සිංහල, Features, Governance, Life quips, Pollonnaruwa

තවමත් ඒදණ්ඩේ යන දන්වැල්මන්කඩ ගමේ අපි ….

Danawalmankada
පොළොන්නරු දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්අමුණ 147 ග්‍රාම සේවා කොට්ඨාශයේ දනවැල්මන්කඩ ගම හරහා ගලා බසින මල ඔය හරහා පාලමක් නොමැති නිසා එහි වැසියන් දුෂ්කරතාවන්ට පත්වී ඇති බව වාර්ථාවේ. වසර තිහක් පමණ කාලයක් තිස්සේ බලයට පත්වූ සෑම රජයක්ම දැනුවත් කළත් ලැබුණු ඵලයක් නොමැති බව දන්වැල්මන්කඩ ගම් වැසියන් පෙන්වාදෙති. දනවැල්මන්කඩ හා මුණිසිරි ගම මැදින් ගලා බසින ඇල මාර්ගය හරහා පාලමක් නොමැති නිසා ඒ හරහා ගමන් කරන ජනයා දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසන ගැමියෝ පාලමක් ලබාදෙන්නේ නම් දරුවන් වැඩිහිටියන් ඇතුලු විශාල පිරිසකට එයින් සෙත සැලසුන බව පෙන්වා දෙති.

මේ පිළිබදව විකල්ප සමගින් අදහස් දැක්වු දනවැල්මන්කඩ ගම්මානයේ රන්ජිත් අලුත්ගමගේ ගොවි මහතා පැවසුවේ මෙවැනි අදහසක්. ‛‛අපි ඉතා අමාරුවෙන් තමයි යකඩ රීප්ප දෙකක් යොදාගෙන එක් තැනකිනුත්, පොල් කොටන් යොදාගෙන අනෙක් තැනනුත් ‛‛මල’’ ඔයෙන් එගොඩ වෙන්නේ. මේ දෙකෙන් එහා මෙහා යන්න ගිහින් ගම්වැසියන් අනතුරට පත්වුණු අවස්ථා අප්‍රමාණයි. මල ඔයේ වතුර වැඩිවුණු දවස් වලට විඳින දුක කියල නිමකරන්න බැහැ. අපේ දරුවෝ පාසල් යන්නෙ රෙදි ටිකයි, පොතුයි, සපත්තු දෙකයි කිහිලි ගහගෙන. ඒදන්ඩෙන් පැනල හැතැප්මක් විතර ගිහින් අඳුරන ගෙදරකට ගිහින් තමයි ඇදුම් ඇඳගන්නෙ. මල ඔයේ වතුර වැඩි වුණාම එහේම වත් යන්න විදිහක් නැහැ. අපි වඳින දුක පාලකයන්ට දැනෙන්නෙ නෑ. ඒ අයට ඕනේ කොහොම හරි අපේ ඡන්දය ලබාගන්න විතරයි.’’
එච්.ඒ. අබේරත්න ගොවි මහතා අදහස් දක්වමින් කියා සිටියේ ‛‛මල ඔය දෙපස ඉන්න
අනවසර පදිංචිකාරයෝ කියල තමයි රජයේ නිලධාරීන් අපව හඳුන් වන්නේ ඒ නිසාම රජයෙන් ලැබෙන කිසිම සහනාධාරයක්වත් පොහොර සහනාධාරයවත් අපට ලැබෙන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ ඉඩම් වලට ඔප්පු දීල අපිට පාලමක් හදල දෙන්න කියල එහෙම නැතිනම් වතුරෙන් යටවෙන්නේ නැති තැනකින් ඉඩම් දෙන්න කියල. මේ දුක අවුරුදු විසිපහක් තිහක් තිස්සේ විඳිනව. අපිට මැරෙනකම් ඉන්න කියලද බළධාරීන් කියන්නේ. අපිත් මේ රටේ මිනිස්සු, නිදහසේ ඉන්න පුලුවන් බිම්කඩක් අපට අයිති නැද්ද. එහෙම නැත්නම් ගමට එන්න පාලමක් හදල දෙන්න. මල ඔයට උඩින් පාලමක් හදන්නේ නැතිව දන්වැල්මන්කඩ මිනිසුන්ට දන්වැල් යොදා සිටින බළධරයිණි මේ මිනිසුන්ගේ මළගමවත් මළ ඔයට උඩින් නිදහසේ ගෙනයන්නට පාලමක් හදාදෙන්න . කියායි.

මැදිරිගිරිය-මෝහන් කුලතුංග.