සිංහල, Colombo, Features

අහිංසකයින් දඩයම් කිරීම හෙවත් ලාංකීය පොළිස් ‛කාරයින්ගේ’ මෘග නාටකය

2010 පෙබරවාරි 21දා කටඋත්තරයක් ලබා ගැනීම සදහා ඉඟිණියාගල පොලීසියට රුගෙන ගිය සමන් තිලකසිරි නම් තිදරු පියා ඝාතනය කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු,

‛‛2010 මාර්තු 13වන දා බී. ආර්. රෙජී බන්දුල නැමති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට එරෙහිව ප්‍රදේශවාසින් උද්ඝොශනයේ යෙදී සිටි අයුරු,

‛‛2008 දෙසැම්බර් 17 වනදා රාත්‍රීයේ මාතලේ, රත්තොට මංසන්දියේ දී බස් මගියෙකුට මිනිසුන් බලා සිටියදීම පහරදුන් මාතලේ පොලීසියේ නිළධාරීන් බසයේ සිටි පුරවැසියන් කිහිප දෙනකුගේ මැදිහත්වීමෙන් පොලිස් රියෙන්ම මාතලේ රෝහලට ඇතුල්ත කරන්නට එම පොළිස් ‛කාරයින්ට’ සිදුවිය. මාරාන්තික ලෙස පොලීසියෙන් පහර කෑ එම මගියා රෝහලට භාරදුන් පොලීසිය, රෝහලට පවසා තිබුනේ බසයෙන් වැටී තුවාල සිදු වූ නිසා රෝහලට රැගෙන ආ බවයි’’. මේ සිද්ධිය මත පිහිටා මාතලේ පොළිසියේ එම නිරුවත් ක්‍රියාව 2008 දෙසැම්බර් 18දා ‛විකල්ප’වෙබ් අඩවිය වාර්තා කළේ ය.http://vikalpa.org/?p=681

අද වන විට පොළිසියේ මෙවැනි මුග්ධ පහරදීම්වලින් කී දෙනෙක් මිය යන්නට ඇතිද? කී දෙනෙක් තුවාල ලබන්නට ඇතිද? ‛නඩුත් උන්ගේ බඩුත් උන්ගේ’ නිසා කී දෙනෙක් නොකර වරදකට තවමත් බෝගම්බර හෝ වැලිකඩ සිරගෙවල්වල උඑ ගනිනවා ඇතිද?

මෙවැනි අධම අතීතයක් සහ වර්තමානයක් ඇති ‛ශ්‍රී ලංකා පොළිසිය’ පසුගිය 13වනදා සිදු කළ තවත් එක් ඝාතනයක් පිළිබඳ ත්‍රිකුණාමළය ප්‍රදේශයෙන් වාර්තා විය.

ත්‍රිකුණාමළය, මහමායාපුර ප්‍රදේශයට පොළිස් නිළධාරීන් පිරිසක් 13දා රාත්‍රියේ ගමන් ගත්තේ වරෙන්තුකරුවෙකු සොයා ය. නමුත් අඑයම වනවිට වෙනත් නිවසක් වැටලූ එම පොළිස් නිළධාරීන් එහි සිටි ගෙහිමියාට වෙඩි තැබූවේ ය. නමුත් එම ගෙහිමියා වරෙන්තුකරුවෙකු නොව ප්‍රදේශයේ මාඑ ව්‍යාපාරිකයෙක් බව උදෑසන වන විට තහවරු විය.. තිදරු පියෙකු වූ බී. ආර්. ආර් බන්දුල නැමති එම මාඑ ව්‍යාපාරිකයා පොළිසිය විසින් හිරු පායන විට මරා දමා තිබිණි. ඒ පොළිස් ‛කාරයන් විසින් තවත් මිනිසෙක් මෙසේ මරා දැමුවේ අනුකම්පා විරහිතවය.
ඒ මේ වසරේ ආසන්නව සිදු වූ එක් සිද්ධියක් පමණි.

මේ ආසන්න සිද්ධියට අමතරව 2010 පෙබරවාරි 21දා කටඋත්තරයක් ලබා ගැනීම සදහා ඉඟිණියාගල පොලීසියට රුගෙන ගිය සමන් තිලකසිරි නම් තිදරු පියා පසුදා වන විට මළ මිනියක් බවට පත්වූයේ පොළිස් තුවක්කුවේ අනුහසේ ප්‍රතිපලයක් ලෙසය.

එපමණක්ද නොවේ 2009 අගෝස්තු මස 12දා අඟුලාන ප්‍රදේශයේ තරංග සහ අනුෂ්ක යන තරුණයන් දෙදෙනාට වෙඩි තබා මරා දැමුවේ ද අඟුලාන පොළිස් ‛කාරයින්ය’. ඒ තරුණයින් දෙදෙනාට වෙඩි තබා මරා දමන ලද්දේ එම පොලිස් මුරපොලේ නිළධාරියෙකුගේ මිතුරියකට විහිඑ කිරීම නිසා බව පසුව හෙලිවිණි.

තවත් වරෙක කොළඹ අපරාධ කොට්ඨාෂයේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොළිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ කණ්ඩායමක් විසින් මාළබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමණායක සිසුවාට පහරදුන්නේ ද මෙම ශ්‍රි ලංකා පොලිස් ‛කාරයින්ය’. එසේම බම්බලපිටියේ දී මහ සෙනඟක් බලා සිටියදී මානසික රෝගී තත්වයකින් පෙලුනු බාලවර්නම් සිවකුමාර් නම් තරුණයාට මුහුදේදී පොලුවලින් ගසා මරා දමන ලද්දේ ද මෙම පොලිස් ‛කාරයින්ය.’ එහි ප්‍රතිඵලය ද වුයේ 2009 ඔක්තෝබර් 28 වනදා සිවකුමාර්ගේ සිරුර කොල්ලුපිටියේ වෙරළට ගොඩගැසීමය. එම ඝාතනය කඳුඑ ඇති මිනිසුන්ගේ හදවත් කම්පා කලේ, ඝාතනය සිදුකල මුග්ධ පොලිස්කාරයින්ට සාප කරමිනි.

මේ සියලු දේ මිනීමැරුම්ය. මරා දැමීමට තැත්කිරිම්ය. පහර දීම්ය. ශිෂ්ඨ සමාජයේ කිසිවෙකුටවත් කිසිවෙකුත් මරණ්නට අයිතියක් නැත. පොළීසියටත් අයිතියක් නැත. වරදකරුවෙකු වනතාක් කිසියම් කෙනෙකු සැකකරුවෙකු පමණී. වරදකරුවෙකු ද, නිවැරදිකරුවෙකු ද, යැයි තීරණය කරන්නේ අධිකරණය. මේ සියලු දෙයින් පෙනී යන එක් කරුණක් නම් පොළිසිය නීතිය අතට ගෙන තිබීමකි.

පොළිසීය සැකකරුවෙකුට හෝ තමන්ගේ තුවක්කු බටයෙන් දඩුවම් දීමට යාමෙන් සිදු වන්නේ ජනතාව නීතිය අතට ගැනීමකි. ජනතාව පොලීසියට එරෙහිව විදි බසින්නට පොලිසිය විසින් පොළබවීමකි. එවිට ජනතාවට පොළිසිය ගැනවත්, නීතිය ගැනවත් විශ්වාසයක් නැති වීමය.(දැන් එය නැතිවී හමාරය.) මෙය ඉතාමත් බරපතල තත්වයක් වන්නට පිළිවෙන. මේ තත්වයන් හිදී පොලිසියට එරෙහිව ජනමතයක් මතු වීම නොවැලැක්විය හැකිය. එය අඟුලානෙත්, ඉගිණියාගලත්, ත්‍රිකුණාමලයේත් සදුවිය. ජනතාව වීදි බැස්සේ පොලීසියට එරෙහිවය. ඒ තමන්ගේ සමීපතමයා මරා දැමීමට එරෙහිව ය. අයුක්තියට එරෙහිවය. පොලීසිය නීතිය අතට ගැනීමට එරෙහිව ය.

ඒ තරමටම ශ්‍රී ලංකා පොළිසිය ජනතාවට ආනාරක්ෂිත තැනක් යැයි හැඟී යාමෙන්, නීතිය ආරක්ෂා කරන තැන මරණය ගෙනදෙන තැනක් යැයි හැඟී ගියහොත්, වර්තමානයේ පවතින තත්වයන් වඩා පීඩාකාරී සහ මර්ධනකාරී තත්වයන් වලට සමාජයක්ලෙස මුහුණ දීමට සිදුවිය හැක.
කෙසේ වෙතත් ත්‍රිකුණාමලයේ, මහමායාපුර ප්‍රදේශයේදී පොළිස් වෙඩි තැබීමෙන් මියගිය බී. ආර්. ආර් බන්දුල නැමති මාඑ ව්‍යාපාරිකයා අමානුෂික ලෙස මරා දැමීමට එරෙහිව ජනතාව වීදි බැස්සේය. මාර්තු16 දා ලංකාදීප වාර්තාකල අන්දමට එම සිද්ධියට අදාල ත්‍රිකුණාමළ මුලස්ථාන පොළිස් පරීක්ෂකවරයා ඇතුලු 4 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. එම වර්තාව වැඩිදුර මෙසේ ලියයි. ‛‛2010 මාර්තු 13වනදා අඑයම මහමායාපුරදී පිස්තෝලයකින් වෙඩි තබා බී. ආර්. රෙජී බන්දුල නැමති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම තුලින් සිදුකර ඇති ‛විෂමාචාර’ ක්‍රියාව සම්බන්ධයෙන් මෙම පියවර ගත් බව පොලිස්පතිවරයා විසින් එවා ඇති සේවය අත්හිටුවීමේ නියෝගයේ සඳහන් වේ.’’ යැයි ලංකාදීප වැඩිදුරටත් වාර්තා කළේ ය.

වරෙන්තුකරුවෙකු නොමැති නිවසක් වටලා පොලීසිය මාඑ ව්‍යාපාරිකයෙකු ඝාතනයකළ විටදී එම නීතිය විසින් පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කර ඇත. වරෙන්තුකරුවෙකු යැයි මාඑ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා මරා දැමීම පොළිස්පතිවරයාට අනුව ‛විෂමාචාර’ ක්‍රියාවකි. සමාජයක මිනිසෙක් මරා දැමීම විෂමාචාර ක්‍රියාවක් බවට හඳුන්වා දීම ‛මරාදැමීම’ කොතරම් සුඑ කොට සැළකීමක්ද? එය එතරම්ම උදේ සවස පන්සිල්, බණ අසන යැයි පවසන සමාජයක, බෞද්ධ රාජ්‍යයක් උදෙසා මොරදෙන සමාජයක, මරාදැමීම එතරම් සුඑ කොට සලකා ක්‍රියාකිරිම මරා දැමීම තරම් මුග්ධ ක්‍රියාවක් නොවේද? වරෙන්තුකරුවෙකු වුවත් වෙඩිතබා මරා දැමිය හැකිද? එය පොළිස්පතිවරයාගෙන් වෙනම ඇසිය යුතු ප්‍රශ්ණයකි.

නමුත් මේ මරාදැමීම්වල අවසන එක් වේදනාත්මක දෙයක් පමණක් ඉතිරි වී ඇත.

‛පොලිස්කාර’ මැරයින් විසින් මරා දැමුනු අඟුලාන තරුණයින්ගේ සමීපතමයින්ට ද, ඉඟිනියාගල මරා දැමූ තරුණයාගේ සමීපතමයින්ට ද, 13නදා මරා දැමුණු මාලු ව්‍යාපාරිකයාගේ සමීපතමයන්ට ද ඉතිරි වූයේ සදාතනික වේදනාවකි. කම්පනයකි. මේ වේදනාවටත්, කම්පනයටත් පොළිස්පති තුමා සඳහන් කර ඇති ‛විෂමාචාර’ ක්‍රියාවට පොළිස් ‛කාරයින්ගේ’ වැඩ තහනම් කිරීම ප්‍රමාණවත් ද?.

පොලිසිය යනු ලංකාවේ සිවිල් ආයතනයකි. එහි වගකීම නීතිය ආරක්ෂා කිරීම ය. ජනයා ආරක්ෂා කිරීම ය. බැටන් පොල්ලකට සීමාවී තිබූ පොලීසියට, ඇතැම් විට ‛වෙනත්’ අදහසක් වෙනුවෙන් පෙනී සිටි සිංහල සහ දමිළ කැරලි කරුවන්ගේ පිහිටෙන් මැෂින් තුවක්කු ලැබුනේය. බෝම්බ ලැබුනේය. ඊටත් වඩා ස්වයංක්‍රිය ආයුධ පවා ලැබුනේය. ඒ නීතියට එරෙහිව යන කණ්ඩායම් හෝ පුද්ගලයන් මෙල්ල කිරීමටය.(වර්තමානයේ මෙල්ල කිරීම යනු මරා දැමීම බවට පරිවර්තනය වී ඇත.) දැන් යුද්ධයත්, ත්‍රස්තවාදයත් නිමා වී ඇතැයි කියති. නමුත් තවමත් ඒ ස්වයංක්‍රිය අවිවලින් මිනිසුන් මරා දමන්නේ ‛‛මෘග පාරාදීසයක බලපත් සහිත මෘගයන්’’හැසිරෙන ආකාරයට නොවේ ද?. මරාදැමීමට, අතුරුදහන්කිරීමට, පහරදීම්වලට, අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගැනීම් සඳහා තවමත් නීති රීති දීර්ඝ කරමින් සැරසෙන්නේ මේ මුග්ධ ක්‍රියාවන්වලට බලපත්‍ර ලබා දීමටද?

මේ සියලු තත්වයන් හමුවේ වරක් එක් සාකච්ඡාවකදී ‛පොලීසිය බල්ලාට ගොස් ඇතිදැයි වරක් යමෙකු පොලීසියෙන් ප්‍රශ්ණ කළේය. එවිට හිටපු පොළිස් මාධ්‍ය ප්‍රකාශකයෙකු වූ රංජිත් ගුණසේකර සඳහන් කලේ, ‛පොලිසිය බලු වී නැති බවත් එහෙත් පොලීසියට බල්ලන් රිංගා ඇති බවත් ය.’

ධරමචක්‍රය පැළද, කාකි ඇඳුමින් සැරසුනු මේ පොලීසියේ ‛බල්ලන්’ පන්නා දැමීමේ කාලය වේගයෙන් ඉක්ම යමින් තිබේ. නමුත් මේ පොළිසිවල පොළිස් ‛මහත්වරුත්’ ද සිටිති. ඔවුන්ට ද මේ රෝගය ඉක්මනින් වැලදිය හැකි බැවින් මේ පියවර ඉක්මන් කළ යුතුය. ඒ මුලු මහත් සමාජයක් වෙනුවෙනි. එසේ වුවත් දැන් මේ පොලීසිවල බල්ලන් නොව, බල්ලන්ට වඩා ලේ පිපාසිත වෘකයනුත් ඇතැයි යමෙකුට සිතිය හැක. මානව හිමිකම් හෝ එවැනි හිමිකම් සහ අයිතීන් පිළිබඳ තුට්ටුවකට මායිම් නොකරන තරමට, බොහෝ පොළිස් ‛කාරයින්’ බැටන් පොල්ල හො තුවක්කු කට පිළිබඳ විශ්වාසය තබා ඇත. ඒ තරමට ලංකා පොලීසිය බ්ලැක්‛මාක්’ වී හමාරය.

එම සිතීම අසාධාරණයි කීමට නොහැක්කේ ත්‍රිකුණාමලයේ බන්දුල වැනි අහිංසකයින් ද, බම්බලපිටියේ මානසික රෝගි තත්වයකින් පෙඑනු බාලවර්නම් සිවකුමාර් වැනි තරුණයින්ගේ ජීවිත බිල්ලට ගනිමින් සිදුකරන මේ ‛පොලිස් මෘගනාටකය’ අවසන් කිරීමට මේ සමාජයට හැකිවන්නේ දැයි යන්න ප්‍රශ්ණ කීරීමට ලක්කිරීමෙනි.?

Sampath Samarakoon
[email protected]