ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය කරන්නේ, යෝජිත මැතිවරණ සංශෝධන ඇති කිරීමෙන් පසුව පමණක් අළුත් මැතිවරණයක් පැවැත්වෙනු දැකීමයි. එහෙත් එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සංශෝධන කළත් නොකළත්, අපේ‍්‍රල් 23 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැර ජුනි මාසයේ මහ මැතිවරණය පැවැත්වීමට තදින් අදිටන් කොට සිටී. මෛත‍්‍රීපාල සිරිසේන සිටින්නේ, දෙකොණ ගැට ගසා ගත නොහැකි ප‍්‍රහේළිකාවක ය. මන්ද යත්, ඔහු දේශාපාලනික ද්විත්ව විවාහයක හිර වී සිටින බැවිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම ඉවතලීමට ඔහුට හැකියාවක් නැති අතරේම, තමාගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට සහයෝගය දුන් එක්සත් ජාතික පක්ෂය අමතක කිරීමට ද ඔහුට නුපුළුවන.

මැතිවරණ ප‍්‍රතිසංස්කරණයක් දැන් බොහෝ කලක සිට මේ රටට අත්‍යාවශ්‍යව පැවතියේය. බරපතල දෝෂ සහිත පවතින සමානුපාතික නියෝජන ක‍්‍රමය තුළ විශාල වියදමක් දැරීමට සිදුවන නිසා කෙනෙකුට පාර්ලිමේන්තුව සඳහා තරග කිරීමට සල්ලි මළු ගණන් අවශ්‍ය කෙරේ. එම හැකියාව නැති කිසි සාමාන්‍ය මිනිසෙකුට මැතිවරණයකදී සමස්ත දිස්ත‍්‍රික්කයක් ආවරණය කිරීමේ හැකියාව නැත. ඒ තත්වය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, මහ පරිමාණ සූදුකාරයන්ට, බලවතුන්ගේ සපත්තු ලෙවකන්නන්ට සහ වෙනත් එවැනි සමාජ-විරෝධී දූෂිතයන්ට, ඡ‍න්දදායකයාව සල්ලිවලට අරගෙන පාර්ලිමේන්තුවට පැන ගැනීමට හැකි වී තිබේ. සමානුපාතික ක‍්‍රමයේ පවතින තවත් දුර්වලතාවක් වන්නේ, ඇතැම් ආසනවල ජනතාව නියෝජනය කරන සහ ඔවුන්ට වගකියන නිශ්චිත නියෝජිතයන් සොයා ගැනීමට නොමැති වීමයි.

එසේ වෙතත්, කලින් පැවති කේවල ක‍්‍රමය තුළත් අඩුපාඩු නැතිවා නොවේ. එහිදීත්, පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කෙනෙකුට ඡන්දය පාවිච්චි කිරීමට ඡන්දදායකයාට සිදු විය. එය, සාමාන්‍ය ජනතාවට විසඳාගත නොහැකි ප‍්‍රශ්නයකි. එම ක‍්‍රමය යටතේ, පරාජය වන අපේක්ෂකයන් සඳහා පාවිච්චි කෙරෙන ඡන්දය අපතේ ගියේය. සීමාසහිත සමානුපාතික නියෝජන ක‍්‍රමයක් මගින් එම ප‍්‍රශ්නය තරමක් විසඳෙයි. කෙසේ වෙතත්, සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ යම් බලයක් ලබාගත් සුළු පක්ෂවලට, දැන් යෝජනා කොට තිබෙන අළුත් මැතිවරණ ක‍්‍රමය යටතේ අවාසියක් සිදුවෙයි.

සමස්තයක් වශයෙන් ගත් විට, යෝජිත මිශ‍්‍ර ක‍්‍රමය, සුළු පක්ෂ නියෝජනය ගැන සැලකිල්ල යොමු කළ යුතුව තිබෙන අතර, පවතින ක‍්‍රමයට වඩා එය යම් තාක් දුරකට යහපත් ක‍්‍රමයක් වන්නේය. එසේ වෙතත්, මනාප පොරය පිළිබඳ දෝෂය මුළුමණින් සමානුපාතික ක‍්‍රමය මත පැටවිය නොහැකි බවත් අවධාරණය කළ යුතුය. එය බලූ පොරයක් වන්නේ, ප‍්‍රධාන පක්ෂ දෙක විසින්ම අපතයන්ව තරගයට ඉදිරිපත් කිරීම නිසා ය. අපරාධකරුවන්ව ඡන්දයට ඉදිරිපත් කළ විට ප‍්‍රචණ්ඩත්වය බලාපොරොත්තු විය යුතුව තිබේ. මේ මනාප සටන ජනතා විමුක්ති පෙරමුණට ප‍්‍රශ්නයක් වී නැත. මන්ද යත්, එම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්, එකිනෙකා මරා ගන්නේ නැතිව, තමන්ට පෙර පක්ෂය ප‍්‍රමුඛස්ථානයේ ලා සළකන බැවිනි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලන්නේ හැකි තාක් ඉක්මණින් මැතිවරණයකට යාමටයි. හේතුව, පවතින යහපත් වාතාවරණය කල් යත්ම වියැකී යතැ යි ඔවුන් සිතීමයි. ඔවුන්ගේ දින 100 වැඩපිළිවෙල පිළිබඳ උද්‍යෝගය පිරිහෙමින් තිබෙන බවක් පෙනේ. එම වැඩපිළිවෙල අවසන් වීමෙන් පසු තවත් දෙයක් ජනතාවට දෙන්නට ඉතිරි වන්නේ නැත. ඔවුන් ජනතාවට දුන් සහන මල්ල, රාජ්‍ය වියදමට විශාල බරකි. දීර්ඝ කාලීනව එවැන්නක් නඩත්තු කළ හැකි වේද යන්න සැකයකි. එසේම මහින්ද රාජපක්ෂ නැවත පැමිණීමට දරණ ප‍්‍රයත්නයත් ඔවුන්ට ගැටළුවකි. ඔහු වෙනුවෙන් ඇතැම් පිරිස් පවත්වන සාර්ථක මහජන රැළි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හිසරදයකි.

පසුගිය ජනාධිපතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් තමන්ගේ පක්ෂයට ලැබුණු නිසා, ඊළඟ මහ මැතිවරණය අළුත් මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්විය යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි. එහෙත් එම පක්ෂය ඇතුළේ සිදුවෙමින් පවතින ගැටුම් නිසා එවැනි ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට නොහැකි වුවහොත් ඇති වන තත්වය කුමක්ද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා වන්නේ කවුද යන්න අරභයා එම කඳවුරේ යම් බෙදීමක් ඇති වුවහොත්, අළුත් මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වෙන ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කරනු ඇත. අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගෙන් ගිලිහුණු බොහෝ ආසන නැවත අත්පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට එවිට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, යෝජිත අළුත් මැතිවරණ ක‍්‍රමය යටතේ පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වුවහොත් ජයගනු ඇත්තේ කුමන පක්ෂය ද යන්න පුරෝකතනය කිරීමට තවම කාල වේලා මදි ය. එසේ වුවද, අළුත් මැතිවරණ ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතුව තිබේ.


*2015 මාර්තු 13 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Dogfight Over New Electoral System නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි