Colombo, Featured Articles, Features

පකිස්තානය – විධායක ජනාධිපති ක්‍රමයට ආයුබෝවන්

සුනන්ද දේශප්‍රිය

2007 දෙසැම්බර් 27 දා පකිස්ථානය දෙදරුම් කැවේ ය. දකුණූ ආසියාවට ම එම කම්පනය දැනුනි. කලකට පසු පැවැත්වෙන්නට නියමිත වූ ප්‍රජාතන්ත්‍රවාදී මහා මැතිවරණයෙන් අගමැතිවීමට අපේක්ෂිත ජනප්‍රිය නායිකාව වූ බෙනාසීර් බූතෝ මරාගෙන මැරෙන අන්තවාදි බෝම්බකරුවකුට විසින් මරා දමන ලද්දේ එදින ය. දේශපාලන රුස්වීමක් අවසන්ව මහාජන ආචාර පිළිගනිමින් ආපසු යන ඇය වෙඩි ප්‍රහාරයක් සමඟින් පුපුරුවා ගත් තලේබාන්වාදී ඝාතකයකුට බිලි විය. අනතුරුව ඇති වූ කළහකාරී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැද වාහන සිය ගණන් ගිනි තැබුණි. රට පුරාම සාමන්‍ය ජීවිතය නතර විය. හමුදා ජනාධිපති මුෂ්රප් හමුදාව පාරට කැදෙව්වේ ය. සියය ඉක්මවූ උද්ඝෝෂකයෝ වෙඩි පහරින් මරු දුටහ.

බෙනාසීර් බූතෝ දීර්ඝකාලීන හමුදා පාලනයකට පසු ප්‍රජාතන්ත්‍රවාදය කරා පකිස්ථානයේ දේශපාලනය ගෙන යා හැකි විශ්වාසවන්ත සහ ශක්තිමත් නායිකාව ලෙස පිළිගැනීමක් ඇති කරගෙත තිබුණි. ඇයගේ මරණයෙන් පසු යළි පකිස්ථානය ආරාජිකත්වය කරා ද අනතුරුව හමුදා ඒකාධිපතිතිවයක් කරා ද පිරිහී යනු ඇතැයි විචාරකයෝ බිය පළ කළහ. එනමුත් කොතරම් සාහසික වුවද එක් දේශපාලන ඝාතනයකින් විනාශ කිරීමට නොහැකි තරම් පකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ශක්තිමත් වී ඇති බව කියු පකිස්ථානයේ උපන් ඉන්දියාවේ ජීවත්වන මහාචාර්‍ය අයිජාස් අහමඩ් පෙන්වා දුන්නේ හමුදා පාලනයේ කාලය අවසාන වී ඇති බව යි. අයිජාස් අහමඩ් සිය තර්කය පිණිස යොදා ගත්තේ පකිස්තානයේ සිවිල් සමාජය පෙන්නුම් කරමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදී විභවය යි. අද ඔහුගේ තර්කය සැබෑ වී තිබේ. හමුදාව දැන් සහමුලින්ම සිවිල් පාලනයට යටත් ය.

ඇයගේ මරණයෙන් අනතුරුව 2008 පෙබරවාරියේ දී පැවැති මහා මැතිවරණයෙන් බෙනාසීර් බූතෝ නායකත්වය දුන් පකිස්තාන ජනතා පක්ෂය ජය ගත්තේ ය. ජනාධිපති මුශ්රප්ගේ පක්ෂය පැරදුණි. විපක්ෂය වූ මුස්ලිම් ලීගය සමඟ එකඟතාවයක් ඇති කර ගනිමින් ජනතා පක්ෂය ආණ්ඩුවක් පිහිට වූයේ ය. ජනාධිපතිවරණයේ දී බෙනාසීර් බූතෝ දී තිබු එක් පොරොන්දුවක් වුයේ යුද හමුදා පාලකයින් විසින් පකිස්ථානයේ ව්‍යවස්ථාවට හදුන්වා දී තිබූ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බව යි. පකිස්ථානය පුරා පිළිකාවක් බවට පත් වෙමින් තිබූ ත්‍රස්තවාදය විසින් රට ලේ විලක් බවට පත් කරමින් තිබුණි.

එනමුත් බෙනාසීර් ඝාතනය කිරීම උදාහරණයකට ගෙන දැන් ඉතින් ත්‍රස්තවාදය සමඟ සටන් කළ යුතු නිසා විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගත යුතු යැයි එරට දේශපාලනඥයින් කීවේ නැත. සිය පොරෙන්දුව ඉටු කරන බවට ශපථ කළහ. මහා මැතිවරණයෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට නැගී ආ උද්ඝෝෂණය හමූයේ හමුදා ජනාධිපති පර්වේස් මුෂ්රප් ඉල්ලා අස්විය. අනතුරුව පැවැති ජනාධිපති මැතිවරණයෙන් බෙනාසීර් බූතෝගේ වැන්දඹු සැමියා වූ අසීප් අල් සදාරී විධායක බල සහිත ජනාධිපති ලෙස තේරී පත්විය.

දකුණු ආසියාවේ වැඩිම කාලයක් හමුදා යකඩ සපත්තුවට පැගී ජීවත්වීමට සිදු වු රට පකිස්ථානය යි. ඉන්දියාවෙන් වෙන් කරන ලද පකිස්ථානය ද ඉන්දියාව මෙන්ම 1947 දී නිදහස ලැබුවේ ය. ඉන් අනතුරුව 1958 – 1971, 1977- 1988, සහ 1999- 2007 යන කාල වකවානු තුන පිළිවෙළින් හමුදාපතිවරුන් වූ යහියා කාන්, සියා උල් හක් සහ පර්වේස් මුෂ්රප් විසින් පාලනය කරන ලද්දේ ය. එම කාල පර්ච්ජේදයන් තුළ දී වරින් වර එරට ව්‍යවස්ථාව වෙනස් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ බලතල විධායක ජනාධිපතිවරුන් බවට පත් හමුදා නායකයින්ට ලැබෙන පරිදි ය.

2008 දී ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ජනාධිපතිධූරයට තේරී පත් අල් සදාරී මුහුණ දුන්නේ නිදහසින් පසු පකිස්ථානය මුහුණ දුන් දරුණූතම සිවිල් යුද්ධ තත්ත්වයට ය. ඇප්ගනිස්ථානයේ යුද්ධය පකිස්ථානය කරා ද පැමිණ තිබුණි. ඉස්ලාමාබාද් අගනුවර පකිස්ථාන් තලේබාන්වරුන් විසින් අල්ලා ගන්නවා ඇතැයි අයකු අනාවැකි පළ කළේ එමගින් තලේබාන් සටන්කාමීන් න්‍යෂ්ටික ආයුධ පවා අත්පත් කර ගැනීමට ඉඩ ඇතැයි බිය ජනිත කරමිනි. 2007 සහ 2009 අතරතුර දී පමණක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ අනෙක් ත්‍රස්ත ප්‍රහාර මගින් 5,500කට වඩා සිවිල් වැසියන් එරට දී ඝාතනය කෙරුණි. පකිස්තාන ජනතා පක්ෂයේ සැබෑ දේශපාලන නායකත්වය වූයේ ජනාධිපති අල් සදාරී ය. ඔහු ප්‍රථමයෙන් පකිස්තාන් තලේබාන් නායකත්වය සමඟ සාම ගිවිසුමකට පවා එළඹියේ රට තුල සාමය තහවුරු කර ගැනීමේ අභිලාෂයෙනි. එනමුත් තලේබාන්වරු තස්ත්‍රවාදය අත හැරීම වෙනුවට සාම කාලය ත්‍රස්තක්‍රියා ව්‍යාප්ත කිරීම පිණිස යොදා ගත්තේ හරියට එල්ටීටීඊ ය 2002 සටන් විරාම ගිවිසුම විහිළුවකට ගත් පරිදි ය. පකිස්තාන ආණ්ඩුව සටන් විරාමය අත හැර තලේබාන් විරෝධී යුද්ධයක් පසුගිය වසර මැද භාගයේ දී පටන් ගත්තේ ය.

බෙනාසීර්ගේ මරණයෙන් ලද අනුකම්පාව සහ ජනප්‍රියත්වය සහ රට මුහුණ දී තිබෙන යුද්ධ තත්ත්වය යටතේ අල් සදාරීට විධායක ජනාධිපති බලතල කළකට තබා ගත යුතු යැයි තර්ක කිරීමට ඉඩ තිබුණි. නමුත් මහාචාර්‍ය අයිජාස් අහමඩ් පෙන්වා දුන් පරිදි පකිස්ථානයේ සිවිල් සමාජය එම තර්කය පිළිගැනීමට බැදී සිටියේ නැත. ප්‍රජාතන්ත්‍රීයකරණය, යුද්ධය මෙන්ම දේශපාලන විසඳූම් ක්‍රියාවළියක් සඳහා අත්‍යවශ්‍ය බව සිවිල් සමාජයේ මෙන්ම ජනාධිපති අල් සදාරීගේ ද පිළිගැනීම විය. ඒ අනුව සිය කැමැත්තෙන් සිය තනතුරෙහි බලය පාර්ලිමේන්තුවට පවරා දී නාමික ජනාධිපති තනතුරෙහි රුදී සිටීමට අල් සදාරී ඉදිරිපත් විය.

පසුගිය 08දා පකිස්තානයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 18 වන ව්‍යවස්ථා සංසෝධනය අනුව ඒතාක් විධායක බලතල දැරූ අලි සදාරීගේ කාර්‍ය භාරය අගමැති සයිඩ් යූසුප් රාසා ගිලානි විසින් කරනු ලබන නිර්දේශයන්ට අත්සන තැබීම පමණක් බවට පත් විය. මෙම සංසෝධනයට අනුව අගමැතිවරයා විසින් කරනු ලබන නිර්දේශයන්ට ජනාධිපතිවරයා විසින් අනුමැතිය දීම අනිවාර්‍්යයෙන් කළ යුත්තකි. නිළධාරීන් පත් කිරිම. දෙවන මන්ත්‍රණ සභාව කැඳවීම, පාර්ලිමේන්තුව කැඳවීම සහ විසුරුවා හැරීම යනාදී සියලු කටයුතු දැන් පැවැරෙන්නේ අගමැතිවරයාට ය. පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන පනතකට ජනාධිපතිවරයා විසින් දින 30ක් තුළ අනුමැතිය නොදුන්නහොත් පනත ඉබේම නීති ගත වෙයි. අවශ්‍ය නම් ජනාධිපතිවරයාට කළ හැක්කේ යළි සළකා බලන ලෙස ඉල්ලා එවැනි පනතක් ආපසු පාර්ලිමේන්තුවට යොමු කිරීම ය. සිරකරුවන්ට සමාව දීම වැනි කාරණා සම්බන්ධයෙන් පවා දැන් ජනාධිපතිවරයා අගමැති සහ ඇමැති මංඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු ය. පකිස්තාන පෙඩරල් ආණ්ඩුව සම්බන්ධව ගනු ලබන අමාත්‍ය මංඩල තීරණ ජනාධිපතිවරයාට දැනුම් දීම අගමැතිවරයාගේ යුතුකම් වන්නේ ය.

මෙම ව්‍යවස්ථා සංශෝධනයට පකිස්ථාන පාර්ලිමේන්තුවේ මංත්‍රීවරු 342 දෙදෙනාගෙන් 292ක් ඡන්දය ප්‍රකාශ කළහ. සිය අභිප්‍රාය ක්‍රියාවට නැංවෙනු සංජීවීව රූපවාහිනී තිරය මත මහා ජනයාට දැක ගත හැකි විය. මෙම 18වන ව්‍යවස්ථා සංශෝධනය විසින් හමුදා පාලකයින් විසින් එක් කර තිබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධන ඉවත් කිරීමට අමතරව තවත් වැදගත් වගන්ති ගණනාවක් ද ඇතුල් කරන ලදී.

දැන් තව දුරටත් පකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාව අත් හිටුවීම එනම් අඥාදායක පාලනයක් පිහිටුවීම අනුමත කිරීම නීතියෙන් ම තහනම් ය. අධිකරණ විනිසුරන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් නොව අධිකරණ කොමිෂන් සභාව මගිනි. ජනාධිපතිවරයාට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම මැතිවරණ කොමිසමේ ප්‍රධානියා පත් කිරීමට යනාදී වශයෙන් තිබූ බලතල ද මෙමගින් අහෝසි වෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැරුණ විට වැදගත් වන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය විසින් පකිස්ථානයේ පෙඩරල් ක්‍රමය ශක්තිමත් කිරීමට ගන්නා ලද පියවරයන් ය. උතුරුමැද දේශසීමා පළාත් යනුවෙන් හැදින්වුනු ඇෆ්ගනිස්තානය සහ කාශ්මීරයට යාබද කළබලකාරීකත්යවයන් පිරී ගිය පළාත කයිබර්පක්තූන්ක්වා ලෙස යළි නම් කරන ලදී. පකිස්තානයේ ෆෙඩරල් ප්‍රාන්ත හතරෙන් එකක් වන මෙම පළාතෙහි බහුතරය පක්තුන්ස් :ඡ්නයඑමබි* නමින් හැදින්වෙන පස්තූන් ජාතිකයින්ගෙන් සෑදී තිබේ. දැන් එම ප්‍රාන්තයට බහුතර ජාතිකත්වය මත පදනම් වූ නාමයක් ලැබ තිබේ. එමෙන්ම දීර්ඝ කාලයක් පුරා වැඩි බලතල ඉල්ලා සිටිමින් අරගල කරන බලුචිස්තාන් ප්‍රාන්තයට වැඩි බලතල පවරා දීම 18වන සංසෝධනයට ඇතුලත් විය.

1984 දෙසැම්බර් 19 දා සම්මත කළ කුප්‍රසිද්ධ පනතක් මගින් හමුදා පාලක සියා උල් හක් තමාගේ නම පකිස්ථානයේ ජනාධිපතිවරයා ලෙස නීති ගත කළේ ය. මෑත සම්මත කළ 18වන ව්‍යවස්ථා සංශෝධනය පකිස්තානයේ එම අපකීර්තිමත් පිටුව වසා දමමින් සියා උල් හක් ගේ නම ව්‍යවස්ථාවෙන් ඉවත් කළේ ය.

අපේ ශ්‍රී ලංකාවේ දී ‛බල්ටිකාර’ මංත්‍රීන් මෙන් පකිස්ථානයේ දී එදා සියා උල් හක්ට සහාය දුන් මංත්‍රිවරු රැසක්ම මෙදා සියා උල් හක් ගේ නම ඉවත් කිරීමට උඩ පැන සහාය දුන් හ. දැන් සියාගේ නම පකිස්තානයේ පවතිනු ඇත්තේ ජෙනරල් සියා උල් හක් කියා මිස ජනාධිපති සියා උල් හක් කියා නොවේ.

මේ ව්‍යවස්ථා වෙනස සාකච්ජාමය එකඟතාවයකින් ඇති කිරීම පිණිස පකිස්තාන පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනයන වන පරිදි කමිටුවක් පිහිටු වන ලද අතර රුස්වීම් වට 70කින් පසු 18වන සංශෝධනය ඉදිරිපත් කරන ලදී. ව්‍යවස්ථාවෙහි වන වගන්ති 278 න් 100ක් ම ඒ අනුව සංශෝධනය කරන ලදි. මෙම කමිටුවට මංත්‍රිවරුන් 27 දෙනෙකු ඇතලත් වූ අතර එය පිහිටුවන ලද්දේ 2009 ජූනි මාසයේ දී ජනාධිපති අල් සදාරී විසින් කතානායක වෙන කරන ලද නියෝගයක් පරිදි ය. වසරක් තුල එය සිය නිර්දේශ ඉදිරිපත් කළා ය. ඇත්ත වශයෙන්ම නම් මෙම ප්‍රජාතන්ත්‍රවාදී පියවරෙහි ආරම්භය ඇත්තේ පක්ස්තාන ජනතා පක්ෂයේ නායිකාව වූ බෙනාසීර් බූතෝ සහ පකිස්ථාන අවාමී ලීග් පක්ෂයේ නායකයා වන නවාස් ශරීප් අතර 2006 දී ලංඩනයේ දී ඇති වූ “ප්‍රජාත්නත්‍රවාදය සඳහා ප්‍රඥාප්තිය” යන දේශපාලන එකඟතාවය යි. ඉන්පසු පකිස්ථානයේ ජනමාධ්‍යවේදීන්, නීතිවේදීන්, මානව හිමිකම් ව්‍යාපාර යනාදිය විසින් රාජ්‍ය පාලනයෙහි ලා වගවීම සහ පාරදෘශ්‍ය බව ඉල්ලමින් දියත් කරන ලද දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන් මෙම වෙනසෙහි සැබෑ අත්ප්‍රෙරකය බවට පත් විය.

පකිස්ථාන ජනතා පක්ෂය දැන් එරට මහා ජනයාට දුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කර තිබේ. එනම් එරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ පියවරක් ලෙස විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම යි. එහි විශේෂත්වය වනුයේ බලතල සහිතව සිටි සහ පකිස්ථාන ජනතා පක්ෂයේ නායකයා සහ බෙනාසීර් බූතෝගේ වැන්දඹූ සැමියා ද වන අසීප් අල් සදාරී සිය බලතල පාර්ලිමේන්තුවට සහ දැනට සිටින අගමැතිවරයාට පවරා දී තමා ‛නාමික ජනාධිපති’ තනතුරෙහිම රුදී සිටීම යි.

එවැනි දේශපාලනඥයින් අද ලෝකයේ කොතැනක වුවත් විරලය.