Arts and Theatre, Colombo, Culture, Features, Media and Communications

අපේ යොවුන් නාට්‍ය උළෙල ඇත්තටම තරුණද?

IMG_2769

පසුගිය අවුරුදු කිහිපය පුරා මම අපේ රටේ යොවුන් නාට්‍ය උළෙල සමීපව ඇසුරු කළෙමි. මේ උළෙල තුළ ඉතා විශාල ශක්‍යතාවක් ගැබ් වී ඇති බව මගේ හැඟීමයි. නමුත් අද එයින් විශද වන්නේ ඒ සැබෑ ශක්‍යතාවෙන් අඩක් පමණකියි මට සිතේ. අනාගතයේදී මෙය තවදුරටත් හීන වී යාමට ඉඩ ඇතැයි මා තුළ සාංකාවක් ඇත.

මා මේ ලිපිය ලියන්නේ, යොවුන් නාට්‍ය උළෙල අනාගතයේදී එකම තැන පල් වන උත්සවයක් බවට පත්වීමට බලපෑ හැකි යැයි මා හඟින හේතු කිහිපයක් ඉස්මතු කර පෙන්වීමේ අරමුණෙනි. මගේ මේ ලිපියේ විවේචනයක් ඇති නමුත්, මා එය කරන්නේ ද්වේෂ සහගතව හෝ කිසිවෙකුත් අපහසුතාවයට පත් කිරීමේ හෝ අදහසින් නොවේ. මේ උළෙල අවංක, අව්‍යාජ ඇගයුමකට ලක්කිරීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා අවකාශය පාදා ගැනීම මෙය ලිවීමේ ආසන්නතම අරමුණයි. එහි අවසාන ඉලක්කය, ශ‍්‍රී ලංකාවේ උද්යෝගිමත්ම සංස්කෘතික උළෙල බවට පත්වීමේ හැකියාව ඇති යොවුන් නාට්‍ය උළෙලේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි.

යොවුන් නාට්‍ය උළෙලක් යනු කුමක්ද?

යොවුන් නාට්‍ය උළෙලේ සැබෑ විභවය අවබෝධ කරගැනීමට නම් යමෙක් පළමුව ර්‍ණයොවුන් නාට්‍ය” යන සංකල්පය පිළිබඳව මඳක් විමසා බැලිය යුතුයි.

යොවුන් නාට්‍ය උළෙල යනු රාජ්‍ය නාට්‍ය උළෙල නොවේ. මේ දෙකේ අරමුණ සහ ගුණාංග පටලවා ගැනීමෙන් අප කරන්නේ උළෙලවල් දෙකෙහිම ශත්‍යතාව සහ අනන්‍යතාව සොරා ගැනීමයි. රාජ්‍ය නාට්‍ය උළෙල තුළින් රටේ හොඳම නාට්‍ය බිහි කළ යුතුයි. නමුත් යොවුන් නාට්‍ය උළෙලින් බිහිවන්නේ රටේ හොඳම නාට්‍ය නොවිය හැකියි. (ඇත්තෙන්ම එසේ විය යුතුද නැත) ඒ වෙනුවට යොවුන් නාට්‍ය උළෙලකින් සිදුවිය යුත්තේ මේ රටේ වේදිකාවේ අනාගතය දෙසට ක්ෂණික ආලේක ධාරාවක් එල්ල කිරීමයි.

යොවුන් නාට්‍ය උළෙල, මේ රටේ නැගී එන අංකුර කලාකරුවන්ට, තමන් තුළ පහළ වන නිර්මාණාවේශය, පෙර නොවූ විරූ, උද්වේගකර, නව්‍ය ආකරයන්ගෙන් එළි දැක්වීමට අවකාශය සලසන වේදිකාවක් විය යුතුයි. එය අවදානම් ගැනීමේ, උමතු අදහස් අත්හදාබැලීමේ අවකාශයක් විය යුතුයි. ඒවා ඇතැම් විට ප‍්‍රධාන ධාරාවේ නාට්‍ය බවට පත්වන්නේ තව අවුරුදු දහයකින් එහා විය හැකියි. එය තාරුණ්‍යයේ නිර්මාණශීලිත්වයේ සහ පරිකල්පනයේ උද්වේගය අවශෝෂණය කර ගන්නවා පමණක් නොව ඒ කලාකරුවන් තව තවත් අවදානම් ගනිමින් අත්හදාබැලීම් කිරීමට යොමු කරවන, පොළඹවන උළෙලක් විය යුතුයි. එය අප සියල්ලටම වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් සිටිය යුතුයි. යොවුන් නාට්‍ය උළෙලේ සුවිශේෂී ගුණාංගය, එහි විභවය සහ වටිනාකම විය යුත්තේ මෙයයි.

හොඳ උළෙලක් යනු කුමක්ද?

ඕනෑම උළෙලක වැදගත් පාර්ශවයන් දෙකක් සිටිති. එනම්, ඊට සහභාගි වන්නන් සහ එහි විනිශ්චයකරුවන් වශයෙනි. උළෙලක සාර්ථකත්වය සහ සුපිළිපන්නබව තීරණය වන්නේ මේ පාර්ශවයන් දෙකෙහි එකතුවෙනි.

උළෙලකට ඉදිරිපත් වන නිර්මාණ මගින් එයට සහභාගි වන්නන්ගේ පූර්ව නියුක්තීන් (සිත යොමු වී ඇති තේමාවන්) සහ කලාත්මක රුචිකත්වයන් පිළිබිඹු වේ. එසේම උළෙලේ ජයග‍්‍රහණය කරන නිර්මාණ මගින් එහි විනිශ්චයකරුවන්ගේ පූර්ව නියුක්තීන් සහ කලාත්මක රුචිකත්වයන් පිළිබිඹු වෙයි. උළෙලක සුපිළිපන්නබව සහ එහි අදාළත්වයත් ප‍්‍රබලත්වයත් රඳා පවතින්නේ මේ සාධක දෙකෙහි සුගම සුසංයෝගය මතයි.

යොවුන් නාට්‍ය උළෙල සැබවින්ම තරුණද?

ශ‍්‍රී ලංකාවේ යොවුන් නාට්‍ය උළෙල ඇත්තෙන්ම ඉහත කී දෑ එකට කැටි කරගත් උළෙලක්ද යන්නත් එයින් සැබවින්ම තරුණ වේදිකාව පිළිබිඹු වන්නේද යන්නත් දැන් අපි සලකා බලමු.

උළෙලට ඉදිරිපත් වන නාට්‍ය දෙස බැලූ විට සතුටු වීමට බොහෝ දේ තිබේ. පසුගිය වසර කිහිපය පුරා, වේදිකාව යනු කුමක්ද සහ වේදිකාව මත කළ හැකි දේ මොනවාද යන්න පිළිබඳ අපේ සංජානනයේ වපසරිය පුළුල් කරවන විශිෂ්ට නිර්මාණ ගණනාවක් මේ උළෙලට ඉදිරිපත් වී තිබේ. :මගේ අදහස නම් මේ වසරේ ඉදිරිපත් වූ නිර්මාණ, පසුගිය වසරවලට සාපේක්ෂව බලන විට දුර්වල මට්ටමක තිබූ බවයි. නමුත් මා මේ වසර හුදෙක් දුර්වල වසරක් ලෙස දකිනවා විනා සමස්ත උළෙල පසුබෑමට ලක්වීමේ නැඹුරුවක් ඇතැයි නොසිතමි.*

කෙසේ වෙතත් උළෙලේදී ජයග‍්‍රහණය කර ඇති නාට්‍ය දෙස බැලූ විට, අපට පෙනෙන්නේ මඳක් වෙනස් පින්තූරයකි.

වාසනාවකට ‘නරක’ නාට්‍ය කිසිවක් යොවුන් නාට්‍ය උළෙලේදී ඇගයීමට ලක් වී නැත. නමුත් අවාසනාවකට ‘පරණ‘ නාට්‍ය කීපයක් සම්මානවලින් පුදනු ලැබ තිබේ. ‘පරණ‘ යැයි මා කියන්නේ ඇසුරු කරන තේමාවන්ගෙන්, ශෛලියෙන්, රංග විධික‍්‍රමයෙන් සහ ප‍්‍රකාශිත ජවයෙන් ඒවා පරණ බැවිනි.

උළෙලේ නොගැළපීමක්

පොදුවේ ගත්විට මේ උළෙලේ විනිශ්චය මණ්ඩලයේ වැඩි කැමැත්ත පළ වී ඇත්තේ, පෙරටුගාමී, නව්‍ය, සහ නිර්භය නිර්මාණ වෙතට නොවේ. මෙය විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ දිගු නාට්‍ය සම්බන්ධයෙනි. මේ උළෙලේ විනිශ්චය පක්ෂපාතී එකක් නොවන බව මම විශ්වාස කරමි (වසර දෙකක් විනිශ්චය මණ්ඩල සමාජිකයෙකු වශයෙන් සිටි මම එය අත්දැකීමෙන්ම දනිමි). නමුත්, ඒ විනිශ්චය, සාම්ප‍්‍රදායය සහ අනුකූලතාවය කෙරෙහි ඕනෑවට වඩා බර එකක් බව නම් මම විශ්වාස කරමි. තරුණ නාට්‍ය උළෙලකදී, මෙසේ සිදුවීම වරදක් යයි මම හඟිමි.

තරුණ නාට්‍ය උළෙලකදී වඩා උද්වේගාත්මක නාට්‍ය නිර්මාණ ඇගයීමට ලක් නොවන්නේ නම්, එවිට උළෙල සහ විනිශ්චය මණ්ඩලය අතර බෙදීමක් හට ගනියි. මේ තත්ත්වය අනාගතයේදී විවිධාකාරයේ අවහිරතා ඇතිවීමට බලපානු ඇත.

විනිසුරු මඩුල්ල හොඳ මුසුවක් වෙන්න ඕනෙ

රුචිකත්වයෙන් සහ අදහස් උදහස් අතින් වඩා පැරණි තාලේ නාට්‍ය වෙත නැඹුරු වූ විනිසුරන් ජූරි සභාවේ හිඳීම ගැටළුවක් නොවේ. නමුත්, ඔවුන් සමගම රුචිකත්වයෙන් සහ අදහස් උදහස් අතින් ඉදිරි පරම්පරාවේ නාට්‍ය වෙත වඩා යොමු වූ විනිශ්චය කරුවන් ද ඒ ජූරි සභාවේ සිටිය යුතුමය. එනම් විනිසුරු මඩුල්ල හොඳ මිශ‍්‍රණයක් විය යුතුයි.

ඒ අනුව, වඩා තියුණු, විවිධත්වයෙන් යුතු, සහ අදාළ වෙන විනිශ්චයන් ලබා ගැනීම සඳහා විනිසුරන් තෝරා ගැනීම පරෙස්සමෙන් කළ යුතු අතර, ඒ විනිසුරන්ගේ කාර්යභාරය නිරතුරුව ඇගයීමට ලක් කළ යුතු ද වෙයි.

තරුණ කලාකරුවන්ගේ විශාල නියෝජනයක් විනිශ්චය මණ්ඩලය තුළ තිබිය යුතු බව මගේ විශ්වාසයයි. අද සිටින විනිශ්චය මණ්ඩලයේ සියලූ දෙනා තරඟයට ඉදිරිපත් වන කලාකරුවන්ට වඩා සැලකිය යුතු තරමින් වැඩිමහල් අය බව පෙනේ. වයසින් වැඩි අය විනිසුරු මඩුල්ලේ සිටීම ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වයසින් වැඩි අය පමණක් එහි සිටීමයි. මම යෝජනා කරන්නේ, වයස 35 යන්තම් ඉක්මවූ කලාකරුවන්ට සහ, තරඟයට ඉදිරිපත් නොවන 35 ට අඩු කලාකරුවන්ට පවා විනිසුරු මඩුල්ලට එක්වන ලෙස ඇරයුම් ලැබිය යුතුයි යන්නයි.

උළෙල එක තැන පල්වීම වැළැක්වීමට නම්

විනිශ්චය ක‍්‍රියා පටිපාටියක ඇති, ’නොවෙනස් වෙන’ නැතිනම් ‘එකම තැන රැඳෙන’ නැඹුරුවක් ගන්නා ඕනෑම දෙයක්, කවර ආකාරයක හෝ විිනිශ්චය ක‍්‍රියාවලියකට අහිතකරය. එවැනි තත්ත්වයක්, අලූත් සිතුවිලි සහ නව්‍ය ප‍්‍රවේශයන් දිරිමත් කළ යුතු තරුණ උළෙලකට කිහිප ගුණයකින් අහිතකරය.

මා තදින් විශ්වාස කරන්නේ, විනිශ්චය මඩුල්ලේ සාමාජිකයන් වරින් වර වෙනස් විය යුතු බවයි. එකම විනිසුරෙකු අවුරුදු ගාණක් පුරා එක දිගට එකම විනිශ්චය මණ්ඩලයක සේවය කිරීම ඒ අදාළ විනිසුරුවරයාට හෝ විනිශ්චය මණ්ඩලයට හෝ යහපතක් වන්නේ කෙසේදැයි යන්න මට තේරුම් ගත නොහැකිය. මෙයින්, සිදුවන්නේ රසඥතාව එක තැන පල් වීමයි. එකම අදහසක් දිගින් දිගටම ස්ථාපිත වීමයි. එසේ වූ විට, ‘සම්මාන ලැබෙන ජාතියේ’ නාට්‍ය හැදීම තරඟකරුවන්ට ඉතා පහසු දෙයක් බවට පත් වෙයි. විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් වරින් වර මාරු කිරීම මෙය සිදුවීම වැළැක්වීමට ගත හැකි ඉතා සරල පියවරකි. කිසිම සාමාජිකයෙක් අවුරුදු දෙකක් හෝ තුනක් පිට පිට විනිශ්චය මණ්ඩලයේ තබා නොගත යුතුයැයි මම කියා සිටිමි. එසේම මුල් වටයේ තෝරාගැනීම් කරන විනිසුරන්ද වරින් වර මාරු කළ යුතුයැයි මම යෝජනා කරමි (ඇත්තෙන්ම මෙය අවසාන විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් වෙනස් කිරීමටත් වඩා වැදගත්ය).

පේ‍්‍රක්ෂක සම්මාන

මේ තරඟයේ ජූරි මණ්ඩලය උළෙලේ ස්වභාවය සහ ජීවගුණය හා කොතෙක් දුරට පෑහෙන්නේදැයි දැනගැනීමට හැකි හොඳ විදියක් නම්, පේ‍්‍රක්ෂක සම්මාන හඳුන්වා දීමයි.

මේ රටේ තරුණ කලාකරුවන් සහ පේ‍්‍රක්ෂකයන්ගේ ආත්මය හා සසැඳෙන්නේත්, ඔවුන් වඩාත් උද්දීපනයට පත් කරවන්නේත් කවර ආකාරයේ නාට්‍යයද යන්න පිළිබඳ අදහසක් පේ‍්‍රක්ෂක සම්මාන තුළින් ඉතා පහසුවෙන් ලබා ගත හැකියි. විනිශ්චයකරුවන්ගේ මතය, ප‍්‍රධාන වශයෙන්ම තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් පේ‍්‍රක්ෂකාගාරකයක මතය හා කෙතරම් සමීප වන්නේද යන්න මේ උළෙලේ පේ‍්‍රක්ෂක සම්මානවලින් පෙන්නුම් කරනු ඇත.

පරෙස්සම් තීරණ ගැනීමේ අනතුර

මා කලිනුත් කියූ පරිදි, යොවුන් නාට්‍ය උළෙලේ සම්මාන දිනූ කිසිම නාට්‍යයක් නරක නාට්‍ය නොවේ. ඇත්තෙන්ම ඒවා හොඳ නාට්‍යයයි. පරෙස්සමින් නිමැවූ, සුසාධිත නාට්‍යයයි. හොඳ, මනා කොට නිමවා ඇති, ගාණට තෝරා බේරාගෙන හදා ඇති යැයි කවුරුත් කියන ආකාරයේ නාට්‍යයි. නමුත් ඒවා ශ‍්‍රී ලාංකීය නාට්‍ය කලාවේ අනාගතයට ඉඟි කරනවාද? මා හිතන ආකාරයට නම් නැත. ඒවා, අලූත් විධිවලින්, අලූත් ආරේ නාට්‍ය හදන්නට තරුණ තරුණියන්ව පොළොඹවනවාද? මම නම් ඒ ගැන සැක කරමි.

ඇත්තෙන්ම, මේ උළෙලේ සම්මාන දිනාගැනීමේ අභිප‍්‍රායෙන් සිටින තරුණ තරුණියන්ට විනිශ්චය මණ්ඩලයේ පණිවුඩය පැහැදිලි වී ඇති බව පෙනේ. එනම්, සුසාධිත, පරිපූර්ණ නාට්‍ය හදන්නට ඔවුන් මහන්සි විය යුතුයි. රාමුවෙන් පිට, අලූත් ආකාරයේ දේවල් කරන්නට යෑම අවදානමකි.

කෙසේ වෙතත් වාසනාවට, අප විස්මිත කරවන, නිර්භය ප‍්‍රකාශනයන් සහිත, අමුතුම ආකාරයේ නාට්‍ය නිර්මාණය කිරීමේ දිගටම නිරත වී සිටින තුසිත ලක්නාත් වැනි කලාකරුවන් අපට සිටිනවා. මට දැනෙන්නේ, ඒ නිර්මාණ වෙතින් වහනය වන්්නේ අතීතයට අයිති සුවඳවක් නොව, අනාගතයේ සුවඳක් බවයි.

නමුත්, සම්මාන ලැබීම නොලැබීම නොසලකා, මේ ආකාරයට තමන්ගේ නිර්මාණ දිගටම කරගෙන යන්නට තරම් ප‍්‍රබල විශ්වාසයක් සහ පෞරුෂත්වයක් කලාකරුවන් කී දෙනෙකු තුළ තියේවිද? විනිශ්චය මණ්ඩලයක ලැදියාවට ගැලපෙන්නට දැනටමත් කලාකරුවන් කී දෙනෙක් ස්වකීය නිර්මාණශීලීත්වයේ ජවය සහ නිර්භය බව හකුළුවාගෙන ඇත්ද?

වේදිකාවේ විභවය

කලාත්මක සුපිළිපන්නභාවය සහ විභවය උදෙසා අත්‍යවශ්‍ය වන්නේ, ස්වයං විවේචනය තුළින් එළඹෙන ස්වයං අවබෝධයයි. අපේ අඩු ලූහුඩුකම් අප අවබෝධ කරගන්නේත්, වඩා විශිෂ්ට සහ සර්වසම්පූර්ණ කලා නිර්මාණ බිහි කිරීමට වඩ වඩාත් වෙහෙසෙන්ට අප යොමුවන්නේත්, නිරන්තරයෙන් අපවම ප‍්‍රශ්න කර ගැනීම, ඕනෑවට වඩා ලේසි දේ කිරීමට ලැජ්ජා වීම, අවංක අමාරු ප‍්‍රශ්න ඇසීම සහ දුෂ්කර පිළිතුරු සැපයීම යන ගුණාංග අභ්‍යාස කිරීම තුළිනි. කලාකරුවාගේ ආත්මයේ සදාතනික යොවුන් බව සුරැකෙන්නේ එයින් හැර වෙන කුමකින්ද?


රුවන්ති ද චිකේරා

2013 මාර්තු

@Image Credit: www.ft.lk