සිංහල, Featured Articles, Life quips, Matale, Poems

අලුත් අවුරුද්ද

අද වැව් ඉස්මත්තේ
අවුරුදු උත්සවේ

උදේ ඉදන් ගමේ උදවිය
කොට්ට පොර අල්ලනවා
කනාමුට්ටි බිඳිනවා
එක රොත්තට ගම හරහා දුවනවා
දෙපිල බෙදිලා කඹ අදිනවා

හවස් අතේ ඉතින් අපේ වාරේ
නැන්දා ගියා තරඟෙට පොල් ගාන්න
අම්මා ගියා තරඟෙට අතු වියන්න

දහදොළොස් දෙනෙකුට
තුන්වේල කන්න දෙන්න
තුන්සිය හැටපස් දොහේම දුක් ගන්නා
අපේ නැන්දට
කලටි පොල් ගෙඩියක්
ගාගන්න එකත් කාරියක් යෑ

වලව්වත්තේ අතු ඇහිඳින
මඩේ බැහැගෙන අතු පොඟවන
අඟිලි තුඩු ගෙවෙනකන් අතු වියනා
අපේ අම්මට
අමු පොල් අග්ගිස්සක්
වියාගන්න එකත් කාරියක් යෑ

‛‛අවුරුද්ද අලුත් උනත්
මේ සෙල්ලම නං බොහෝම පරණයි’’
මට නං හිතුනේ එච්චරයි

අනෝමා රාජකරුණා
‛ගෝත්‍රික ප්‍රේමය’ කවි පොතෙන් ලියා එව්ෙව් ෙම්නකා දර්ශණි