සිංහල, Colombo, Democracy, Human Rights

ශ්‍රේෂ්ඨාධිකරණය ෆොන්සේකාගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කරයි

ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාව හමුදා අත්අඩංගුවෙන් කොන්දේසි සහිතව මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. විශ්‍රාමික ජෙනරාල්වරයාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඇප අයදුම ප්‍රතික්ෂේප කළද ඔහුව හමුවීමට පවුලේ සමීපතම ඥාතීන්ට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු කැමැති වෛද්‍යවරයෙකුගේ හා නිතීඥයින්ගේ සේවය ලබාගැනීමටද ඔහුට අවසර ලබාදුන්නා. මේ අනුව ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාට තවදුරටත් නාවික හමුදා මූලස්ථානය තුළ සිරගතව සිටීමට සිදුවේ. අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අප්‍රේල් 26 වනදා විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.
යුධ හමුදා පොලිසිය විසින් පසුගිය 8 වෙනිදා ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගනු ලැබුවා. රජය ඔහුව හමුදා අධිකරණයක් ඉදිරියට පැමිණවීමට කටයුතු කරනු ලැබුවද ෆොන්සේකා මහතා එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
රජය මේ වන තෙක් හිටපු ජෙනරාල්වරයාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කර නොමැත. එහෙත් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ ඔහුට එරෙහි චෝදනා ගොනුකර අවසන් බවත් ඒ අනුව ලඟදීම යුද්ධාධිකරණයක් පිහිටුවා ඔහුට එරෙහිව ඇති චෝදනා විභාග කිරීම අරඹන බවත්ය.