සිංහල, Colombo, Democracy, Human Rights, Media

අධිකරණය, ජසීහරන් නඩුව සහ ආරක්ෂක අමාත්‍යාංශය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
පසුගිය 26 දා කොළඹ මහාධිකරණය බී. ජසීහරන් සහ වී. වලර්මතී නිදොස් කොට නිදහස් කරන ලදී. ඒ ඔවුන් අත් අඩංගුවට ගෙන දින 500කටත් වඩා ඉක්ම යෑමෙන් පසු ය. ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගනු ලැබුනේ 2008 මාර්තු 06 දා ය. ඒ දැනට විසි අව්රුදු සිර දඩුවමකට යටත් කොට සිර ගත කර සිටින ජනමාධ්‍යවේදී තිසෙයිනායගම් සමඟ එක්ව නොර්ත් ඊස්ටන් හෙරල්ඩ් වාරික සඟරාව සහ අව්ට්රීච්ඩොට් කොම් නම් වෙබි අඩවිය පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. ජසීහරන් ඊක්වලිටි ප්‍රෙස් නම් මුද්‍රණාලයක් පවත්වා ගනිමින් එම ක්‍රියාවන්ට උදව් කළ බවත් චෝදනාවක් ලෙස දක්වා තිබුණි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස ගනනාවක් ත්‍රස්ත විමර්ශණ ඒකකයේ රඳවා සිටි ජසීකරන් සහ වලර්මතී යන දෙදෙනාට නඩු පවරණ ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ය. ජසීහරන් අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ තමන්ගේ ප්‍රකාශය ලියන ලද්දේ තමා හරි හැටි නොදන්නා සිංහල බසින් බව ය. එමෙන්ම ත්‍රස්ත විමර්ශණ ඒකකයේ දී තමාට පහරදුන් බවත් එලෙස පහර දුන් බව අධිකරණයට දැනුම් දුන් දිනයේ ඊට පළි ගැනීමක් වශයෙන් ද තමන්ට පහර දුන් බව යි. වලර්මතී රඳවා තබා ගන්නා ලද්දේ අවුට්රීච් අධ්‍යක්ෂ මංඩළයේ සාමාජිකාවක ලෙස කටයුතු කළ නිසා පමණය.
මහාධිකරණයෙයි රජය පැවැරූ නඩු විභාගය පවත්නා අතර තුර ජසීහරන් සහ වල්ර්මතී තමන් නීති විරෝධී ලෙස රඳවා තබා ගන්නා ලැදැයි 2008 ජූනි 23 දින මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුයෙහි ගොනු කලේ ය. එමෙන්ම ඔහුට ත්‍රස්ත විමර්ෂන ඒකකයේ දී පහර දුන් බව සනාථ කැරෙන වෛද්‍ය සාක්ෂි ද ඔහු සතු විය.
ජසීහරන් සහ වලර්මතී අත්අඩංගුවට ගැනීම යුදවාදී ප්‍රචාරකයින් පෙන්වා සිටියේ භයානක එල්ටීටිඊ සහායකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමක් ලෙස ය. නඩු විභාගය පවත්නා අතර තුර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ජසීහරන් ගැන එල්ටීටීඊ ප්‍රචරක කටයුතු සඳහා සහාය වීම යන මැයෙන් මෙවැනි ලිපියක් පළ කළේ ය. (එය තවමත් එම වෙබ් අඩවියේ තිබේ.)
” වී. ජසිහරන් 1973 මඩකළපුවේ කල්ලාර් හි උපත ලැබීය. ඔහුගේ පියා ආණ්ඩුවේ ග්‍රාම නිලධාරියෙකි. සමාන්‍ය පෙළ දක්වා ඉගෙනීමෙන් පසු 1993 දී එල්ටීටීඊ හිතවාදී සරනිහල් නම් පුවත් පතෙහි පරිගණක ක්‍රියාකරු ලෙස සේවය කළේ ය. පසුව ටැමිල් නෙට් වෙබ් අඩවියට වැඩ කළේ ය. ජසීහරන් අත්අඩංගුවට ගැනීම ලෝකයට පෙන්වන ලද්දේ මාධ්‍ය නිදහස කෙළෙසීමක් ලෙස ය. මෙම සාවද්‍ය ප්‍රචාරය පිටුපස සිටි පුද්ගලයෝ ත්‍රස්ත ප්‍රචාරක යන්ත්‍රය සමඟ ඔහු කළ කටයුතු සැඟවූවෝ ය.” ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තව දුරටත් කියන්නේ ජසිහරන් එල්ටීටීඊ ය වෙනුවෙන් කොළඹ සිට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදියකු බව යි. ඔහුගේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශය හැදින්වුයේ එල්ටීටීඊ මුද්‍රණාලයක් ලෙසය. මහාධිකරණය ජසිහරන් සම්බන්ධයෙන් තීරණයක් දීමට පෙරම ආරක්ෂක අමාත්‍යාංශය ජසීහරන් සම්බන්ධයෙන් ඔහුගේ ජීවිතය පවා අනතුරෙහි හෙළිය හැකි භයානක තිරණයක් මෙම ලිපිය මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.
වලර්මතී සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩිවියේ එල්ටීටීඊ ප්‍රචරක කටයුතු සඳහා සහාය වීම යන මැයෙන් පළ කරන ලද තීන්දුව මෙසේ විය.
” සැකකාර වලර්මතී යාපනයේ මනිපායිහි දී 1976 දී උපත ලැබීය. ඇය ජසීහරන්ගේ මුදල් කළමනාකාරිය යි. ඇය එල්ටීටීඊයේ ප්‍රචාරක කටයුතු සඳහා උදව් උපකාර කළේ ය. යාපනයේ සරසවියෙන් කලා උපාධියක් ලද ඇය පසුව ඉන්දියාවට ගොස් ශ්‍රාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ය. අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවෙහි ඇය එම්ටීවී/සිරස මාධ්‍ය ආයතනයේ සේවිකාවක් විය. ඇය අත් අඩංගුවට ගැනීම ලොවට පෙන්වන ලද්දේ ස්වාදීන මාධ්‍යකාරියක අත්අඩංගුවට ගැනීමක් ලෙස ය. ඇය එල්ටීටීඊ ය විසින් මුදල් ආයෝජනය කරන ලද සමාගමක අධ්‍යක්ෂවරියක් විය.”
ආරක්ෂ අමාත්‍යාංශය ඉදිරිපත් කළ මෙම චෝදනා ජසීහරන් සහ වලර්මතීට යුද්ධකාලයේ දී මරණය ගෙනඒමට තරම් භයානක විය හැකිව තිබුණි. මෙම ලිපි මගින් පමණක් නොව සැබෑ මානව හිමිකම් ආරක්ෂකයෝ කවුද? යන මැයෙන් ලිපියක් පළ කල ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ ජසීහරන් සහ වලර්මතී ත්‍රස්තවාදීන් බව යි. ඔවුන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටිම නිසා නීතිඥ ගෞව්රි ශන්කරී තවරාසා එම වෙබ් අඩවියේ වෛරයට පාත්‍ර විය. එම ලිපියෙන් කියා සිටියේ (එල්ටීටිඊ යට උදව් කරන) මෙවැනි පුද්ගලයින් වෙනුවෙන් මානව අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීම මානව හිමිකම් වලට විරුද්ධ ක්‍රියාවක් බව යි.
පසුගිය ඔක්තොම්බර් 26වනදා මේ දෙදෙනා නිදොස් කොට නිදහස් කළේ නීතිපති දෙපාර්තමේන්තුව සිය නඩුව ඉල්ලා අස්කර ගත් නිසා ය. ඊට පෙර නඩු විභාගය දිනයෙහි නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ජසීහරන් සහ වලර්මතී පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයෙහි පවරා ඇති නඩුව ඉවත් කර ගැනීමට සූදානම් බව ය. මේ වනාහී පුදුමාකාර නීතිපති දෙපාර්ථමේන්තුවකි. තමන් ඉදිරිපත්කර ඇති නඩුව වෙනත් නඩුවක් වෙනුවෙන් හිලව් කරන අපූරු සම්ප්‍රදායකි. නීතිපති දෙපාර්ථමේන්තුවට එනම් රජයට මෙම නඩු විභාගය මගින් ජසීහරන් සහ වලර්මති වැරදිකරුවන් කිරීමට ඉඩක් තිබුණේ නම් මෙවැනි හිලව් ගනුදෙනුවකට නොයන බව පැහැදිලි ය. නඩුව ඉල්ලා අස්කර ගත්තේ නඩුවක් නැති නිසා ය. රජය කියා සිටියේ ජසීහරන් මුද්‍රණකරුවකු පමණක් සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ වරදක් කර නැති බැවින් නිදහස් කිරීමට යෝජනා කරන බව ය. එල්ටීටීඊ කටයුතු සඳහා යොදා ගත් බවට ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වෝදනා කළ ඔහුගේ වාහනය නිදහස් කිරීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට කියා සිටියේ ය.
මේ තාක් මෙම නඩුවෙහි ඉදිරිපත් කර ඇති එකම සාක්ෂිය ජසීහරන්ගේ ප්‍රකාශය පමණක් බවත් අධිකරණය හමූයේ ඇති සාක්ෂි අනුව මෙම ප්‍රකාශය ස්වේච්ජාවෙන් කළ එකක්ද යන්න පිළිබඳ සැක ඇතිවන බවත් විනිශ්චයකාරවරයා මෙම දෙදෙනා නිදහස් කරමින් කියා සිටියේ ය. එම ප්‍රකාශයෙන් පෙනෙන්නේ ද චෝදනා ඔප්පු කිරිමට තරම් සාක්ෂි ඉදිරිපත්ව නොතිබූ බව යි. නීතිපති දෙපාර්තමේන්තුව කළ යුතුව තිබුණේ නඩුවක් නැත්නම් එය ඉල්ලා අස්කර ගැනීම මිස මූලික අයිතිවාසිකම් පෙත්සම සමඟ එය ගැට ගැසීම නොවේ. මන්ද යත් මූලික අයිතිවාසිකම් අනුළංඝනීය බැවිනි. නීතිපති දෙපාර්ථමේන්තුවේ කාරිය වන්නේ මූලික අයිතීන් රැක ගැනීමට ආධාර කිරීම මිස ඒ උදෙසා පවරනු ඇති නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස වක්‍ර තර්ජන කිරීම නොවේ. ඒක නැත්නම් මේකත් නෑ යනු වක්‍ර තර්ජනයකි. මේ නිසා දින 500ක් සිරගතව සිටි පුරවැසියන් දෙදෙනෙකුට සිදු වූයේ සිය නිදහස වෙනුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීම ඉවසා දරා ගැනීමට ය.
දැන් ආරක්ෂ අමාත්‍යාශය කියන්නේ කුමක්ද? එය සිය වෙබ් අඩවියෙහි නිවැරදි කිරීමක් පළ කරමින් තමන් කළ අපහාසාත්මක බේගල් සම්බන්ධයෙන් ජසීහරන් සහ වලර්මතීගෙන් සමාව ඉල්ලා සිටින්නේ ද? ජනමාධ්‍ය සදාචාරය ගැන අනුන්නට බණ කියන ආරක්ෂ අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තමන් විසින් අනුනට මරණය කැදවිය හැකි තරමේ සනාථ කළ නොහැකි බොරු බේගල් ඇද බාන බවට තවත් ඕනෑතරම් උදාහරණ දිය හැකි ය.
මහාජනයාගේ මූලික අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු නීතිපති දෙපාර්තමේන්තුව පරදින නඩු වෙනුවෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හිලව් කරයි. මහා ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආරක්ෂ අමාත්‍යාංශය සිය වෙබ් අඩවිය මගින් අහිංසකයින් ත්‍රස්තවාදින් ලෙස නම් කොට ඔවුන් මරණිය අවදානමකට ලක් කරයි.
ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය ගැන කුමණ කතා ද?

සුනන්ද දේශප්‍රිය