සිංහල, Democracy, Matale

මනාප පොරය ‛‛කානිවල්’’ එකෙත්…

මාතලේ තේරු උත්සවය නිමිත්තෙන් පසුගිය 26, 27 සහ 28 දින තූල මාතලේ විජය විද්‍යාලීය ක්‍රිඩාංගණයේ, දිරිය ලංකා පදනම විසින් සංවිධානය කර තිබූ වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලි භූමියේ වෙළද දැන්වීම් ප්‍රදර්ශණය කර තිබූ පුවරුවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රචාරණ දැන්වීමක් පලවීමෙන් පසු, එම සංධානයේම හිටපු අමාත්‍යය රෝහණ දිසානායක මහතා එහි සංවිධායකවරුන්ට ‛මොකටද නන්දිමිත්‍රගේ ඒවා දාන්නේ මගේ ඒවා විතරක් දාන්න’ යැයි පවසා ඇතැයි වාර්තාවේ.

මේ නිසා දැන්වීම් සඳහා මුදල් ලබාගත් එම සැණකෙලියෙහි සංවිධායකයින් මහත් අපහසුතායකට පත්ව ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම සැණකෙලියේ අවසන් දිනයේ දී කිසිදු කෙනෙකුගේ දැන්වීමක් එම භූමිය තුළ ප්‍රචාරය නොකිරීමට එම සංවිධායකයින් තීරණය කර තිබේ. දේශපාලනයට අදාළ නොවන දැන්වීම් ලබා දුන් ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ගේ දැන්වීම ප්‍රචාරය නොකරන්නේ මන්දැයි විමසීමත් සමඟ සංවිධායකයින් මහත් අපහසුවකට පත් වී ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

එකම පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකයින් මෙසේ ඇනකොටා ගැනීම රටේ දේශපාලන ඉදිරිය කෙසේ වනු ඇතැයි ද දැනටමත් සිතා ගැනීමට හැකි වනු ඇතැයි මේ පිළිබද අදහස් දැක්වූ මාතලේ ප්‍රදේශයේ ගුරුවරයෙකු විකල්ප සමඟ පැවසී ය.