සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතේ කතෘවරයා අත්අඩංගුවට ගනී

ලංකා සතිඅන්ත පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතාව අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව එම පුවත් පතේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට දන්වා සිටියේය. ප්‍රශ්ණ කිරීම සඳහ අද සවස සීඅයිඩී යට පැමිණෙන ලෙස ලැබුනු දැනුම් දීමට අනුව එහි ගිය ලංකා කතෘවරයාගෙන් පැය දෙකක් පමණ ප්‍රශ්ණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව රඳවා තබාගැනීමේ නියෝගයක් උඩ ඔහුව අත්අඩංගුවට ගන්නා බව දැනුම්දී තිබේ. ඔහුව අත්අඩංගුවට ගත්තේ කුමන කාරණයකට අදාලවද යන්න මෙතෙක් හෙළිකර නොමැත.
ජනාධිපතිවරණයට දින දෙකක් තිබියදී ලංකා ඊ නිව්ස් ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදහන් වූ අතර අද වන විටද කිසිදු තොරතුරක්නොමැත. පසුව මැතිවරණය දිනයේදී ලංකා ඊනිව්ස් වේබ් අඩවිය පාඨකයන්ට බැලීමට නොහැකි අයුරින් අවහිර කරන ලදි. මැතිවරණයට පසුදින කුරුණෑගල ප්‍රාදේශීය මාධ්‍යවේදී ගුණරත්න ලියනආරච්චි මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල විණි. ඉන්පසු ඊයේ (28) උදෑසන රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා විසින් ඔහුගේ නිල කාමරයේදී එහි ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයෙකුට පහරදෙන ලද අතර මේ වන විට එහි තවත් මාධ්‍යවේදීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. ඊයේ රාත්‍රියේ පොලිස් කණ්ඩායමක් ලංකා ඊනිව්ස් කාර්යාල භූමියට ඇතුලු වී ඇති බවද එහි කතෘවරයා අද පොලීසියට පැමිණිල්ලක් කරන ලදි. මේ සියලු සිදුවීම් මගින් පෙනි යන්නේ පශ්චාත් ජනාධිපතිවරණ කාලය තුල මෙරට මාධ්‍ය මුහුණ දී සිටින මර්දනකාරී තත්ත්වයයි. එහි උච්චම අවස්ථාව අද දින ප්‍රධාන පුවත්පතක කතෘවරයෙකු අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවයි. මෙම මර්දනය හෙට තවත් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කී දෙනෙකු වෙත එල්ල වේයැයි කිව නොහැක්කකි.