සිංහල, Colombo, Democracy, Governance

ෆොන්සේකා, රාජපක්ෂ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ අනාගතය

පුරුවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
එල්ටීටීඊ ය පරදවා ලද යුද්ධ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දී සිටි අභියෝග තුනක් විය. 1. දේශපාලනය සහ සමාජය නිරවිකරණය, 2. සමාජ සාධාරණත්වය ඉලක්ක කරගත් ආර්ථික සංවර්ධනය, 3. උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනයාට ස්වයං පාලන ව්‍යුහයක් ලබා දෙන දේශපාලන විසඳුමක් සහතික කිරීම. මේ අභියෝග තුන එකක් මත එකක් රඳා පවතිනවා විනා එකක් අනෙක් විසින් විස්ථාපනය කළ හැකි ද්විතීයක හෝ තෘතීයක වන්නේ නැත.

ශ්‍රී ලංකාව නව මඟක ගෙන යාමට නම් යුද්ධාවසානයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ගත යුතුව තිබුණේ දකුනේ ද උතුරේ ද දේශපාලන සහ සමාජීය සමගි සන්ධානයේ මාවත ය. ජනාධිපතිධූරයේ ප්‍රථම වාරයෙහි තවත් වසර දෙකකටත් වඩා කාලයක් ඔහුට ඉතිරිව තිබුණි. සිය ශපථ කිරීම් අනුව ශ්‍රී ලංකාව සමෘද්ධිය කරා එම ඉදිර දෙවසර තුළ ගෙන යාමෙන් පසු ජනාධිපතිවරණයට එළඹිමට ඔහුට අවස්ථාව තිබුණි. නමුත් ජනාධිපති රාජපක්ෂ දෙවසරක් කල් තබා යුද්ධාවසානයේ රශ්නය පිටම ජනාධිපතිවරණයක් කැඳවූයේ ය. ඇයි?

මේ අරභයා තර්කාණුකූල විග්‍රහයක් මා ඇසූයේ ශීරාල් ලක්තිලක කළ රූපවාහිනී සාකච්ඡාවක දී ය. ඔහු කීයේ දෙවසරක් ඉතිරිව තිබිය දී රාජපක්ෂ ජනාධිපතිවරණයකට ගියේ දුර්වල විපක්ෂය තවත් දුර්වල කර සිය බලය මහානුභාව සම්පන්න කර ගැනීමට යැයි කියා ය. රනිල් වික්‍රමසිංහ අනීවාර්යයෙන්ම තරඟ කරනු ඇතැයි ද ජනාධිපතිවරණයෙන් තමන් සියයට 75 ඡන්ද ලබා ගනු ඇතැයි ද රාජපක්ෂ කඳවුර විශ්වාස කළේ ය. ලක්තිලක තර්ක කළේ දුර්වල විපක්ෂයක්වත් ඉවසා සිටීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් රාජපක්ෂ ව්‍යාපෘතියට නැතැයි කියා ය. එයට අවශ්‍ය කරන්නේ කිසිදු විරෝධයක් නොනැගෙන පාලනයකි. අත්තනෝමතිකත්වයකි.

ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිසා රාජපක්ෂ ව්‍යාපෘතිය අනපේක්ෂිතව තර්ජනයකට ලක් විය. මෑත කාලයේ අප දුටු දූෂිත ම සහ භීෂිත ම මැතිවරණයක් අප අත්දුටුවේ ඒ නිසා ය. පරාජය වීමට හැකියාවක් රාජපක්ෂ තන්ත්‍රය ඉතිරි කරගෙන තිබුණේ නැත. පරාජය යනු විනාශය ලෙස දැකීමට එයට සිදු වී තිබුණි. පරාජය වූ ෆොන්සේකා පවා මාරාන්තික හතුරකු සේ දැකීමට රාජපක්ෂ තන්ත්‍රයට සිදුව ඇත්තේ ඒනිසා ය. එය හැසිරෙන්නේ සියයට 58ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් පක්ෂයකට වඩා සිය හෙවනැල්ලටත් බිය පාලකයකු ලෙස ය. නොඑසේව සාමකාමී විරෝධතාවයන් මැඩලීමට පතාල මැරයිනට පොලීසියේ සහාය ලබා දෙන්නේ කුමණ පාලකයා ද?

ෆොන්සේකා රාජපක්ෂ තන්ත්‍රයේ ආරක්ෂ හමුදාවන්හි ඒකාබද්ධ ප්‍රධානියා විය. ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරින් අඩක් ලබා දීමටත් යෝජනා කර තිබුණි. රාජපක්ෂ තන්ත්‍රයේ ආරක්ෂකයකු ලෙස දිගටම පෙනී සිටියේ නම් අද ෆොන්සේකාට එල්ල වන චෝදනා කිසිවක් එල්ල වන්නේ නැති බව මුලු ශ්‍රී ලංකාවම දනී. ස්වකීය අත්තනෝමතිකත්වය රැක ගැනීම පිණිස තමාගේ හිටපු හමුදා නිලධාරියා වන ජෙනරල් සරත් ෆොන්සේකා දඬු අඬුවට යැවීමට ගනු ලැබ ඇති තීරණයෙන් පෙනෙන්නේ එක්කෝ බලයෙන් අන්ධ වී ඇති තරම ය. නැත්නම් බලය නැතිවේ යැයි යන බියෙන් උමතු වී ඇති බව ය. මන්ද යත් එල්ටීටීඊය පරාජය කිරීමේ යුද්ධයේ සියළු රහස් දන්නා ෆොන්සේකා අධිකරණයට ගෙන යාම ශ්‍රී ලංකා රාජ්‍යය දෙදරුම් කැවිය හැකි සංසිද්ධියක් වීමට ඉරණම් ලබන නිසා ය. එක් දෙයක් ගැන පරදු තැබිය හැක. රාජපක්ෂ තන්ත්‍රය කිසිසේත්ම ෆොන්සේකාට විවෘත අධිකරණයක නඩු පවරන්නේ නැති බවයි.

අනෙක් අතට ෆොන්සේකා සිරගත කිරීමට හෝ ඝාතනය කිරීමට දැරෙන තැත රාජපක්ෂ දේශපාලනයේ පදනම වන සිංහල වීරත්වය රිදවීමට දැනටමත් පටන්ගෙන තිබේ. අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් විසින් ෆොන්සේකා අත්අඬංගුවට ගැනීම හෙළා දකිමින් කරන ලද ප්‍රකාශ ඊට හොදම නිදසුන යි. බොරුකාර සුදු හැදගත් දේශපාලනඥයින් ගැන මෙවැනි ප්‍රකාශයක් මෑත කාලයෙහි අප අසා නැත. එසේ තිබියදීත් ෆොන්සේකා සිරගත කිරීම හෝ ඝාතනය කිරීම අතහැරීමට රාජපක්ෂ තන්ත්‍රයට නොහැකිය. ඒ විරුද්ධත්වය ඉවසීමට නොහැකි අත්තනෝමතිකත්වය එහි ලකුණ බවට පත්ව ඇති නිසා ය.

ෆොන්සේකා සිරගත කිරීම පුළුල් දේශපාලන වර්ධනය තුළ විග්‍රහයකට හසු කරන දේශපාලන විචාරිකා තිසරණි ගුණසේකර කියන්නේ රාජපක්ෂ පවුලේ රාජ්‍යත්වය දිගටම ගෙන යෑමට නම් ඔව්න්ගේ ම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය බැවින් ෆොන්සේකා අත්අඩංඟුවට ගැනීම ඍජුවම මහා මැතිවරණය හා බැදී ඇති බව යි. එවැනි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි ධුර කාලයෙන් පසු රාජපක්ෂ රාජ්‍යත්ව ව්‍යාපෘතිය අනීවාර්යයෙන්ම බිඳ වැටෙනු ඇතැයි ඇය තර්ක කරයි. රාජපක්ෂ ව්‍යාපෘතිය පරාජය කළ යුත්තේ ඇයි දැයි සාකච්ජා කරන ගුණසේකර තවදුරටත් පෙන්වා දෙන්නේ ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම හුදකළා සිදුවීමක් නොව පශ්චාත් ජනාධිපතිවරණ සමස්ත මර්දනයේ ම කොටසක් බව යි.

අපට මෙම වර්ධනයන් තවත් කෝණයකින් විමසිය හැකි ය. දේශපාලනය ආර්ථිකයේ පිළිඹිබුවකැයි කියනු ලැබේ. අඩුම වශයෙන් ආර්ථික පිළවෙත් තීරණය වන්නේ දේශපාලන ගමන් මග අනුව ය. රාජපක්ෂ තන්ත්‍රයේ දැති සහ රෝද බවට පත්ව සිටින ආර්ථික සහ දේශපාලන ශ්‍රාස්ත්‍රඥයින් දැන් මෙම අත්තනෝමතිකත්වයට ගැලපෙන ආර්ථික පිළිවෙත ගැන කතා කරති. ඔවුන් ඊට කියන්නේ සංවර්ධන රාජ්‍ය පිළිවෙත කියා ය. ඒ සඳහා උදාහරණ වශයෙන් සිංගප්පූරුව සහ චීනය වැනි රටවල් පෙන්වා දෙති. ශ්‍රී ලංකාවට සිංගප්පුරුවක් විය නොහැකි බවට වන විවාදය දැන් අඩුම වශයෙන් වසර 25ක්
පරණ ය. චීනය සතු සම්පත් ශ්‍රී ලංකාවට සිතා ගැනීමටවත් බැරි තරම් ය. වැදගත් කරුණ එය නොවේ. මෙවර මහින්ද චින්තන ලියැවිල්ල ලියැවී ඇත්තේ මෙම ඊනියා සංවර්ධන රාජ්‍යයේ දේශපාලන මතවාදය උඩ වීම ය. එහි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවක් නැත. 17 වන සංශෝධනය කන්නදැයි ඇමැති නිමල් සිරිපාල බදුල්ලේ මහාජනයාගෙන් අසා සිටීම මෙම පිළිවෙතේ විලිලැජ්ජා නැති ප්‍රකාශණයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සළු ගලවා දමා මිලින්ද මොරගොඩ මරණ දඩුවම ඉල්ලා සිටින්නේ ද එනිසාය. රටක් සංවර්ධනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවශ්‍ය නැතැයි යන්න මෙම මතවාදයේ කෙටි සාරාංශය යි.

අප ජනාධිපතිවරණය, ෆොන්සේකා සිරගත කිරීම සහ එළඹෙන මහා මැතිවරණය තේරුම් ගත යුතු දේශපාලන පදනම මෙය යි. එනම් ශ්‍රී ලංකාව පාලනය කිරීමටත් සංවර්ධනය කිරීමටත් ප්‍රජාත්නත්‍රවාදී දේශපාලනය ක්‍රමයක් අවශ්‍ය නැත යන රාජපක්ෂ ව්‍යාපෘතියේ විනාශකාරී මතවාදය යි. ඒ නිසාම මේ තාක් කල් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි දේශපාලඥයින්, ශ්‍රාස්ත්‍රඥයින් සහ කතුවරුන් ඉදිරි කාලයේ දී මෙම මතවාදයේ ප්‍රකාශකයින් ලෙස කළ එළි බැසීම අප අපේක්ෂා කළ යුතු ය. මානව හිමිකම් කන්නදැයි කියා ඔවුන් හෙට අනිද්දා අපෙන් අසනවා ඇත. ජනාධිපතිවරණයෙහි දක්නට ලැබුණූ රාජ්‍ය සම්පත් අවභාවිතය ප්‍රසිද්ධියේ හෙළා දැක සතියක් ගතවීමටත් පෙර මහ මැතිවරණයත් එහෙම ම කොරන්ඥං යැයි කළ මැ.කෝ. වැදිබණ දේශනාව ඊට එක් නිදසුනකි.

දැන් හිටපු යුද හමුදාපති, අවම වශයෙන් සියයට 40 ඡන්ද දායකයන්ගේ විශ්වාසය දිනා ගත්, සිංහල බෞද්ධ වීරත්වයේ ප්‍රමුඛ සංකේතයක් වන සරත් ෆොන්සේකා සිරගත කිරීමට හෝ ඝාතනය කිරීමට දැරෙන රාජපක්ෂ ප්‍රයත්නය විසින් පෙන්නුම් කරන වැදගත්ම දේශපාලන තර්කය කුමක් ද? එනම් මර්දනකාරී පාලනයකට අතර මඟ නතර විය නොහැකි බව යි. ඔව්න් දැන් තෝරාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ ලඟට හෝ ඒ හා සමානව ම වත්මන් ශ්‍රී ලංකාවේ වැඩිම ජනප්‍රියත්වයක් භුක්ති විදින චරිතය විනාශ කිරීම ය. දැන් ආපසු හැරෙන්නට නොහැක. ෆොන්සේකා දඩු අඬුවට යැවිය යුතු ය. ඊට ඇතිවන විරෝධතා යකඩින් ලෙයින් මැඬලිය යුතු ය. ජනමාධ්‍ය මර්ධනය දැඩි කළ යුතු ය. විපාක්ෂිකයිනට මැරවරයින් ලවා පහර දිය යුතු ය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කළ යුතු ය. මැ.කෝ. බිය ගැන්විය යුතු ය. ශ්‍රේෂ්ඨාධිකරණට රූපවාහිනී ආචාරීන් ලවා මෝඩයින් යැයි කියවිය යුතු ය. යුද හමුදාව දේශපාලන ග්‍රහණයට ගත යුතු ය. අදීන පොලිස් නිලධාරීන් නින්දාවට පත් කළ යුතු ය. රාජ්‍ය පරිපාලනය හෙංචයියන් අතට පත් කළ යුතු ය. තමාගේ සෙවැනැල්ලට පවා බිය වෙමින් දාස දේශපාලනඥන් වට කර ගත යුතු ය. තමාගේම පක්ෂයේ ජනපදනමක් ඇති පිරිස් බල රහිත කළ යුතු ය. අවසානයක් නැති පිරිහීමේ ක්‍රියාදාමයක් අප ඉදිරියේ දිග හැරෙයි.

පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීම වෙනුවට රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ගෙන යනු ඇත්තේ වඩ වඩා බෙදී ගිය ගැටුම්කාරී දේශපාලනයකට ය. දීරඝ කාලීන බහුත්වවාදී දේශපාලන සම්ප්‍රදායක් ඇති ශ්‍රී ලංකාවෙහි මර්දනකාරී අත්තනෝමතික පාලනයකට රජ කළ හැක්කේ සමස්ත මර්දනයක් මගින් පමණි. ඒ බව අප මෙන්ම කළක් අප සමඟ වීදියේ සටන් කළ මහින්ද රාජපක්ෂ දනී. ඔහුගේ චිත්ත සන්තානය කුමක් කියනු ඇත් ද? මර්දනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද?

පශ්චාත් මැතිවරණ තිරූ ලිපියෙහි තිබූ අවසාන වැකිය ඔබට මතකද? : සහෝදර සහෝදරියනි තත්ත්වය හිතනවාට වඩා භයානක යි. ඒ බව සනාථ විමට ගතවුයේ කොපමණ ටික දවසක්ද? එනමුත් මා තවමත් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව බුරුමයක් හෝ ඉරානයක් කිරීමට දකින සිහින දවල් සිහින ලෙසම පවතිනු ඇති බව යි.

සුනන්ද දේශප්‍රිය