සිංහල, Colombo, Democracy, Human Rights

හමුදා අධිකරණයට පත්කළ විනිසුරුවරුන් නුසුදුසු බවට ජෙනරාල්ගේ නිතීඥවරු විරෝධතා ගොනු කරද්දී ජෙනරාල් ෆොන්සේකා හමුදා අධිකරණයේ පෙනි සිටී

හමුදා රාජකාරියේ යෙදී සිටියදී දේශපාලනය කිරීමේ චෝදනාවට හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතා අද යුද්ධාධිකරණය හමුවේ පෙනි සිටියා. එම යුද්ධාධිකරණයට පත්කර ඇති විනිසුරුවරයන් තිදෙනා ඒ සඳහා නුසුදුස්සන් බවට ෆොන්සේකා මහතාගේ නිතීඥයින් විසින් මූලික විරෝධතාවයක් ගොනු කරනු ලැබුවා. එම විරෝධතාවය මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ විනිසුරු මඩුල්ල නඩුව විභාගයට ගනු ලැබූ අතර ජෙනරාල් ෆොන්සේකාට එරෙහි චෝදනා තුනක් ඉදිරිපත් කරනු ලැබුවා.
විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් එච්.එල්.වීරතුංග මහතා වර්තමාන හමුදාපතිවරයාගේ මස්සිනා වන නිසාත් අනෙක් විනිසුරුවන් වන මේජර් ජෙනරාල් ටී.ආර්.ඒ.බී. ජයතිලක සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටියදී රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවකට තනතුරෙන් පහත හෙලූ අයෙකුවීමත් අනෙක් විනිසුරුවරයා වන මේජර් ජෙනරාල් ඒ.එල්.ආර්.විජේතුංග මහතා ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීමට වරදකරුවෙකු වශයෙන් චෝදනා ලැබ තිබිමත් නිසා මෙම විනිසුරු මඩුල්ලේ අපක්ෂපාතභාවය පිළිබඳව ගැටළුවක් ඇතිබව සරත් ෆොන්සේකා මහතාගේ නිතීඥයින් දිගින් දිගටම පෙන්වා දීම නිසා ඔවුන් පිළිබඳව චෝදනා ගොනු කිරීම සඳහා ලබන මස 6 වැනිදා දක්වා අධිකරණය කල් තබනු ලැබුවා.
එහෙත් ජෙනරාල් (විශ්‍රාමික) ෆොන්සේකා මහතා හෙට තවත් චෝදනා හතරක් වෙනුවෙන් පැවැත් වෙන යුද්ධාධිකරණයට පෙනී සිටිය යුතු වනවා.
ඉහත චෝදනා සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රතික්ෂේප කළ අතර එය දේශපාලන අරමුණු මත ගොතන ලද්දක් බව ප්‍රකාශ කර සිටියේය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීමට විරෝධය පා අද පානදුරේ පැවති විරෝධතාවයකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එහිදි විරෝධතාකරුවන් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබු අතර තවත් 12 දෙනෙකු පමණ අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය ප්‍රකාශ කරනු ලැබුවා.