සිංහල, Colombo, Democracy, Governance

එහෙමත් ඡන්දයක් – පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

අන්තිමේ දී මැතිවරණ කොමසාරිස් දිසානයකගේ කටට පණ ආවේ ය. රාජ්‍ය මාධ්‍ය සහ රජයේ බලධාරීන් සිය නියෝග පිළිනොපැදීම නිසා ඇතිවූ චිත්තපීඩනය නිසා තමා මැතිවරණ කොමසාරිස් ධුරයෙන් ඉවත් වන බව කීවේ ය. ඡන්ද පෙට්ට්යක් රැක ගැනීමටවත් තමන්ට බැරි බව කීවේ ය. හෙට අනිද්දාම ඔහු විශ්‍රාම සුව විදීමට යනවා ඇත. ඇත්තටම ඔහුට ඊට වැඩි දෙයක් කියන්න තිබුණේ නැත්ද?

මැ.කො. උපහාසයට සහ අපහාසයට පත්කළ ස්ත්‍රෝත්‍ර ගායක රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීහු දැන් උඩ පැන පැන මැ.කෝ. කාර්යාලය පිහිටි රාජගිරිය දෙසට දබරැඟිල්ල උලුක්කු කරමින් ”හූ හූ ‛‛අඩෝ මැ.කෝ අපට කෙලින්න හිතුවා මදි” යැයි ජය පැන් නැටුම නටනවා ඇත. මේ ලයිසන් මාධ්‍ය චණ්ඩි ඊළඟ ජයපැන් වඩියෙන් රත්වන විට මෙසේ ලතෝනි දෙනු ඇත. ”වරෙල්ලාකො, ඊළගට එන මැ.කෝටත් දෙමු හොඳ සාප්පාඩුවක්, හූ හූ හූ”….. ”දුන්න වැඩේ – කොමිසමාට, හෙටත් දෙනව – කොමිසමාට…” මේ ජයපැන් මහා මැතිවරණය හෝ ජනමත විචාරණය දක්වා ඇති පදම් ගලනු ඇත.

2010 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ සහ නීතියේ පාලනයේ ඇත්ත ඇති සැටි පෙන්නුම් කරන වැදගත්ම සංකේතාත්මකම සිදුවීම පෙර නොවූ විරූ මැතිවරණ දූෂණ සහ ප්‍රචණ්ඩත්වය හමූයේ මැ.කෝ. ගේ හැසිරීම සහ ඉහත කී බියමුසු ප්‍රකාශය යි. කල් ඉකුත් වූ මැ.කෝ. දිශානායක ගෙදර යන්නේ ඉදිරියට එන මැ.කෝ. ලාටත් සිය වෘත්තියේ ගරුත්වය වෙනුවෙන් හිස නොනමා සේවය කිරීමේ ආදර්ශය ඉතිරි කිරීමට බැරිව පසුබැස ගෙදර යන පාර පමණක් ආදර්ශයට දෙමිනි. මෙරට මහා ජනයාගේ අනුළංඝනී ය අයිතියක් වන සර්වජන ඡන්දයේ ප්‍රායෝගික ප්‍රකාශණය නිදහස් සහ සාධාරණ මැතිවරණය යි. ඒ වෙනුවෙන් සිය ධුරයේ ගරුත්වය රැකෙන පරිදි නිර්භිතව ක්‍රියා කරනු වෙනුවට මැ.කෝ. ක්‍රියාවලිය සිහි ගන්වන්නේ හුජ්ජ කොල්ලකු ගැසූ කණ ගලින් ගිය චූටි ගල්පාරකට චූ දමමින් නගුට දෙපා අස්සේ රුවා ගෙන ක්‍රූ ක්‍රූ ගාමින් පසු නොබලා දුවන ඉහළ පන්තියේ වටිනා සහ සුන්දර සුනඛ පෝතකයකුගේ භූමිකාව ය. එකම වෙනස හුජ්ජ කොල්ලා රජතුමාගේ ස්ත්‍රෝත්‍ර ගායකයකු වීමයි. නොදුවා මොනවා කරන්න ද? රටේ හැටි එහෙම ය.

මෙම ජනාධිපතිවරණයෙන් උද්ගත වන භයානකම ප්‍රශ්නය දූෂණය සහ භීෂණය සිය පැවැත්මේ රටාව බවට පත් කර ගත් රාජපක්ෂ බලය තහවුරු වීම නොවේ. එම භීෂණය සහ දූෂණය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලන් විය යුතු ආයතන රටාව විසින් ඉවසා සිටීම සහ ඊට අනුගත වීම යි. (පොලිස් සේවය ගැන කියන්න දෙයක් නැත) මහා ජනයාගේ සර්ව ජන ජන්ද බලය ආරක්ෂා කළ යුතු මැතිවරණ කොමසාරිස්වරයා නම් ආයතනය හුදෙක් ඡන්ද ගණන් කරන්නකු බවට පත් කළ දේශපාලන ක්‍රියාදාමය ඒ අතර කැපි පෙනෙන නිදසුනකි. ප්‍රශ්ණය රාජපක්ෂ ද පොන්සේකා ද යන්න නොවේ. ශ්‍රිලනිපයද එජාපය ද යන්න නොවේ. කිසිදු දේශපාලන බලයකින් ලාභ ප්‍රයෝජන නොතකන සිවිල් පුරවැසියන් වන අපේ ප්‍රශ්ණය පුද්ගලයා නොව ක්‍රියාදාමය යි. කවරකු ජනාධිපතිවුව ද ඒ කරා ගමන් ගන්නා මාර්ගය දූෂිත ද නැත් ද යන්න යි. මන්ද යත් මාර්ගය විසින් බොහෝ කොටම පැවැත්ම තීරණය කරන නිසා ය.

මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක රාජ්‍ය මාධ්‍ය අවභාවිතය සමඟ සටන් කළේ නැත. මැ.කො.ට ඇත්තේ ඡන්ද දවස බලා ගන්න එක විතර යැයි අපහාසාත්මක ලෙස රාජ්‍ය ගුවන් විදුලියෙන් රටට කී එහි සභාපති හඩ්සන් සමරසිංහට යනාදීන්ට බිය විය. මැ.කෝ. ගේ ව්‍යවස්ථාපිත බලය හඩ්සන් සමරසිංහට වඩා අතිමහත් වූ නමුත් මැ.කෝ. හකුළා ගත්තේ ය. බලධරයා ඉවත් කර ගත්තේ ය. ලයිසන් චණ්ඩින්ට රාජ්‍ය මාධ්‍ය අපචාරයේ යෙදවීමට ඉඩ දුන්නේ ය. මැ.කෝ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් හඩ්සන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේ නැත.

දේශපාලනයේ නොයෙදිය යුතු රාජ්‍ය පරිපාලන සේවයේ අමාත්‍ය ලේකම් තනතුරක් වන ආරක්ෂ ලේකම්වරයා සිය වැඩිමහල් සහෝදරයාගේ මැතිවරණ සටන මෙහෙයවන්න යන විට එය වැරදි යැයි කෙලින් කීමට මැ.කෝ. අසමත් විය. නාවික හමුදා නිලධරයකු වන පුතා සිය පියාගේ ඡන්ද සටනේ යෙදෙන විට එය වැරදි බව පෙන්වා ද්ිමට මැ.කෝ. අසමත් විය. අනෙක් පුත්‍රයා රාජ්‍ය මාධ්‍ය හරහා මදල් නොගෙවා කෝටි ගණනින් සිය පියා වෙනුවෙන් වෙළද දැන්වීම් පළ කරත් දී මැ.කෝ. නිහඩව සිටියේ ය. මැතිවරණ දිනයේ දීම පොන්සේකා ජනාධිපතිධුරයට නුසුදුසු බවට මැතිවරණ නීති අමු අමුවේ ම කෙළෙසමින් රාජ්‍ය මාධ්‍ය මහා ඝොෂා්වක් නගත් දී මැ.කෝ. උඩ බලාගෙන සිටියේ ය. යුද හමුදාපති සහ තවත් ප්‍රධාන පෙළේ හමුදා නිලධාරීන් මැතිවරණ ප්‍රචාර අවසන් වූ 23දාට පසු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ වක්‍රලෙස රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය පළ කරන විට එය නතර කිරීමට මැ.කෝ. පියවර ගත්තේ නැත. රට පුරා මහා පරිමාණයෙන් කෙරුණූ නීති විරෝධී මැතිවරණ ප්‍රචාර වැළැක්වීමට අවශ්‍ය ඍජු පියවර ගැනීමට මැ.කෝ ගත් පියවරක් ද නැත. රාජ්‍ය දේපල අනිසි පරිහරණය සෑම මැතිවරණයක් පාසාම ඉහළ යන දූෂණයකි. ඇති තරම් සාක්ෂි සපයා තිබිය දීත් රාජ්‍ය දේපල ජනාධිපතිවරණය උදෙසා අනිසි පරිහරණය වැළැක්වීමට මැ.කෝ. අසමත් විය. කළ එකම දේ නම් ”මං චක්‍රලේඛණ 100ක් විතර යැවුවා” යැයි කිීම ය.

මේ පුද්ගලයකු පිළිබඳ ප්‍රශ්ණයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනයක් සහ එහි නියමුවා පිළිබඳ ප්‍රශ්ණයකි.

17වන සංසෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා නැතිව නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත් විය නොහැකි බව ද මැ.කෝ. මුලදී ම කිවේ ය. නමුත් එය දූෂිත මැතිවරණයක් සාධාරණ කිරීමට සමාවට කාරණයක් නොවේ. මන්ද යත් මැතිවරණ කොමිසම පිහිටුවන තුරු එහි සියළු බලතල මැතිවරණ කොමසාරිස්වරයා සතු බැවිනි. සිය බලතල පාවිච්චි කිරීමට අවශ්‍ය උපරි ව්‍යුහයන් ලබා දෙන ලෙස ද ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට හැකියාව තිබුණි. නමුත් ඔහු කළේ චක්‍රලේඛන යැවීමත් ඒවා කුණූ කූඩයට දමන විට නහයෙන් ඇඩීමත් පමණ ය.

ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්දයෙන් බලන විට අප බිය විය යුතු වර්ධනය මෙය යි. එනම් ස්වාධීන මැතිවරණ යාන්ත්‍රණය ආපසු හැරවිය නොහැකි තරමට බල රහිත කිරීමේ, බිය ගැන්වීමේ සහ දූෂණය කිරීමේ ක්‍රියා දාමය මෙම ජනාධිපතිවරණය තුළ තහවුරු වීම යි.. අනෙත් අතට එම බලපෑම් සමඟ සටන් කරනු වෙනුවට මැතිවරණ දෙපාර්ථමේන්තුව තුළ තහවුරු වෙමින් ඇති යටත්ව සේවය කිරීමේ සහ පැරද පලා යාමේ සම්ප්‍රදාය යි. මෙම ප්‍රවණතාවය මැතිවරණ දෙපාර්ථමේන්තුව තුළ මුල්බැස ගතහොත් නිදහස් සහ සාධාරණ මැතිවරණ වෙනුවට අපට සැමදා උරුම වනු ඇත්තේ දූෂණයේ සහ භීෂණයේ බලයෙන් තීරණය වනු ඇති මැතිවරණයන් ය. ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින දීර්ඝ කාලීන වශයෙන් අතිශය බිහිසුණූ අවදානම මෙය යි. මන්ද යත් රාජවංශයක පාලනය සදාකාලික කර ගැනීමට අවශ්‍ය කරන අවසාන තුරුම්පුව මෙය නිසා ය.

අනෙක් අතට මෙම මැතිවරණයේ දී මැ.කෝ. දිශානායක මුහුණ දුන් නින්දාජනක තත්ත්වය අද ඊයේ ඇති වූවක් නොවේ. ඔහු භීෂණයෙන් සහ දූෂණයෙන් පිරී ගිය 1998 වයඹ ජන්ද කොල්ලය අවස්ථාවේ දී ඍජුව කටයුතු කළේ නැත. එම ජන්ද කොල්ලය මහා දවලේ දෙනෝ දාහක් අභිමුව සිදුවූ දුෂ්ඨ දේශපාලන අපචාරයක් විය. එනමුත් ලිංගික අපචාරය සිදුව ඇති නමුත් දරුවකු පිළිසිඳගෙන නැති නිසා දඩුවම් කිරීම අනවශ්‍ය යැයි කියන්නාක් වැනි කැකිල්ලේ තීන්දුවක් දුන් දිශානායක මැ.කෝ කිය සිටියේ අවසාන ප්‍රතිපලයට බලපෑමක් වී නැති බැවින් එම වයඹ කොල්ලය යුක්ති සහගත මැතිවරණයක් බව ය. පළාත් සභා මැතිවරණයට පෙර නැගී එමින් තිබූ ප්‍රචණ්ඩත්වය නිසාම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් 12 දෙනෙකු වයඹ මැතිවරණ කටයුතුවල යොදවා තිබුණි. එම 12 දෙනා ම එම මැතිවරණය දූෂිත බවට ලිඛිතව ම මැ.කෝ.ට දැනුම් දුන්නේ ය. මැ.කෝ. ඒවා ප්‍රසිද්ධ කරනු වෙනුවට හමස් පෙට්ටියට දැමුවේ ය. එම අවස්ථාවේ දී ඍජුව කටයුතු කරමින් එම ජන්දය අවලංගු කළේ නම් අද මෙන් දූෂිත මැතිවරණ ඇතිවීම වැළැක්වීමේ මාවතට අවතීර්ණ වීමට තිබුණි.

මහා මැතිවරණයකින් සහ ජනාධිපතිවරණයකින් පසු මැතිවරණය පැවැති ආකාරය ගැන වාර්තාවක් ප්‍රසිද්ධ කිරීමේ අනගි සම්ප්‍රදාය නැති කිරීමට ද මැ.කෝ. දිශානායක දායක විය. ඔහුගේ කාලය තුළ කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තාවක් මා දන්නා තරමින් නිකුත් කර නැත.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රටාව දේශපාලනීයකරණය වීම දීර්ඝ කතාවකි. රාජක්ෂ පාලනය කරන්නේ කෙරී ගෙන ආ එම ව්‍යවස්ථානුකූල ඒකාධිපති ප්‍රවණතාවය වඩාත් ශක්තිමත් කිරීම යි. මැ.කෝ. දිශානායක එහි ප්‍රථම ගොදුර හෝ එකම වැරදිකරු හෝ නොවේ. එක් පුද්ගලයකු පමණක් වන ඔහු මෙම පිරිහීමේ පැහැදිළි සංකේතයකි. අධිකරණ පද්ධතිය දේශපාලනීයකරණයේ කැතම සංකේතය සරත් සිල්වා විය. අකමැත්තෙන් හෝ මැ.කෝ. දිශානායක ද මැතිවරණ ක්‍රියාදාමය දේශපාලනීයකරණයේ ඉහළම සංකේතය බවට පත්ව තිබේ. දූෂිත සහ ප්‍රචණ්ඩ මැතිවරණ ගණනාවක් සාධාරණය කළ ඔහු විශ්‍රාම යන්නේ ද අඩුම වශයෙන් 2010 ජනාධිපතිවරණයෙහි දක්නට තිබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ ගැන කෙලින් කතා කරන්නේ නැතිව ය.

විශ්‍රාමික යුද හමුදාපතිවරුන්, විනිසුරන් සහ කසිකබල් මාධ්‍යකරුවන් යනාදීන් සුවපහසු වැටුප් සහිත තානාපතිකම් පතා බැලමෙහෙවරේ යත් දී දයානන්ද දිශානායකගෙන් අප විශ්මයන් අපේක්ෂා කරන්නේ කෙසේ ද? මන්ද යත් එය අවස්ථා නැති කර ගැනීමක් පමණක් නොව ජීවිතාරක්ෂාවට ද තර්ජනයක් විය හැකි නිසා ය.

සහෝදරවරුනි, සහෝදරියනි තත්ත්වය හිතනවාට වඩා භයානක යි.