Colombo, Poems

මාතලන්

ජීවතුන් අතර ඇති කටහඬක් එක්කන්
හීනෙකින් අත වනන හදවතකි රත්‍රං
හීතලෙන් හිරි නොවැටි සිරියාව තවරන්
මාතලන් අදත් එයි ආදරය ඉල්ලන්

කලබලය ඇස් වලින් බෝ දුරක් උස්සන්
අරගලය මේ මෙතැන කියාගෙන ගස්සන්
හිටි හැටියෙ නිහඬ මුව ඇහැරන්න හැකි නම්
පෙස්සමක් ගහන්නට වැඩි තරම් අස්සන්

ලෙනින් සහ ලෙයින් පිදු පරපුරක දුර තතූ
අද වගේ කියන්නට සමත්කම් පෑ නෙතූ
මෝටර් සයිකලය ගෙන සවාරිය නොම ගෙතූ
අවසාන මිනිත්තුවෙ වැය කළෙත් ලේ රතූ

“කොම්රේඩ් වැඩ මොකද කැටේකට සෙට් වුණා
මේ පැත්තෙ වරෙන් බං නිදහසේ ” කට් වුණා
එදා අන්තිම දවස – මට උඹව මිස් වුණා
නිපොන් හෝටලය ළඟ අදත් මං ගැස්සුණා

නික්ම ගිය පසු සුළඟ මහා වැසි විසිරුණා
සෙරෙප්පුවෙ පටි කැඩී දෙපා තුඩු ඉස්සුණා
කවිතා ද රුවිතා ද මොකක්දෝ මතු වුණා
පුස් ඩෝං වගේ බං එකම තැන කුඩු වුණා

සංවාද කෝටියක් ගල් ගැසී හොල්මන්
සංතාප මතු වෙවී හිත් ගැඹුර අල්ලන්
මං තාම යුක්තියක් සොයනවා රිද්දන්
මාතලන් හෙටත් එයි ආදරය ඉල්ලන්.

10526161_625099914284290_1351076398723688294_nකසුන් මහේන්ද්‍ර හීනටිගල | Kasun Mahendra Heenatigala