සිංහල, Colombo, Democracy, Human Rights, Media

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනිම ජනතාවගෙන් තොරතුරු වසංකිරීමේ උත්සාහයකි – මාධ්‍ය සංවිධාන

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සෙකා මහතා අතර ගැටුමක් පවතින බව හැඟවෙන පුවතක් ජනතා විමුක්ති පෙරමුණේ සතිඅන්ත පුවත්පත වන ලංකා පත්‍රයේ පළවුයේ යැයි චෝදනාව මත එහි කතෘ චන්දන සිරිමල්වත්ත සහ මාධ්‍යවේදී ප්‍රියන්ත ලියනගේ යන මහත්වරුන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය මර්ධනයේ තවත් අවස්ථාවක් බව එය තරයේ හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරන මාධ්‍ය සංවිධාන පහක් නිකුත් කළ පුවත්පත් නිවේදනයක දැක්වේ.

ඔක්තෝබර් 16 වෙනි සිකුරාදා ආණ්ඩුව ජනතාවට තොරතුරු දැනගැනිමට ඇති මූලික අයිතිය උදුරා ගැනිමේ තවත් පියවරක් තබමින්, ජෙනරල් සරත් ෆොන්සෙකා හා ආණුඩුව හා සම්බන්ධ පුවත් පළකරන මුද්‍රිත හා විද්‍යුත් යන සියලුම මාධ්‍යයට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවට අනතුරු හඟවන රජයේ නිවේදනයක් ප්‍රකාශයට පත්කළ දාට පසුදිනම මෙම මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම අනෙකුත් සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙන්ම රටේ දේශිය හා විදේශීය මාධ්‍යවේදීන් බියගැන්විමේත්, ජනතාවගෙන් තොරතුරු වසන් කිරීමේත්, ඒ සඳහා පුවත් පලකිරීම පාලනය කිරීමේත් ආණුඩුවේ මාධ්‍ය මර්ධන වැඩපිළිවෙලේ තවත් පියවරක් බව පවසන මාධ්‍ය සංවිධාන වහාම මේ මර්ධනය නැවැත්විමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
‛‛ආණ්ඩුව ජනරාල්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි’’ යන ශීර්ෂ පාඨය යටතේ ලංකා පුවත් පත පසුගිය සිකුරාදා සිය ප්‍රධාන ප්‍රවෘත්තිය පළ කර තිබූනි. ලංකා පුවත්පතට අමතරව තවත් පුවත් පත් කිහිපයක්ද ඇමතිවරුන්ගේ ප්‍රකාශ පළකරමින් ජනරාල්වරයා හා ආණ්ඩුව අතර ගැටුමක් පවතින බවට වන ප්‍රවෘත්ති පළ කරන ලදි. පසුව පසුගිය සිකුරාදා සවස යුදහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් උයද නානායක්කාර මහතා විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ රජය හා ජනරාල් ෆොන්සෙකා අතර කිසිදු ගැටුමක් නොමැතිබවත් ගැටුමක් ඇතැයි බොරු ප්‍රවෘත්ති පළකරන සියලු මාධ්‍යට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.