සුනන්ද දේශප්‍රිය
නූතන නේපාලයේ දේශපාලන ඉතිහාසයෙහි වැඩිම බලපෑමක් කළ මිනිසා පසුගිය මාර්තු 20 දා 85 වන වියෙහි දී සිය දේශයට ආයුබෝවන් කිවේ ය. ඒ පස් වරක් නේපාලයේ අගමැති වු ගිරිජා ප්‍රසාද් කොයිරාල ය. පුරා හැට වසරක් වූ සිය දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ සමහර විට ඔහු මුහුණ දුන් තීරණාත්මකම අභියෝගය එළඹියේ මෙයට වසර පහකට පෙර 2005 පෙබරවාරි 01දා ය. නේපාලයේ රජු වූ ගයේන්ද්‍ර බීර් බික්රම් සා දෙව් පාර්ලිමේන්තුව විසුරුවා හැර රටෙහි බලය සිය අතට ගත්තේ එදින ය. එමගින් ඇති වූ දේශපාලන ගතිකත්වයන් අද දක්වාම පවතින්නේ නේපාලයෙහි අනාගතය තීරණය කිරීමේ අවසන් නොවු ක්‍රියාවලියක් ලෙස ය.
අගමැති ධුරයෙන් පහ කරන ලද කොයිරාල වහාම රාජකීය කුමංත්‍රණයට එරෙහිව මහා ජනයා අතරට ගියේ ය. (අපේ විපක්ෂය මොනවා හරි වූ ගමන් දුවන්නේ ජාත්‍යාන්තරයට ය) රටපුරා යමින් මහජන රුස්විම් ඇමතූ කොයිරාලගේ දේශපාලන ව්‍යාපාරය එක් කරුණක් වටා කේන්ද්‍රගතව තිබුණි. ඒ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතුය යන්න යි. 2006 රළින් රළ අනවරතව නැගී ආ මහාජන ව්‍යාපාරය හමුයේ අප්‍රෙල් මාසයේ දී ගයේන්ද්‍ර රාජකීය පරාජය පිළිගන්නා තුරුම කොයිරාල සිය දේශපාලන රුස්විම් මාලාව නතර කළේ නැත.
නේපාලයේ පරසිදු මානව හිමිකම් සටන්කාමියකු සහ කීර්තිමත් ජනමාධ්‍යවේදියකු වක කනක් දික්සිත් සිය කොයිරාල අගැයීමෙහි මෙසේ ලීවේ ය. “ගිරිජා ප්‍රසාද් කොයිරාල අනුස්මරණය කෙරෙනු ඇත්තේ නේපාලයේ දශක දෙකක ප්‍රජාත්ත්‍රවාදී යුගය හරහා ඇවිද ගියා වූත් පක්ෂ මට්ටමෙහි දී දුබලතා දැක් වූ නමුත් බහුත්වවාදී දේශපාලනය උදෙසා වු සිය කැපවීම නොවෙනස්ව පවත්වා ගත් මිනිසා ලෙස ය. 1990 සිට ම සිය පක්ෂය වූ නේපාල් ක්‍රොන්ග්‍රසය තුළ ඒකාධිපතියකු වුව ද පූලුල් සමාජ දේශපාලන ක්ෂේත්‍රය අරභයා ප්‍රජාතන්ත්‍රවාදී හරයන් කෙරෙහි තබන ලද විශ්වාසය විසින් කොයිරාල රාජකීය අතිධාවනකාරිත්වයට එරෙහි ස්ථිරසාර සටන්කරුවකු බවට පත්කළේ ය. එමෙන්ම ඔහගේ යථාර්තවාදි දේශපාලනය වනගත මාඕවාදින් සමඟ සංවාදයට එළඹීමට ඔහුට අවකාශය විවෘත කළේ ය ”
නේපාලයේ ඉතිහාසය වෙනස් කළ දෙවැනි සිදුවීම කරා මග පාදන ලද්දේ එම චරිත ලක්ෂණ දෙක විසිනි. පළමු තීරණාත්මක සිදුවීම නම් 1991 මැයි මාසයේ දී රානා රජ පෙළපතේ මහේන්ද්‍ර පාලනය පරදවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම යි. නේපාල ඉතිහාසයේ එය හැදින්වෙන්නේ පළමු ජන ආන්දෝලන අරගලය ලෙස ය. දෙවැනි ජන ආන්දෝලන අරගලය ජය ගත්තේ 2006 අප්‍රේල් මාසයේ දී රානා රජ පෙළපතේම පුරුකක් වූ ගයේන්ද්‍ර පරදවමිනි. ඒ සඳහා මාවත හෙළි පෙහෙලි කෙරුණේ දශකයක් පුරා නේපාල රාජ්‍යය සමඟ සන්නද්ධ අරගලයක යෙදී සිටි මාඕවාදි ගරිල්ලන් සමඟ අනාගත නේපාලය කෙසේ විය යුතුදැයි එකඟතාවයකට මුල පිරීමට ක්‍රෙන්ග්‍රස් පක්ෂයේ නායකයා වශයෙන් කොයිරාල සමත් වු නිසා ය. ඒ යථාර්තවාදී දැක්ම නිසා ය.
ඇත්ත වශයෙන්ම නම් මාඕවාදි සන්නද්ධ අරගලය නේපාල ජනයා අතර මුල් බැස අතුපතර විහිදී ගියේ ද කොයිරාල නේපාල ක්‍රෙන්ග්‍රසයේ පාලන කාලය තුළය. එකල මාඕවාදී ව්‍යාපාරයේ එනම් සී.පී.එන්. නමින් හැදින්වෙන නේපාල කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන සතුරකු වුයේ අගමැති ගිරිජා ප්‍රසාද් කොයිරාල ය. එනමුත් ගයේන්ද්‍රගේ රාජකීය කුමන්ත්‍රණය සතුරන් මිතුරන් බවට පත් කර දෙවන ජන ආන්දෝලන අරගලයට අවශ්‍ය ඒකාබද්ධ නායකත්වය නිර්මාණය කළේ ය. ඉතිහාසයෙහි තමන්ගේ මිනී වල තමන් විසින්ම කපා ගත් බොහෝ ඒකාධිපති පාලකයන් ගේ පා සළකුණු ගයේන්ද්‍ර මාලිගය ඉදිරියේ ද පාදූර්භූත විය.
නමුත් නේපාලය මුහුණ දුන් ප්‍රශ්ණය වූයේ එම හිස් තැන පිරවීමයි. මාඕවාදි සන්නද්ධ ව්‍යාපාරයේ ඉලක්කය වූයේ නේපාලය සමාජවාදී සමූහාණ්ඩුවක් බවට පත් කිරීම යි. ක්‍රෙන්ග්‍රසය ප්‍රමුඛ පාර්ලිමේන්තුවාදී කොමියුනිස්ට් පක්ෂය ද ඇතුළු අනෙක් පක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මත විශ්වාසය තැබූහ. 2006 අප්‍රේල් මාසයේ දී පිහිටැවුණූ තාවකාලික ආණ්ඩුවේ අගමැති වූයේ අප කතානායකයා වන කොයිරාල ය. මූලික සූදානම් කිරීම් වලින් පසු 2008 අප්‍රේල් මාසයේ දී ව්‍යවස්ථාදායක සභාව සඳහා මැතිවරණය පවත්වන ලදී.
කොයිරාල රාජ්‍ය බලය හෝ රාජ්‍ය මාධ්‍ය ස්වකීය වාසියට යොදා ගත්තේ නැත. මහා මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පැර දී මාඕවාදීහු ජන්ද සියයට 39ක් සහ ආසන 220 ක් ලබා පාර්ලිමේන්තුවෙහි විශාලම පක්ෂය බවට පත් විය. මසක් ඇතුළත වසර 240ක් පැරණි රජවරුන් 29 දෙනෙකු විසින් පාලනය දැරු රජ පෙළපත අහෝසි කරන ලදී. මංත්‍රීවරු 564 දෙනෙකුගෙන් යුතු පාර්ලිමේන්තුවෙහි ඊට විරුද්ධ වූයේ 04 දෙනෙකු පමණි. නේපාලය නේපාල පෙඩරල් සමූහාන්ඩුව ලෙස නම් විය. (මෙරට මෙන් පෙඩරල් භීතිකාවක් එරට කොම්යුනිස්ට්වාදීන්ට හෝ පාර්ලිමේන්තුවාදීන්ට තිබුණේ නැත) නේපාලයේ ජනවාර්ගික කණ්ඩායම් සමගි කිරීමේ හොදම ක්‍රමය සන්ධීය නොහොත් පෙඩරල් ක්‍රමයක් බව මාඕවාදී නේපාල කොමියුනිස්ට් පක්ෂයේ දිර්ඝ කාලීන විශ්වාසය විය. අනතුරුව මාඕවාදී නායක ප්‍රචණ්ඩ යන අන්වර්ථ නාමයෙන් හැදින් වූ පුෂ්ප කමාල් දහාල් 2008 අගොස්තු 18 වනදා නේපාලයේ අගමැති බවට පත් විය.
ඉන්දියානු ජාතික අරගලයේ අභාෂයෙන් දේශපාලනය අත් පොත් කළ කොන්ග්‍රස් නායක කොයිරාල මේ ගන්දබ්බ කාලය පුරා ප්‍රතිපත්ති කිහිපයක් වෙනුවෙන් දැඩිව පෙනී සිටියේය. යුද හමුදාව මත සිවිල් පාලනය, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බල විභේදනය, අධිකරණයේ ස්වාධීනත්වය ඒ අතර ප්‍රමුඛ විය. අරගලයෙන් දිනා ගත් නේපාලයේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ කීර්තිය ද දේශපාලනඥයකු වශයෙන් හිමි වන්නේ ඔහුට ය. එසේ නමුත් සන්නද්ධ විප්ලවකාරීන් මෙම ප්‍රජාතන්ත්‍රවාදී එකඟතාවයන් කරා ගෙන ඒම ඉතා දුෂ්කර විය.
මේ අතර වාරයේ ම පීඩාවට පත්ව ජනවාර්ගික කණ්ඩායම් සිය අයිතිවාසිකම් සඳහා විවිධ අරගලයන් ආරම්භ කළේ විවෘත දේශපාලනයට පිවිසි මාඕවාදීන්ට ද අභියෝග කරමිනි. ප්‍රජාතන්ත්‍රවාදී නේපාලය හිරි වැට්ට වූ ඉන්ධන අර්බූදය ඇති වූයේ මෙවැනි වාර්ගික අරගලයක් නිසා ය. නේපාලයේ ඉන්දීය දේශසීමාව දිගටම ඇත්තේ තරායි යනුවෙන් හැදින්වෙන්නේ තැනිතලා කලාපය යි. නේපාලය ගොඩබිමෙන් වට වූ රටක් බැවින් ඉන්ධන ප්‍රවාහණය කෙරෙනුයේ ඉන්දියාවේ සිට රථ මාර්ගයෙනි. ඒ සෑම වාහනයක්ම තරායි කලාපය හරහා යා යුතු ය.
විවිධ තරායි සන්නද්ධ පිරිස් ඉන්ධන ප්‍රවාහණය කැරෙන තරායි මහා මාර්ග වසා දමමින් යළි යළි හර්තාල් දියත් කළහ. තරායි කලාපය පුරා වාර්ගිකත්වය මත පදනම්ව හතු පිපෙන්නාක් මෙන් සන්නද්ධ කණ්ඩායම් බිහි වී තිබුණි.
දශකයක් පුරා සන්නද්ධ ගරිල්ලා යුද්ධයක නිරතවෙමින් සිටි මාඕවාදීන් සහ ආණ්ඩුව අතර ඇතිවූ සටන් විරාමයට පහසුකම් සැළසුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනි. එජා සංවිධානයේ පාලනය යටතේ ඇති කදවුරුවලට 20, 000 කට ආසන්න මාඕවාදී සටන්කරුවන් සීමා කරන ලදී. අනතුරුව මහා මැතිවරණයෙන් අනපේක්ෂිත ජයක් ලද මාඕවාදීහු එක රැයින් රාජ්‍ය පාලකයෝ බවට පත් වූහ. සිය පක්ෂය රටෙහි බලය දරන අතරවාරයේත් මාඕවාදී සටන්කරුවන් සිටියේ කඳවුරු ගතව ය.
එමෙන්ම සමාජ ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි විප්ලවීය පරිවර්ථනයක් උදෙසා දිවි පරදුවට තබා සටන් කළ මාඕවාදීන්ට පැවැතුණු රාජ්‍ය යන්ත්‍රය සමඟ පෑහිම එන්න එන්නම අමාරු විය. මාඕවාදීන් පරාජය කිරීම පිණිස යුද හමුදා මෙහෙය වූ සෙන්පතිවරු සහ පොලිස් ප්‍රධානීන්, මාඕවාදීන්ට සහ ප්‍රබල විරුද්ධත්වයක් පෑ නිලධාරීන් සහ මාඕවාදීන් අතර නොපෙනෙන අරගලයක් හට ගත්තේ ය.
තමන් සමඟ සටන් වැද සිටි මාඕවාදී ගරිල්ලෝ බලයට පත්වීමෙන් පසු පොලීසිය යම් දුරකට අකර්මන්‍ය විය. මෙම පසුබෑම තුළ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සංවිධානය වූ තරුණ කොමියුනිස්ට් ලීගය ගම්බද ද්විත්ව බලයක නියෝජිතයා බවට පත් විය. මාඕවාදීන්ගේ මහජන විමුක්ති හමුදාවේ තරුණ ප්‍රධානීහු පක්ෂයේ තරුණ ලීගයේ නායකත්වයට පත් වූහ. කත්මන්ඩු නගරයෙන් බැහැර නොපෙනෙන ආණ්ඩුවක් ලෙස මාඕවාදීහු කටයුතු කරන්නට ගත්හ.
සටන් විරාම ගිවිසුම අනුව ගරිල්ලා හමුදාවේ යෝග්‍ය පිරිස් නේපාල යුද හමුදවට බඳවා ගත යුතු විය. එය සිදු කැරෙන තුරු යුද හමුදාවට අලුතින් බඳවා නොගතයුතු බවට ආරක්ෂ අමාත්‍යවරයා නියෝග කළේ ය. ඒ නියෝගය නොතකා හළ රජුට පක්ෂව සිටි සහ ර රජ මාලිගයේ ම හැදී වැඩුණූ හමුදාපතිවරයා හමුදාවට අලුතින් භටයින් බඳවා ගැනීම ඇරඹිය. එවිට මාඕවාදිහු සිය මහජන විමුක්ති හමුදාවට ද අලුතින් බඳවා ගැනීම ආරම්භ කළහ. අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරමින් බඳවා ගැනීම් දෙකම තහනම් කරන ලදී.
මෙම දුෂ්කර පරිවර්ථනය හමුවෙහි නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අභියෝගයට ලක් වූයේ මාඕවාදී ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ පවත්වා ගැනීමෙහි ලා එය කොතරම් නම්‍යශීලී ද යන්න උරගා බැලීම මගිනි. මාඕවාදීන් යළි කැළයට යැවීමට කැමැති දක්ෂිනාංශික බලවේග හිස ඔසවමින් සිටියහ. යුද හමුදාව දේශපාලනයට අත දැමීමට මාන බලමින් සිටියේ ය. අනෙක් අතට මාඕවාදීහු සිය බලය තහවුරු කර ගනිමින් අධිකරණය සමඟ ද ගැටුමකට එළඹියේ් අධිකරණය නීතියට නොව මහාජනයාට වගකිව යුතු බව කියමිනි. ඊට අමතරව ගයේන්ද්‍ර රජුගේ අත්තනෝමතිකත්වයට එරෙහිව පසු නොබා සටන් පෙරමුණ ගත් ජනමාධ්‍ය සමඟද මාඕවාදීහු නිරන්තර ගැටුම් ඇති කර ගත්තේ ය.
මාඕවාදීහූ පැරණි අධානග්‍රාහී බලවේග මහාජන විප්ලවයට සතුරුකම් කරන බවට චෝදනා කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක් අරඹූහ. අර්බුදය මැද 2009 මැයි 04 දා මාඕවාදී නායක ප්‍රචණ්ඩ යුද හමුදාපති පාලනය කරන සේ ඉල්ලමින් අගමැති තනතුරින් ඉල්ලා අස්විය. මාඕවාදීහු විපක්ෂයේ වාඩි වූහ. එනමුත් යළි සන්නද්ධ අරගල මාවත කරා යෑම විසදුමක් නොවන බව එහි නායක ප්‍රචණ්ඩ නොහොත් පුෂ්ප කමාල් දහාල් විශ්වාස කළේ ය. එබැවින් ව්‍යවස්ථාදායක සභාවෙහි සහභාගි වෙමින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට සිය පක්ෂය ඔහු කැමැති කර ගත්තේ ය. නව ව්‍යවස්ථාවක් යටතේ පැවැත්වෙන මහා ජන්දයකින් බලය ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව විය.
නමුත් බලා පොරොත්තු වූ වේගයෙන් නේපාලයේ සාම ක්‍රියවලිය ඉදිරියට ගියේ නැත. මාඕවාදී ව්‍යාපාරයේ 20,000ක් තරම් සන්නද්ධ සටන්නාමීහු එක්සත් ජාතීන් යටතේ පාලනය වන කඳවුරුවල විසඳුමක් නැතිව වාසය කිරීමෙන් අසහනයට පත් වන්නට විය. සන්නද්ධ අරගලය අත හැරීම වරදකැයි යන මතය පක්ෂය තුළ වඩා වඩා පැතිරෙන්නට වූ අතර මෑත දී පැවැති රහසිගත පක්ෂ සම්මේලනයක දී එහි නායක ප්‍රචණ්ඩ පරදවා සටන්කාමී පිරිස් බහුතරය දිනා ගත්තේ ය. පක්ෂයේ නායකත්වය තබා ගැනීම පිණිස ප්‍රචණ්ඩට එම සටන්කාමී මතවාදය සමඟ සන්ධාන ගත වීමට සිදුවිනැයි කියනු ලැබේ. උග්‍ර මාක්ස්වාදී පිරිස් ප්‍රචණ්ඩ චීනයේ තෙං ෂියා ඕ පිං මෙන් විප්ලවය ආර්ථික සංවර්ධනය සමඟ හුවමාරු කරන්නේ යැයි චෝදනා කරන්නට වූහ.
ගයේන්ද්‍ර බලයෙන් පහ කොට නේපාලයේ සාමය ඇති කිරීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ සහ මාඕවාදින් අතර ඇති වු අට වැදෑරුම් එකඟතාවයට 2006 ජනවාරි 16 දා අත්සන් තැබූ දෙදෙනාගෙන් එක් අයෙක් වන්නේ මාඕවාදී නායක පුෂ්ප කුමාර් දහාල් ය. අනෙක් දේශපාලනඥයා අප කතා නායක ගරිජා ප්‍රසාද් කොයිරාල ය. මේ මස 04 දා හින්දුස්තාන් ටයිම්ස් පුවත් පත මෙසේ වාර්තා කළේ ය. “ දැන් කොයිරලගේ අභාවයෙන් පසු අටවැදෑරුම් පිළිවෙත ඉදිරියට ගෙන යෑමේ වගකීම ඇත්තේ තමාට යැය ිද ප්‍රතිගාමී බලවේග නේපාලය ආපස්සට ගෙන යෑමට උත්සාහ දරන්නේ යැයි ද කියන මාඕවාදී නායක ප්‍රචණ්ඩ නියමිත කාලය වන මෙම මැයි 28 වන දිනට පෙර නව ව්‍යවස්ථාව සකස්කර අවසන් කළ යුතු බව අවධාරණය කරයි. ඔහු කියන්නේ එමගින් පෙඩරල්වාදයට, සමූහාන්ඩුවාදයට සහ ඵෙහිලෞකකිවාදයට විරුද්ධ බලවේග පරාජය කළ යුතු බව ය.”
ලෝකයේ දුප්පත්ම රාජ්‍යයක් වන නේපාලය ජනයාගේ අපේක්ෂාව දුගී බවින් මිදීම සහ නිදහසේ ජීවත් වීමය. සන්නද්ධ අරගලය ඊට විසදුම නොවන බව දැන් බහුතර පිළිගැනීම ය. එහෙත් ප්‍රශ්ණය විසඳුම කුමක්ද යන්න යි. නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදී හරයන් සමඟ මාඕවාදි සමාජවාදය එකට කැලැතී ගමන් කරනු ඇත් ද? නැතහොත් යළි සන්නද්ධ අරගලය කරා නේපාලය තල්ලුවනු ඇත් ද? එසේත් නැත්නම් මාඕවාදී ව්‍යාපාරය දුර්වල කර සිය නායකත්වය පිහිටුවා ගැනීමට සම්ප්‍රදායික පක්ෂ උත්සාහ කරනු ඇත් ද? ඉදිරි මාස කිහිපය නේපාලයට තීරණාත්මක වන්නේ ඒ නිසා ය. නව ව්‍යවස්ථාවක් සහ මහා මැතිවරණයක් මේ වසර තුළ නේපාලයට ලැබෙනු ඇත. ඇත්ත දේශපාලන සංහිදියාවක් හරහා මෙම නව කාල පරිච්ජේදයට ගමන් කිරීම නේපාල ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාව ය.