කරනු ලබයි. නමුත් පළාත්පාලන ආයතනයකට අනවසර තැන්වල පෝස්ටර් හෝ එවැනි ද්‍රව්‍යය ඉවත් කිරිමට එම පෝස්ටරයේ තිබෙන්නේ කුමක්ද? කවුරුද එය අලවන ලද්දේ යන දේවල් බැලීමට ඇති නීත්‍යානුකූල පදනම කුමක්ද? අනවසර තැන්වල ප්‍රදර්ශනය කලානම් එය අනවසර ක්‍රියාවකි. එය කලේ කවුදැයි බැලීමට එම පළාත්පාලන ආයතනයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන මෙම ආයතනවලට එයට කිසිසේත්ම අයිතියක් නැත.

කෙසේ වෙතත් ‛පෝස්ටර් මාරයා’ මේ නිල්පාට පෝස්ටරයට බිය වූයේ ඇයි. එය නිල් පාට නිසාද, එහි ජනාධිපතිතුමාගේ සහ අනිකුත් ඇමතිවරුන්ගේ රුව තිබුනු නිසාද?
එම මාර්ගයේම අනවසර තැන්වල අලවා තිබු අනිකුත් පෝස්ටර් ඉවත් කරනු ලැබූවේ එහි එම රූපයන් නොතිබුනු නිසාද?

අපේ අත්තම්මා කියා දුන් පැරණි කතාන්තරයක කොටසක් මතකයට නැගේ. ‛‛රජතුමාගේ රාජ්‍යයේ රජතුමාට අයත්, රජතුමාගේ නෑදැයෙකුට අයත් හෝ රජතුමාගේ රුව තිබෙන චංචල හෝ නිශ්චල කිසිදු දේපලක් විනාශ කිරීම, සොරකම් කිරීම, හානි කිරිම, ජීවිතාන්තය දක්වා දඬුකදේ ලෑමට හෝ හිසගසා මරා දැමීමට අයත් වන වැරුද්දකි.’’