සිංහල, Batticaloa, Democracy, Education, Human Rights

ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.

වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
විකල්ප වෙත වාර්තාවූ අන්දමට සිද්ධිය මේසේයි විද්‍යාලයේ මේ වන විට ක්‍රියාත්මක පාසල් සංවර්ධන සමිතියට ප්‍රදේශයේ දේශපාලන බලවතා වූ අමීර් අලි මහතාගේ පිළිගැනීම නෙමැති නිසා ඔහුට සම්බන්ධ පිරිසක් අදාල පාසැල් සංවර්ධන සංගමයට එරෙහිව විරෝධතාවයක නියැලී ඇති අතර ඔවුන් පාසැල් භූමිය තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරෙන අවස්ථාවේ අදාල ගුරුවරයා එයට විරුද්ධවීම නිසා එම පිරිස ඔහුට පහරදී ඇත. පහරදීමෙන් තුවාලලත් එම ගුරුවරයා වාලච්චේන රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ. මෙම විරසකයට හේතුව වශයෙන් එහි ගුරුවරයෙකු සඳහන් කලේ පාසැල් සංවර්ධන සමිතියේ වත්මන් නිළධාරීන් පිරිස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආධාරකරුවන් වීම බවයි.
අප මේ පිළිබඳව වාලච්චේන පොලීසියෙන් කළ විමසීමකදී එහි නිළධාරියෙකු පැවසූවේ පොලිස් ස්ථානාධිපතිතුමා එම අවස්ථාවේ සෙම්මන්ඔඩේ විද්‍යාලයට ගොස් සිටින නිසා ඔහු පැමිණි පසු වැඩිදුර විස්තර ප්‍රකාශ කළ හැකි බවයි.
මේ පිළිබඳව වාලච්චේන රෝහලෙන් විමසූ විට දැනගන්නට ලැබුනේ ඔහු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. එහෙත් අපගේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි