ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක් සහ ප්‍රභල අගමැතිවරයෙකු තැනීම ජනාධිපති මෛත්‍රීගේ ඡන්ද පොරොන්දුව වන හෙයිණි. අද දින ( මාර්තු 12) පළ වූ “සවුත් චයිනා මෝර්නින් පොස්ට්”, පුවතපට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් පාදක කරගනිමින් පළ කොට ඇති ලිපියේ සඳහන් වන්නේ එලෙසය. චීනය, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය ගැන මවිත වී ඇති අකාරයක් මෙන්ම, ක්‍රමෝපායිකව තම බලය යළි ලබා ගැනීම සඳහා කළ හැකි කටයුතු සම්බන්ධයෙන් උපායන් සකස්කරන සැටියෙකි.

1997 හොං කොං විශේෂ පරිපාලන ඒකකයේ බලය චීන මධ්‍යම ආණ්ඩුවට පැවරීමත් සමඟ මෙම පුවත්පතේ බලය සහ දේශපාලන විස්වාශයන් වෙනස් වූ ආකාරය ගැන මීට පෙර මා විසින් විස්තර කළෙමි. එබැවින් මෙම පුවත්පත පෙනී සිටින මතවාදය, චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට වඩා වෙනසක් නැත. අදාළ පුවත්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති ඉඩ ප්‍රමාණය ඉතා වැදගත් වේ. මුද්‍රිත පුවත්පතේ මුල් පිටුවේ සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් අදාළ සම්මුඛ සාකච්චාවට වෙන් කොට තිබු අතර, එහි අනෙක් කොටස සඳහාද සැලකිය යුතු ඉඩක් පුවත්පතේ 8 වැනි පිටුවෙන් ලබා දී තිබුණි.

හිටපු ජනාධිපතිවරයා අදාළ පුවත්පත සමඟ සිදු කළ කතා බහේදී රාජ්‍ය නායකයෙකුගේ ලක්ෂණ වෙනුවට කේලාම් කීමේ තත්වයකට ඇද වැටී ඇති සැටියෙකි. තමන් මීළඟට ගත යුතු පියවර සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ අනන්දමන්ද බාවයකි. එසේම තම ඉදිරි සැලසුම ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සඳහා දක්වන බිය මෙහිදීද, ඔහු ඔප්පු කොට තිබේ.

කදිමය. අදාළ සාකච්ඡාවේදී භාවිතා කොට ඇති වචන තුළ ඇත්තේ ගැඹුරු දේශපාලන විමසීමකට වඩා, තමන්ට එරෙහිව නැගී සිටි සතුරා සම්බන්ධයෙන් තමන්ට ඇති වී ඇති පෞද්ගලික තරහ පිරිමසා ගැනීමකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, චීනය එකම නියෝජිතයා ලෙස ගනිමින් මීළඟ දේශපාලන පිම්ම පැනීමට උත්සහ දරන්නේද යන්න දන්නේ නැත. නමුත් එය ඉතාම අසමත් සහ දුර්වල මෙන්ම භයානක චේතනාවක් පමණි. මෙමඟින් ඔහු තව දුරටත් ඔප්පු කොට ඇත්තේ ශ්‍රී ලංකාව විෂයෙහිලා ගඩාෆි චින්තනය ක්‍රියාත්මක වූ ආකාරයයි. එවැන්නක් යළි ඇතිවීමෙන් ලංකාවට යහපත් අනාගතයක් උදා වන්නේ නැත.

කෙසේ වෙතත්, මේ ආකාරයෙන් සිදු කරන කේලාම් දේශපාලනය නොහොත් තම තරහ පිරිමසා ගැනීම සඳහා රාජ්‍යයන් අතර පවතින ගනුදෙනු හෑල්ලු කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මනාව තේරුම් ගත යුතුව ඇත. තම අතිශය සාර්ථක බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසු, චීනයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ජනාධිපතිවරයා මෙම දිය යටින් ගින්දර ගෙන ගොස් රටේ ස්වෛරීත්වය මෙන්ම ස්වාධීන බලය තම පෞද්ගලික ආශාවන් වලට ලඝු කරන පිරිස සහ ඔවුහු අනුගමනය කරන උපායන් මනාව තේරුම් ගත යුතුව ඇත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් විසින්ම ලහි ලහියේ කැඳවනු ලැබූ මැතිවරණයේ පරාජයට සුද්දාට සහ ඉන්දියානුවාට සිදු කරන චෝදනාව දේශපාලනික වශයෙන් කියවීම වැදගත් වන්නේ රට වෙනුවෙන් පමණක් නොව, එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය වෙනුවෙන්ද තීරණාත්මක වේ. රාජපක්ෂ විශ්වාස කරන මාර්ගය තුළ ගමන් කිරීමට ගියහොත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වනු ඇත. එසේම, මෙහිදී චීනය සමඟ එදිරිවාදිකම් නිර්මාණය කිරීමට යන්ත දැරීම සැබවින්ම අතිශය අවිනීත ගතියකි. එය භාෂණයේ මෙන්ම ප්‍රකාශනයේ නිදහස ලෙස තේරුම් ගැනීම සහ යමක් කීමට ඇති අයිතිය ලෙස ලඝු කළ හැකිද යන්න ගැටලුවකි.

මීට පෙර ආණ්ඩුවක් විසින් සිදු කළ ව්‍යාපෘති ඇගයීමකට ලක් කිරීම, බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක මූලික වගකීම වන අතර එය පරාජිතයා විසින්, අදාළ ව්‍යාපෘතිවලට ණය ලබාදුන් රටට එරෙහිව සිදුකරණ පහරදීමක් ලෙස හුවා දැක්වීම අප්‍රසන්න කටයුත්තක් පමණක් නොව එමඟින් ද්වි පාර්ශවීය මෙන්ම බහු පාර්ශවීය සම්බන්ධතා වලට එල්ල වන්නේ ගැඹුරු බලපෑමකි. එමඟින් ඇති කරන හානිය දීර්ඝකාලීන වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීනය සමඟ සිදුකරන පෙම්කෙළිය පිටුපස ඇති දේශපාලනය කියවිය හැක්කේ මෙම සන්දර්භය යටතේය.

මහින්ද රාජපක්ෂ මහතාට යළිත් දේශපාලනික වශයෙන් මතුවීමට අවශ්‍ය වන්නේ නම් මෙවැනි උපක්‍රම සාර්ථක කර ගත හැක්කේ රට යළිත් අරාජික තත්වයකට ( මෙය ඇනාකිසම් නමින් හැඳින්වෙන වැදගත් දේශපාලන සංකල්පය නොවේ) ඇද දැමීමෙන් පමණි. එවැනි තත්වයක් යටතේ ඔහුගේ මෙම උපායන් සාර්ථක විය හැකිය. මන්ද අරාජික රටක නීතියට වඩා වැදගත් වන්නේ බලයය. පුරවැසියාට වඩා වැදගත් වන්නේ ලාභයය. කුසලතාවයට වඩා වැදගත් වන්නේ පන්දම් ඇල්ලීමය. පරාජයේ ශෝඛාන්තයෙන් මිදීම සඳහා නවාකාරයක පෙම්කෙළියක නිමග්න වී සිටින හිටපු ජනාධිපතිවරයා මීළඟ පියවර තැබීමට පෙර චීනයේ අභ්‍යන්තර දේශපාලනය කියවීම සඳහා චයි ජින් විසින් මෑතකදී නිෂ්පාදනය කළ “අන්ඩර් ද ඩූම්” ( UNDER THE DOOM) වාර්තා චිත්‍රපටය නරඹන්නේ නම් මැනවි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa