සිංහල, Democracy, Governance, Kurunegala, Peace and reconciliation

කුරුණෑගල ජනරාල්ගේ කාර්යාලයට අයුධ සන්නද්ධ පිරිසක් පහරදෙයි

කුරුණෑගල මිහිදු මාවතේ පවත්වාගෙන ගිය නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට හා කුරුණෑගල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකගේ නිවාසවලට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ පහරදී ඇති බව වාර්ථාවේ. ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ප්‍රචාරක රැළියක් කුරුණෑගල මාළිගා පිටියේදී පැවැත්වුනි. ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ පරිගණක, ෆොටෝ කොපි යන්ත්‍ර ඇතුළු බඩු බාහිරාදිය රාශීයක් හා කාර්යාල ගොඩනැගිල්ල විනාශ වී ඇත. ප්‍රහාරයට ලක්වූ කාර්යාලය පිහිටා ඇත්තේ කුරුණෑගල පොලිසියට මීටර් 100 පමණ දුරකි. කාර්යාලයට පහරදුන් මැර පිරිස එජාප පාක්ෂිකයන්ගේ නිවාස වලට පහරදෙමින් සිටියදී පොලිසීයට සිද්ධිය පිළිබඳව දැනුම් දුන්නත් පොලිසිය කිසිදු පියවරක් නොගත් බවත් සරත් ෆොන්සේකා මහතාගේ අධාරකරුවන් පැවසීය.
මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ ‛‛ ඊයේ කුරුණෑගල පැවති ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැළියෙන් පසු ටී56 වර්ගයේ ගිනිඅවි ඇතුළු ආයුධ සන්නද්ධව පැමිණි දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකුගේ පිරිසක් මෙම පහරදීම සිදුකළ බවයි. එසේම කාර්යාලයට පහරදීමෙන් පස්සේ මේ අය අපේ ආධාරකරුවන් 8 දෙනෙකුගේ ගෙවල් වලටත් පහර දුන්නා. එම පහරදීම් වලින් අපේ ආධාරකරුවන් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේනව. ඉන් එක් අයෙකුගේ කකුල් කඩල. කණගාටුවට කාරණය මේ සියල්ල සිදුවෙද්දි පොලිසිය නිහඬව සිටීමයි. මේ පිළිබඳව පොලිසියට දැනුම් දුන්න ඒත් පොලිසිය නිතිය ක්‍රියාත්මක කරේ නැහැ. දැන් අපිට සිදුවී තිබෙන්නේ අපේ ආරක්ෂාව අපිටම සලස ගන්න. මොකද පොලිසිය කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයට පත් කරල. දැන් අපිට කරන්න තියෙන්නේ ජනතාව රැස්කරල අපේ ආරක්ෂාව සලස ගන්නයි.
අපි මේ පිළිබඳව කුරුණෑගල පොලිසිය ඇමතීමට උත්සහ කළද එහි දුරකථනයට පිළිතුරු දුන් අය සිද්ධිය පිළිබඳව කිසිවක් කීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.