ඇතුලු දොර වසාගත්

ප්‍රේමයේ කවුලුවක්

අඳුර මැද මඳක්

විවර කර බලාගෙන

–

ඔබේ ලෝකය

දැල් වූ පහන් සිල

අඳුරු සුළඟෙහි සඟවාන

ඔබේ කවුළුව අසල මම

–

ප්‍රේමය තුරුළු කරගෙන

පහන් එළියෙන්

පින්තාරු වූ අඳුර

ඔබේ වත සිතුවමකි

–

රාමු කළ අඳුර තුල

ඇතුලත වැසුණු මදහස කතාකළ

සීත සෘතුව දිගේ

ඇවිද ආ හිම පතන මගේ

–

ඔබේ ප්‍රේමය සොරා ගන්නට

චෞරයෙක් ආ වගේ

ඇතුලු දොර වසා ඇති ඔබේ හද

විවර කළ කවුළුවෙන්

–

ඇතුල් වූ මගේ ප්‍රේමය

පහන් එලියෙන්

විමසමින් සෙව්වෙමි

ඔබේ ප්‍රේමය

–

එලියෙන් අඳුර නැසුන ද

එලියට අඳුර බිය විය

එළියට ගන්න සැඟ වුණු

ඔබගේ අතින්

–

පවන් සලමින්

නිවාලූ පහන් සිල

වසා හල ඔබේ ලෝකය

විවර වුණි

–

විවර යැයි සිතා සිටි

මගේ ප්‍රේමය

සොඳුරු නැති අඳුරක

වසාගත් එලියේ

සැකිල්ලක් බව

ඔබ මට කියා දුනි

මෙල්ස් මාකැස්චේ | Mels Macasche

[Image Credit: lattesandlipstick]