සිංහල, Colombo, Democracy, Governance, Media

අලුත් දේශපාලනයක වගකීම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

මහා මැතිවරණයෙන් ද ජය ලද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පොදු පෙරමුණ විපක්ෂයට ආණ්ඩුව සමඟ එක්ව රට ගොඩ නැගීමට එක්වන ලෙස ආරාධනා කර තිබේ. එමෙන්ම රාජපක්ෂවාදී දේශපාලන ලේඛකයෝ ද එම කරුන අවධාරණය කරමින් ලිපි ලියමින් සිටිති. මේ සියළු තර්ක මගින් කියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂය ද ජනතා විමුක්ති පෙරමුණ ද දෙමළ ජාතික සංධානය ද රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ය. මෙය අලුත් අදහසක් නොවේ. ජනාධිපති ප්‍රේමදාසගෙන් ණයට ගන්නා ලද අදහසකි. ඔහු කීවේ තමාට අවශ්‍ය කරන්නේ විපක්ෂයක් නොව ප්‍රතිපක්ෂයක් බව යි. සාකච්ඡාව, සම්මන්ත්‍රණය සහ සම්මුතිය මගින් රට පාලනය කළ යුතු බව ඔහු දේශණා කළ ධර්මය විය. දැන් රාජපක්ෂවාදීන් ණයට ගෙන ඇත්තේ ජනාධිපති ප්‍රේමදාසගේ එම දේශණාව යි.

2000 වර්ශයේ දී ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම පිණිස පාලක පොදු පෙරමුණ සහ විපක්ෂ එජාපය අතර කරුණූ සම්බන්ධයෙන් සියයට 90ක එකඟතාවයක් ඇති වුණි. එනමුත් අවසානයේ දී එම එකඟතාවය විනාශ වී ගියේ අන්තර් කාලයක් තුළ තමාට ජනාධිපතිකමත් අගමැතිකමත් යන දෙකම ලැබෙන සේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ජනාධිපතිනි කුමාරතුංග කටයුතු කළ නිසා ය.

සහජීවී දේශපාලනයක් සඳහා අප රටට ලැබුණූ මහගු අවස්ථාව වූයේ 2004 වර්ෂයෙහි ජනාධිපතිනිය පොදු පෙරමුණ ද අගමැති එජාපය ද නියෝජනය කළ මා හැගී අවස්ථාව යි. එම අවස්ථාව නැතිව ගියේ ස්වකීය බලය පිළිබඳ රනිල් වික්‍රමසිංහගේ අධිතක්සේරු දේශපාලනයත්, වන්ද්‍රිකා කුමාරතුංගගේ බල තන්හා අවස්ථාවාදී දේශපාලනයත් නිසා ය.

2005 දී විපක්ෂ නායක වික්‍රමසිංහ ජනාධිපති රාජපක්ෂ සමඟ ප්‍රසිද්ධ සම්මුතියකට එළඹියේ පක්ෂ මාරු දේශපාලනය නතර කිරීමේ එකඟතාවයක් ද ඇතිව ය. නමුත් එම සම්මුතිය කුණු කූඩයට දමා එජාප මංත්‍රිවරු රංචුවක්ම ආණ්ඩුවට එක් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ය. සම්මුතිය බිඳ වැටුණි.

පශ්චාත් යුද්ධ ශ්‍රි ලංකාවෙහි යළි එවැනි සම්මුතියක් ඇති කර ගැනීමට නම් අප එකී අසාර්ථක ප්‍රයත්නයන් විමසා බැලීම වැදගත් ය. එම අත් දැකීම් කෙරෙන් පාඩම් ඉගෙන ගැනීම වැදගත් ය.

සම්මුතිකාමී දේශපාලනයකට විපක්ෂයට ආරාධනා කරන අතරම තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමට පිණිස විපක්ෂයෙන් මංත්‍රිවරු මිලදී ගැනීමට තමන් පසුබට නොවන බව අද පවා ආණ්ඩුවේ ප්‍රධානීහු කියා සිටින්නේ ආඩම්බරයෙනි. එවැනි දේශපාලයන වට පිටාවක් මැද විපක්ෂට ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස උපදෙස් දීමේ අර්තයක් ඇත් ද? විපක්ෂයේ දේශපාලන පක්ෂ කැබලි කිරීමේ සහ දුර්වල කිරීමේ දේශපාලන මූලොපායක් මගින් සිය බලය තහවුරු කර ගත් ආණ්ඩුවක් සහ එහි ප්‍රචාරකයින් දැන් තමන් සමඟ එක්ව වැඩ කරන්නට එන්නැයි විපක්ෂයට කියා සිටින විට එය ඇත්ත උවමනාවක් ලෙස පෙනී යන්නේ නැත.

නිදහසින් පසු ශ්‍රී ලංකාව දිගින් දිගටම මුහුණ දුන් ප්‍රශ්ණයක් වූයේ ප්‍රධාන ජාතික ප්‍රශ්ණ සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර සම්මුතියක් නැති වීම යි. ශ්‍රී ලංකාව දශක ගණනාවක් ආපස්සට ගෙන ගියා වූ ජනවාර්ගික ප්‍රශ්ණය යුද්ධයක් බවට වර්ධනය වුයේ ප්‍රධාන පක්ෂ දෙක අතර වූ අවස්ථාවාදී විපාක්ෂික දේශපාලනය නිසා ය. එමගින් දෙමළ දේශපාලන පක්ෂ ද ආන්තික ස්ථාවරයන් කරා තල්ලු කරන ලද අතර අවසානයේ දී දශක තුනක විනාශකාරී යුද්ධයක් කරා ශ්‍රී ලංකාව තල්ලු වී ගියේ ය.

1971 සිට එක දිගටම වාගේ හදිසි නීතිය මගින් රට පාලනය කිරීමෙහි විපාකයක් වශයෙන් බිද වැටුණු නීතියේ පාලනය යළි පිහිටුවීම දේශපාලන පක්ෂ අතර මෙවැනි සම්මුතියක් අවශ්‍ය වූ අනෙක් වැදගත් ම ක්ෂේත්‍රය විය. එලෙස දුර්වල වෙමින් පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සම්ප්‍රදාය රැක ගැනීම සඳහා පාර්ලිමේන්තුවෙහි සියළු දේශපාලන පක්ෂ අතර 2001 ඔත්තෝබර් මාසයේ දී ඇති වූ සම්මුතිය නිදහස් ලංකාවේ ඇති වූ එවැනි එකම සාධනීය වර්ධනය යි. ඒ වනාහී අන් කිසිවක් නොව ස්වාධීන කොමිෂන් සභා ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයට හදුන්වා දුන් 17වන ව්‍යවස්ථා සංසෝධනය ඒකජන්දයෙන් සම්මත වීම ය. නමුත් අද රාජපක්ෂ පාලනය යටතේ එකී සියළු ස්වාධීන කොමිෂන් සභා දැන් ඇත්තේ වළ පල්ලේ ය. මානව හිමිකම් කොමිසමට කොමසාරිස්වරුන්වත් නැත. ස්වාධීන පොලිස් කොමිසම නැති පොලිස් දෙපාර්ථමේන්තුව දේශපාලන ආයතනයක් වැන්න.

එක්ව රට ගොඩ නැගීමට විපක්ෂයට කැරෙන ආරාධනය අව්‍යාජ එකක් බව පෙන්වීමට නම් අලුත් ආණ්ඩුව පළමුවෙන්ම කළ යුත්තේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම නොවේ ද? රට ගොඩ නැගීමට එක්වන ලෙස විපක්ෂයන්ට ආරාධනා කරන රාජපක්ෂවාදීන් පළමුවෙන්ම මෙම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට කියා නොසිටිය යුතු ද?

ජනාධිපතිවරණයෙන් මෙන්ම මහා මැතිවරණයෙන් ද ආණ්ඩුව පැරද වූ මෙරට දෙමළ ජනයා පෙන්නුම් කළේ මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක අවශ්‍යතාවය යි. මෙරට උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රධාන දේශපාලන පක්ෂය දෙමළ ජාතික සංධානය බව ද මෙම මැතිවරණ ප්‍රතිඵල යළි සනාථ කර තිබේ. දෙමළ ජාතික සංධානය ආණ්ඩුව සමඟ එක්ව සහයෝගී දේශපාලනයක් කිරීමේ පදනම වනු ඇත්තේ කුමක්ද? සැමට පිළිගත හැකි දේශපාලන විසඳුමකි. අඩුම වශයෙන් දැනට ව්‍යවස්ථාගතව ඇති 13වන සංසෝධනය හෝ එහි ජිවගුනයෙන් ද අකුරට ම ද ක්‍රියාවට නැංවීම ය.

එනමුත් සිදුවෙමින් ඇත්තේ කුමක් ද? ආණ්ඩුව සමඟ එක්ව නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරඟ කර මහ ඇමැති වූ හිටපු එල්ටීටීඊ නායකයෙක් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවා තමන්ට බලයක් ලබා දී නැතැයි ප්‍රසිද්ධියේ ම කියා සිටීමත් අන්තිමේ දී මහා මැතිවරණයෙන් පරාජය වීමත් ය. තමා 13වන සංශෝධනය යටතේ පළාත් සභාවන් අයත් පොලිස් බලතල ඒවාට ලබා නොදෙන බව ජනාධිපති රාජපක්ෂ දැනටමත් ප්‍රකාශ කර තිබේ. දේශපාලන විසඳුමක් සෙවීම සඳහා පිහිටුවන ලද සර්ව පාක්ෂික සමුළුව විසුරුවා හැර ඇත. එහි නිර්දේශ කුණු කූඩයේ ය. ඉදින් දෙමළ ජනයාගේ දේශපාලන නියෝජිතයින් කෙසේ අලුත් ආණ්ඩුව සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්න ද? දෙමළ ජනයාගේ දේශපාලන නියෝජිතයිනට සහජිවී දේශපාලනයකට අවවාද දීමට පෙර රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම එහි ප්‍රචාරකයින් ද දේශපාලන විසඳුමක් පිළිබඳව සිය ස්ථාවරය පැහැදිළි කළ යුතු නැත්ද ?.

ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට නම් රටෙහි ප්‍රධාන සමාජ දේශපාලන ප්‍රශ්ණ සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පුලුල් එකඟතාවයන් අවශ්‍ය බව සැබෑ ය. එවැනි එකඟතාවයක් සඳහා පදනම සකස් කිරීමේ වගකීම පැවැරෙන්නේ මූලික වශයෙන් ම ආණ්ඩුවට ය. ජනවාර්ගික ප්‍රශ්ණය, නීතියේ පාලනය පිහිටුවීම, ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ සම්ප්‍රදායන්ට ගරු කිරීම ඒ සඳහා අත්‍යවශය ය.

මහා මැතිවරණයෙන් තමන් ලද වාර්තා ගත බහුතර පාර්ලිමේන්තු බලය සදාකාලික යැයි රාජපක්ෂ පාලනය නොසිතිය යුතු ය. බොහෝ දේශපාලන නායක නායිකාවන් අත්තනෝමතික දේශපාලන හැසිරීම් කරා පිරිහී යන ප්‍රධාන හේතුව එය යි. එනම් තමන් ගේ බලය සදාකාලිකය යන රුවැටිල්ලට හසුවීම යි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වැදගත්ම ලක්ෂනයන් වන්නේ කවර තරමේ ජනප්‍රියත්වයක් වුව කළකදී මහජන ජන්දයෙන් ම පරාජය කිරීමේ හැකියාව යි. අප ඒ ඇත්ත තේරුම් ගන්නේ නම් සම්මුතිවාදී දේශපාලන සංස්කෘතියක් කරා මාවත විවර කිරීම දුෂ්කර නොවනු ඇත.

එය එසේ වේවා ය යන අපේක්ෂාවෙන් යුතුව ශ්‍රී ලංකාවේ සියළු ජනයාට සුබ නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු.