Colombo, Democracy, Features, Governance, Politics and Governance

වාර්ගික-ආගමික ෆැසිස්ට්වාදය සහ රැකවරණය සැලසීමේ වගකීම පිළිබඳ උගුල: පසුතලයේ තතු

මෑත මහරගම ප‍්‍රකාශනය පිළිබඳව ලියැවුණු වාර්තා කියවන විට, දේශපාලන විද්‍යාඥයෙකු ලෙස මට, අප දකිමින් සිටින්නේ සිංහල සමාජයේ අඳුරු පත්ලෙන් වාර්ගික-ආගමික ෆැසිස්ට් ව්‍යාපාරයක් පැන නැගීමට අඩු දෙයක් නො වේ ය යන පැහැදිලි, ඒකාන්ත නිගමනය මගහැරිය නොහැකි ය. දේශපාලන දාර්ශනිකයන් වන හැනා අරෙන්ද් සහ රයින්හෝල්ඞ් නීබුර් (සහ වඩා මෑත දී ඇලන් වුල්ෆ්) ‘දේශපාලන නපුර’ ලෙස විස්තර කරන්නේ එය යි. (ජනාධිපති රාජපක්ෂ හිට්ලර් ශෛලියේ ෆැසිස්ට්වාදියෙකු ලෙස හඳුන්වමින් අනල්ප විවාදාත්මක ජවයක් සහ ප‍්‍රහාරයක් කැප කළ අය හමුවේ, දැන් වඩා සමීපව එවන් සැබෑ ව්‍යාපාරයක් පවතින්නේ ය.)

55(2)

එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව සහ විශාලතම සමාජවාදී විකල්පය බිඳ වැටීමෙන් පසුව මතුව එමින් පැවති ඒකකේන්ද්‍රික ලෝකය තුළ උමතුවෙන් ඇළලූණු ජනවාර්ගික හෝ වාර්ගික-ආගමික ව්‍යාපාර ගෝලීය පරිමාණයකින් පෙරමුණට ආවේ ය. ඒ අයුරින් ම දැන් ශ‍්‍රී ලංකාව ද, පශ්චාත් යුද සමයේ අපගේ දේශපාලන පද්ධතිය ඒකකේන්ද්‍රික වීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පය වැඩි හැලහොල්මනකින් තොරව අභ්‍යන්තරව පුපුරා යාම නිසා ඇති වුණු රික්තය සමග මතුව එමින් සිටී.

මෙම ව්‍යාපාරය පැන නැගීමට හේතු වුණු සංයුක්ත තත්ත්වය හට ගන්නේ සාධක පහක් එකතු වීමෙන් බව වඩා සමීපව විමසා බලන විට පෙනේ:

1. රජයේ පාර්ශ්වයෙන්, කල් තියා අනුග‍්‍රහ දැක්වීම නො වේ නම්, කාරුණිකව ඉවසා දැරීම. මෙම සංසිද්ධියේ පෙරනිමිත්තක් වූයේ, ආණ්ඩුවේ කොටස්කරුවෙකු වන පක්ෂයකින් උසි ගැන්වුණු සහ දැන් නව සටන්කාමී ව්‍යාපාරයක් සඳහා කෙරෙන ඉල්ලීම් සමග පෑහෙමින් තිබෙන මුස්ලිම් විරෝධී ප‍්‍රචාරක ව්‍යාපාරය යි. අන්තවාදී ව්‍යාපාරයට නිවහන වන මූලික ස්ථානයක් වන කොළඹ තුළ මෙම ව්‍යාපාරය ඉතා වේගයෙන් වර්ධනය වීම ද පෙන්නුම් කරන්නේ ඊට අනුග‍්‍රහ ලැබෙන බව යි.

2. ජාතික දේශපාලන නායකත්වයේ පාර්ශ්වයෙන්, සියලූ දෙනා ඇතුළත් කර ගත්, බහුත්වවාදී රාජ්‍ය තාන්ත‍්‍රික ස්වරූපයේ ආස්ථානයක් සහ විවරණයක් නොමැතිකම සහ එවැනි ආස්ථානයක් ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම. ඒ වෙනුවට, තව තවත් වෛරී බෙරිහන් දීම්වලට සහ පාලන තන්ත‍්‍රය සහ රාජ්‍යය බිය ගන්වා තර්ජනය කිරීමට මග පාදමින් තව තවත් සටන්කාමී ප‍්‍රකාශ ඉදිරිපත් වීම යුක්ති සහගත කරන, බහුතරවාදී මිලිටරිවාදයට අයත් ‘ආධිපත්‍යධාරී විවරණයක්’.

3. මධ්‍යස්ථ ජාතිකවාදී සහ සාමාජීයව ප‍්‍රගතිශීලී, එනම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරුදධ පාර්ශ්වයක් නොමැතිකම. විරුද්ධ පාර්ශ්වය සිටින්නේ, කිසි යම් පක්ෂයක සාම්ප‍්‍රදායික සහායක පදනම එය හැර ගිය විට ඇති වන්නේ යැයි අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි නිර්වචනය කළ, දිග් ගැසුණු ‘ඓන්ද්‍රීය අර්බුදයක්’ පිළිබඳ සිතිවිලිවල නිමග්න වී ගෙන ය. විරුද්ධ පාර්ශ්වීය ඓන්ද්‍රීය අර්බුදයේ මූලයන් පවත්නේ, එම විරුද්ධ පාර්ශ්වීය නායකත්වයේ අනෛන්ද්‍රීය/ඓන්ද්‍රීය නොවන ස්වභාවය සහ ”ජනතාවගේ-ජාතියේ සාමූහික කැමැත්ත” (ග‍්‍රාම්ස්චි) නියෝජනය කරන ඓන්ද්‍රීය විරුද්ධ පක්ෂයක් පහළ නොවීම තුළ ය.

4. තමන්ට සංඥාව දී තිබෙන නිසා හෝ සුලූතරයන්ගේ සංස්කෘතීන් පාලනය කිරීම සහ බහුතරවාදී ධර්මතාවන් පැටවීම නීත්‍යනුකූල ය, සැබවින් ම තම කාර්ය භාරය සහ කාර්යය වන්නේ එය ය යන අදහස චින්තනය අරක් ගෙන තිබීම නිසා බහුතරවාදී ස්වභාවයක් ගත් අන්තවාදී ව්‍යාපාර පිළිබඳව පරීක්ෂණ නොපවත්වන, තව මත් ඒවාට එරෙහිව අඩුවෙන් පියවර ගන්නා, නීතිය බලාත්මක කරන නිලධාරීන් වැනි රජයේ බලධාරීන් නිහඬව කරන කුමන්ත‍්‍රණ.

5. මාවත් තුනකට, එකක් විමල් වීරවංශ නායකත්වය දෙන ජනතාවාදී දකුණ සහ අනෙක රැඩිකල්වාදී වම හෙවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය/…….. ලෙස බෙදා, වම – මා අදහස් කරන්නේ ජවිපෙ – දුර්වල කිරීම සහ ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනාගතය රැඳී තිබෙන්නේ එක්සත් පෙරමුණක් හෝ ක‍්‍රියාකාරී හවුලක් ගොඩ නැගීම මත වුව (එය නිසැක වුව) කට්ටිවාදී බව නිසා එවැන්නක් කිරීමට එම පක්ෂවලට පවත්නා නොහැකියාව.

නව ව්‍යාපාරය ‘පිටුපස’ සිටින්නේ කවුරුන් ද යන්න වත්, ඔවුන් මෙහෙයවෙන්නේ කිනම් චේතනාවලියකින් ද යන්න වත් මම නො දනිමි, එය අනුමාන කිරීමට මම සැලකිලිමත් නො වෙමි. මට කළ හැක්කේ, මෙම ආගමික-ෆැසිස්ට්වාදී සැඩ පහරේ ප‍්‍රතිවිපාක මොනවා වනු ඇත් දැයි දැනුම සහ අත්දැකීම පදනම් කර ගෙන අනුමානයක් කිරීම පමණකි. මින් අනතුරුව කතා කළ යුත්තේ පසුතලය සැකසෙමින් තිබෙන ආකාරය ගැන නම්, භූමිය පුරා තෙල් පැතිර ගොස් තිබෙන බවත්, එක ගිනි කූරකින්, එක ගිනි පුළිඟුවකින්, කොතරම් සුලූ පරිමාණ වුව එක සිදුවීමකින්, ගැටුමට සහ සමාජය දෙපසට බෙදා ලීමට හේතු වන සමස්ත නව චක‍්‍රයකට මුල පිරී, ප‍්‍රචණ්ඩ ඝට්ටනයක් පුපුරා යා හැකි බව කිව යුතු ය.

සිංහලයන් වන අප සහ අපගේ මුස්ලිම් සගයන් මානසිකව බෙදා වෙන් කෙරෙනු ඇත, අපගේ දෙමළ පුරවැසියන් සහ අප දැනුදු අසමත්ව සිටින්නාක් මෙන් ම, දෙපාර්ශ්වයට එක එල්ලේ මුහුණට මුහුණ බැලිය නොහැකි වනු ඇත.

නව සිංහල බෞද්ධ රැඩිකල්වාදය, මධ්‍යස්ථ මුස්ලිම් නායකයන් සහ කණ්ඩායම් මග හරිමින් ශ‍්‍රී ලංකාව තුළ මුස්ලිම් රැඩිකල්වාදයේ බීජ වපුරනු ඇත. ප‍්‍රතිගාමී මුස්ලිම් රැඩිකල්වාදය, විශේෂයෙන් ම දකුණු ආසියාව තුළ ශක්තිමත් ගෝලීය ජිහාඞ් ව්‍යාපාරය වෙත ප‍්‍රබල ආකර්ෂණයකට තුඩු දෙනු ඇත.

ඉතුරුපහදුව සිටින එල්ටීටීඊ කොටස් මුස්ලිම් රැඩිකලූන් වෙත ළඟා වනු ඇත, තමිල්නාඩුවට ප‍්‍රවේශ වීමේ හැකියාව ද ඇතුළු සම්පත් ඒකරාශී වීම සහ ශ‍්‍රම විභජනය නිසා, ශ‍්‍රී ලංකාවට එරෙහි මෙහෙයුම් වර්ධනය කිරීමට ඒ ඒ පාර්ශ්වයට හැකියාව ලැබෙනු ඇත, එගින් දැන් අප භුක්ති විඳින අසීරුවෙන් දිනා ගත් සාමය අවසන් වනු ඇත.

ශ‍්‍රී ලංකා සන්නද්ධ හමුදා තුළ සිටින බොහෝ මුස්ලිම් නිලධාරීන් සහ භටයන් අතර හට ගන්නා අපේක්ෂා භංගත්වය නිසා හමුදාවන් බලපෑමට ලක් වනු ඇත.

සියකෝටි සංඛ්‍යාත බැතිමතුන් නියෝජනය කරන, දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය යුද්ධය අතරතුර දී ශ‍්‍රී ලංකාවට ස්ථිරසාර සහායක් ලබා දුන් රාජ්‍යයන් ද ඇතුළත් ඉස්ලාමීය සම්මේලන සංවිධානයේ සහාය ශ‍්‍රී ලංකාවට අහිමි වනු ඇත.

Presidnet Mahinda Rajapaksa speaking to Bodu Bala Sena
Presidnet Mahinda Rajapaksa speaking to Bodu Bala Sena

සිංහල බෞද්ධ අන්තවාදී සැඩ පහර ගලා යන්නේ ශ‍්‍රී ලංකාව තුළ ඉස්ලාමීය ත‍්‍රස්තවාදයේ කිසි ම සලකුණක් නොමැති තත්ත්වයක බැවින්, අප රට තුළ ඛේදවාචකයට මුල පිරුණේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය නිසා නො ව සිංහල අන්තවාදය එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට මග පෑදූ නිසා බවට උදාහරණයක් ලෝක මතය හමුවේ ඉදිරිපත් විය හැකි ය. දෙමළ ඩයස්පෝරාව තුළ සිටින බෙදුම්වාදී කොටස්, මහරගමට සීරුවෙන් ඇඟිල්ල දිගු කොට, අපට සිදු වූයේ, අපට කළේ සහ දෙමළ බෙදුම්වාදයට එරෙහි යුද්ධය අතරතුර දී සහාය දුන් මුස්ලිම්වරුන්ට දැන් කරන්නේ, මේ යැයි පවසනු ඇත. සදාචාර-ආචාර ධර්මාත්මක දෝෂාරෝපණය, දකුණ සහ සිංහලයන් කරා මාරු වනු ඇත.

සතුරා වන්නේ ක‍්‍රිස්තියානි මූලධර්මවාදීන් (එනම්, ඉවැන්ජලිකානුවන්) බවටත්, කතෝලිකයන් ඔවුන්ට එරෙහිව බළමුළු ගැන්වී ගත යුතු බවටත් සිංහල බෞද්ධ වර්ගවාදීන් කරන අනුශාසනය සිහි නුවණ ඇති කිසි කෙනෙකුගේ පිළිගැනීමට ලක් නොවන බැවින්, කතෝලිකයන් සහ සමස්ත ක‍්‍රිස්තියානුවන් ඇතුළු අනෙක් සුලූතරයන්ගේ බියසැක වැඩි විය හැකි ය. 2003 වසරේ නත්තල් සමයේ දී සියලූ නිකායවලට අයත් සියලූ දේවස්ථානවලට එල්ල කළ ප‍්‍රහාරවලින්, තෙරේසා මව් තුමියගේ පර්ෂදයට අයත් තපස්වරියක අත් අඩංගුවට ගැනීමෙන්, මරිය තුමියගේ පිළිරුවට ගිනි තැබීමෙන් සහ ඉන් පසු සමය තුළ (දැනට මත් මැල්කම් රංජිත් රදගුරු තුමන් නිකුත් කළ නිල හෙළා දැකීමේ නිවේදනයකට ගොදුරුව සිටින) බලධාරීන්ගේ කල්ක‍්‍රියාවෙන් පැහැදිලි වූයේ, ක‍්‍රිස්තියානුවන් ප‍්‍රජාවක් ලෙස ඉලක්ක කර ගැනෙන බව සහ දැනට මත් ඉලක්කයක්ව සිටින බව යි. දෙසියකෝටි සංඛ්‍යාත බලගතු ගෝලීය ප‍්‍රජාවක කොටසක් වන සුලූතරයක් පිටස්තරයන් බවට පත් වීමෙන් සිදු වන්නේ, ශ‍්‍රී ලංකාව සහ සිංහලයන් හුදකලා කිරීමට මාන බලන්නන්ට උදව්වක් ලැබීම පමණකි.

මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී නව සැඩ පහරින් සිදු වනු ඇත්තේ, නව ඊස්රායලයක් ලෙස පින්තාරු කර ගැනීමට සහ එවැන්නක් බවට පත් වීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලබා දීම නො ව, රැකවරණය සැලසීමේ වගකීම (ආර්2පී) උගුලට ශ‍්‍රී ලංකාව හසු කර ගැනීමට දිගු කලක් තිස්සේ ප‍්‍රයත්න දරා ඇත්තවුන්ගේ තර්ක තහවුරු වීම පමණකි. රැකවරණය සැලසීමේ වගකීම පිළිබඳ සංකල්පය පදනම් වන්නේ, කිසි යම් රාජ්‍යයක්, ජනවාර්ගික ශුද්ධයකට සමාන විශාල පරිමාණයේ ප‍්‍රචණ්ඩත්වයකින්, තම පුරවැසියන් හෝ තම පුරවැසියන්ගෙන් සැලකිය යුතු කොටසක් ආරක්ෂා කිරීමට උනන්දු නොවන්නේ ය හෝ අසමත් ය යන කරුණ මත ය. ආර්2පීය ආරක්ෂක මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කළ යුතු යැයි ඉල්ලා සිටින බව සත්‍යයක් නමුත්, ආර්2පී හෝ පූර්ව ආර්2පී තර්ක යොදා ගනිමින් කෙරෙන මැදිහත් වීම්වලට එවැනි බලයක් නොමැති බව පොදු නිරීක්ෂණය යි.

සිංහල වර්ගවාදී සැඩ පහර තුළ කා වැදී සිටින ළිං මැඩි ‘මූලෝපායාත්මක චින්තකයන්’ හෝ එම චින්තනය බලපත‍්‍රයක් ලෙස ප‍්‍රයෝජනයට ගන්නන්, මුස්ලිම් විරෝධී ආස්ථානයක් ගැනීමෙන් සිංහලයන්, රාජ්‍යය හෝ රට බටහිරට ගැති වනු ඇතැයි කල්පනා කළ හැකි ය. බටහිරයන් සෝවියට් සංගමයට එරෙහිව ඇෆ්ඝනිස්ථානයේ ජිහාඞ්වරුන්ට සහාය දුන් බව, ලිබියානුවන් සහ සිරියානුවන් බටහිරයන් සතුරුකම් පාන රාජ්‍යයකට හෝ පාලන තන්ත‍්‍රයකට එරෙහිව සටන් වදිමින් සිටිය දී තම අවශ්‍යතාවන්ට පවා එරෙහිව යමින් ලිබියාව සහ සිරියාව තුළ දැනටත් එය කරන බව, මේ මහත්වරුන් සහ නෝනාවරුන් දන්නා බවක් නො පෙනේ. (කවර හෝ ආකාරයකින් ස්වයං විනාශයකට ලක් වීමට බිහිව තිබුණු) යුගෝස්ලාවියාව වනසා බොස්නියාව සහ කොසෝවෝව ලෙස ඉස්ලාමීය බහුතර රාජ්‍යයන් දෙකක් බිහි වීමට පහසුකම් සපයමින් ක‍්‍රිස්තියානි සර්බ්වරුන් මත බෝම්බ හෙළුැ බව ද සිංහල වර්ගවාදියෝ නො දනිති. බහුජනවාර්ගික, බහුආගමික යුගෝස්ලාවියාව තුළ ආධිපත්‍යය දැරීමට දැරූ උත්සාහයේ දී, (සිය පූජනීය ස්ථාන සහිත කොසෝවෝව ද ඇතුළු) තම රටේ සර්බියානු නොවන කොටස් අහිමිව ගොස්, සර්බ්වරු ඔවුන්ට ඓතිහාසිකව බහුතරයක් සිටි ප‍්‍රදේශයට පමණක් සීමා වූහ.

1983 කළු ජුලියේ ප‍්‍රචණ්ඩත්වයක්

A scene of violence during 1983 Black July
A scene of violence during 1983 Black July

සමාජයේ භූ චලන කාරක තැටි එකිනෙකින් වෙන්ව චලනය වීම ආරම්භ වන්නේ නම්, වෙන්ව තමන් රිසි අතක චලනය වන්නේ නම්, ඒ කවර හෝ තැටියක් ඉවතට තල්ලූ කෙරෙන්නේ නම් හෝ ඒ තැටියකට පමණ ඉක්මවූ පීඩනයක් දරා සිටීමට සලස්වන්නේ නම්, කිසි ම හමුදා ජයග‍්‍රහණයක්, 2009 වසරේ මැයි මාසයේ ලද තීරණාත්මක ජයග‍්‍රහණය වැන්නක් පවා, කල් පැවතිය නොහැකි ය. ශ‍්‍රී ලංකාව දකුණු ආසියාව තුළ ඊස්රායලය බවට පත් නොවනු ඇත. තම සියලූ සුලූතරයන් මත සිංහල බෞද්ධ ආධිපත්‍යය පැතිරවීමට පවත්නා පෙලඹීමෙන් සිදු විය හැක්කේ එය දකුණු ආසියාව තුළ සර්බියාවක් බවට පත් වීම යි. මෙම බහුජනවාර්ගික, බහුආගමික, බහුභාෂීය රට සිංහල බෞද්ධ රටක් මිස අනෙකක් නො වේ යැයි බලාත්කාරයෙන් සහ ඒකපාර්ශ්වීයව ප‍්‍රතිනිර්වචනයක් කළ හොත්, එය මෙම අනාගත වාක්‍යය උත්ප‍්‍රාසාත්මක ලෙස සපුරාලන්නක් බවට පත් විය හැකි ය: එනම්, රට සිංහල බෞද්ධ මධ්‍ය භූමිය/හදබිම කරා හැකිළීම හෝ ලෝකය රට ඒ දක්වා හැකිළවීම මිස අනෙකක් නො වේ. රට බිඳ වැටී කුඩා රටක් බවට පත් වනු ඇත.

ආචාර්ය දයාන් ජයතිලක | Dr.Dayan Jayathilake

[ඩේලිමිරර් වෙබ් අඩවියේ පළවූ ETHNO-RELIGIOUS FASCISM and THE R2P TRAP:THE SCENARIO ලිපියේ සිංහල පරිවර්තනයකි]