සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතෙහි කර්තෘ අත්අඩංගුවට ගැනීම හා එම කාර්යාලයට මුද්‍රාතැබීම තරයේ හෙළාදකිමු – මාධ්‍ය සංවිධාන

මාධ්‍ය මත මුදාහැර ඇති මර්දනය නතර කර, ලංකා පුවත්පත මත පනවා ඇති තහංචි ඉවත් කොට එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත වහාම නිදහස් කරන ලෙස මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
ලංකා සතිඅන්ත සිංහල පුවත්පතෙහි කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත්අඩංගුවට ගැනීමටත් එම පුවත්පත් කාර්යාලයට මුද්‍රා තැබීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකිරීම මෙරට මාධ්‍ය නිදහසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයටද එල්ල කළ මරුපහරක් ලෙස හඳුන්වන එම සංවිධාන පශ්චාත් මැතිවරණ සමය තුළ සිදුකෙරෙමින් පවතින විරුද්ධ මතධාරී මාධ්‍ය මර්දනය ක්‍රියාවලිය වහාම නවත්වන ලෙස රජයට බල කර සිටී.
ජනාධිපතිවරණ සමයේ දී ජනමාධ්‍ය නිදහස ඇති කරන බවටත් ජනමාධ්‍යවේදීන් ඝාතන පරීක්ෂණ කඩිනම් කරන බවටත් වූ පොරෙන්දු සීසීකඩ යවමින් ජනාධිපතිවරනයෙන් ජය ලද වහාම තමන්ට අවනත නොවූ ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් වෙත මුදා හැරෙමින් තිබෙන මර්දනකාරී තත්ත්වය දිගින් දිගටම උත්සන්න වීම මෙම සිදුවීම මගින් උච්චස්ථානයක් කරා ගමන් කර තිබෙන බවත්, දේශපාලන විපක්ෂයක් මෙන්ම එම අදහස් මහා ජනයා වෙත ගෙන යනු ලබන මාධ්‍යයන්ට අවහිරයකින් තොරව කටයුතු කිරීමේ නිදහස පැවැතීමත් නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය ලක්ෂණයක් බව පෙන්වා දෙන ඔවුන් එැවැනි භූමිකාවක් නියෝජනය කළ ලංකා පුවත්පතෙහි ක්‍රියාකාරීත්වයට බාධා පැමිණවීම සිතීමේ, අදහස් දැරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කෙළෙසීමක් බව සිය නිවේදනය මඟින් පෙන්වාදී තිබේ.
විපාක්ෂික ජනමාධ්‍ය සහ මතවාද බලයෙන් මර්දනය කිරීමේ මෙම ප්‍රවණතාවය නොනැවත වර්ධනය වුවහොත් එය ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයකට ගමන් කිරීමේ පළමු පියවර වනු ඇතැයි බිය පළකරන මාධ්‍ය සංවිධාන මෙම මර්දනකාරී තත්ත්වය නතර කරන සේ රජයට බලපෑම් කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙස් විදෙස් බලවේගයන්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය වසර ගණනාව තුළ මෙරට ජනමාධ්‍යවේදින් හා ජනමාධ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වූ අතර තවත් විශාල සංඛාවක් හිරිහැර සහ වධ හිංසාවන්ට ලක්වූවා. එයට අමතරව මාධ්‍ය ආයතන ගණනාවක්ද ගිනිබත් කරනු ලැබුවා. මේ තත්ත්වය නිසා මාධ්‍යවේදීන්ට අනතුරුදායක රටවල් අතුරින් ලෝකයේ තුන්වන ස්ථානය බවට අප රට පත්වුවාය.