සිංහල, Democracy, Districts, Economic issues, Puttalam

රටම අඳුරේ ගිල්වන නොරොච්චෝලේ තාප විදුලිය

මහින්ද රාජපක්ෂ රජයේ මානව හිතවාදී වෙස් මුහුණ යටින් ඇති සැබෑ යක්ෂ ප්‍රතිරූපය මේ වන විට රටට නිරාවරණය වෙමින් තිබේ. මෙය වඩාත් හොඳින් දැක ගැනීමට නම් මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ සංචාරය කළ යුතුය. 1990 දශකයේ සිට බලයට පැමිණි විවිධ රජයයන් විසින් සෑදීමට උත්සාහ ගනිමින්, පසුව අතහැර දමමින් පැවති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කෙසේ හෝ ඉදි කිරීමට කැස කවන රජය ඒ සඳහා ගත හැකි සියලු පියවර ගනිමින් සිටි.

පැවති රජයයන් සියල්ල අභිබවා යන දැවැන්ත මර්දනයක් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කරවමින්, සියලුම රාජ්‍ය බලයයන් යොදවමින් කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරිමේ උත්සාහයක රජය මේ වන විට යෙදී සිටි. තමන්ගේ ඉඩම්, ජීවිකාවන් හා ගම්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා වසර 10 කට අධික කාලයක් පුරා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රදේශයේ ජනතාව ගෙන ගිය අරගලය යටපත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂම පෞද්ගලිකව මැදිහත් වී තිබේ. මේ වන විට ප්‍රදේශයේ විටින් විට සංචාරය කරන ඔහු ජනතාවට සුරංගනා ලෝකයක් පිළිබඳ සිහින මවමින් ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමේ උත්සාහයක නිරතව සිටි.

නමුත් ඔහුගේ සුරංගනා ලෝකයේ සත්‍යය තත්වය දැනටමත් ජනතාවට අවබෝධ වී හමාරය. විදුලි බලාගාරය ඉදි කිරීමට යෝජිත භූමියෙන් ඉවත් කෙරුණු පවුල් 81 මේ වන විට කිසිදු පහසුකමක් නොමැති කාන්තාරයක ගාල් කොට ඇත. සකල සිරින් පිරි දේශයක් පිළිබඳව බලාපොරොත්තු මවමින් තමන්ගේ උපන් බිම් වලින් ඉවත් කෙරුණු ඔවුනට මේ වන විට තමන්ගේ මූලික අවශ්‍යතාවයන් පවා ඉටු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. පොරොන්දු වූ ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් ඔවුනට ඇස් පනා පිට අහිමි වී තිබේ.

ප්‍රදේශය පුරා දැවැන්ත පොලිස් හා හමුදාමය මර්දනයක් දියත් කොට ඇත. බොරුවෙන් ජනතාවගේ කැමැත්ත දිනා ගත නොහැකි තැන ඔවුන් බිය වද්දා බලහත්කාරයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයකට මේ වන විට රජය යොමු වී සිටී. තමන්ගේ උපන් බිම් තුළ නිදහසේ සැරිසැරීමේ අයිතිය පවා ජනතාවට අහිමි කොට ඇත. ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදනයන් පොලිසීය ඇතුළු රජයේ නිළධාරිහු එළිපිට මංකොල්ල කති. ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ විරෝධය පෑමේ අයිතිය ද අද ඔවුනට නැත.

අති බහුතරයක් වූ දෙමළ හා මුස්ලිම් ප්‍රදේශවාසීන් සම්බන්ධයෙන් එල්ල වී ඇති පීඩනය අති මහත්ය. අරගලය තුළ මූලිකත්වය ගන්නා දෙමළ හා මුස්ලිම් නායකයන් බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගනිමින් හිංසාවන්ට භාජනය කෙරේ. ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් බහුතරය සුළු ජාතීන්ට හා ආගම්වලට අයත්, ප්‍රධාන වශයෙන් ධීවර හා කෘෂිකාර්මික කටයුතුවල ජීවත්වන ජනතාව වන බැවින් රාජ්‍ය බලය යොදවමින් ඔවුන්ව යටපත් කිරීමට හැකි වෙතැයි රජය අපේක්ෂා කරයි.

ජනතාව පසු බැසීමට සූදානම් නැත

මේ මර්දනයන් හමුවේ තමන්ගේ සටන අත්හැරීමට ප්‍රදේශය ජනතාව සූදානම් නැත. වසර 10 ක් පුරා ගෙන ගිය මේ සටන තුළ ඔවුනට තමන්ගේ සගයන්ගේ ජීවිත අහිමි වුව ද, තමන්ට ඇති එකම වස්තුව වූ මහපොළොව හා මුහුද අතහැර දැමීමට ඔවුන් සුදානම් නැත. තමන්ගේ උපන් බිම් තුළ තමන් අනාථයින් බවට පත් කිරීමට විරුද්ධව, පරම්පරා ගණනාවක් පුරා තමන්ව පෝෂණය කළ තමන්ගේ ජීවිකාවන් විනාශ කිරීමට විරුද්ධව ඔවුහු තවම ශක්තිමත්ව සටන් කරති. ඉතිහාසයේ නොවූ විරූ පරිදි ආගමික නායකයින්ගේ නායකත්වය තුළ ඒකරාශී වෙමින් සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව මහා ශක්තියක්ව නැගී සිටිති. පසුගිය මාස කීපය තුළ ඔවුන් නොරොච්චෝලේ දී හා පුත්තලමේ දී පවත්වන ලද දැවැන්ත උද්ඝෝෂණ මේ සඳහා හොඳ උදාහරණයකි.

අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ මේ සටනට අවශ්‍ය සහාය රටේ අනිකුත් ප්‍රදේශ තුළ ගොඩ නැගීමයි. මක් නිසාද ඔවුන්ගේ සටන නිසා ආරක්ෂා වන්නේ ඔවුන්ගේ ඉඩම් හා ජීවිකාවන් පමණක් නොව සමස්ත රටේම අනාගතය වන බැවිනි.

සියලු පුරවැසියන් ගල් අඟුරු බලාගාරයට එරෙහි විය යුත්තේ ඇයි ?

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට විරුද්ධ සටන තව දුරටත් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් හා ජීවිකාවන් රැක ගැනීමේ සටනක් පමණක්ම නොවේ. එමගින් සිදුවන පරිසර විනාශය බලපානු ඇත්තේ සමස්ත මිහිතලයටමය. මේ වන විට ලෝකයේ අනාගතයට ප්‍රධානතම තර්ජනය බවට පත් ව ඇති මිහිතලය උණුසුම් වීම සඳහා ප්‍රධානතම දායකත්වයක් සපයනු ලබන්නේ ගල් අඟුරුය. එබැවින්ම ලෝකයේ බොහෝ රටවල් මේ වන විට ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වෙමින් සිටිති. එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් වායුගෝලය උණුසුම් වීම ගැන දේශන පවත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකාවේ දී මිහිතලයේ අනාගතය අමතක වී ඇත.

ගල් අඟුරු බලාගාර නිසා ඇති වන ඇසිඩ් වැසි, ජල දූෂණය, සාගර දූෂණය හා වායු ගෝලීය දූෂණය අහිමි කරනු ඇත්තේ අපේ දරුවන්ට අනාගතයේ ජීවත්වීමට ඇති රටයි. මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ඉතිරි ව ඇති එකම නිදහස් අයිතිය වන හුස්ම ගැනීමේ අයිතියත් ඔවුනට අහිමි වනු ඇත.

වසරකට ආහාර ආනයනය සඳහා රුපියල් කෝටි 10000 කට ආසන්න ප්‍රමාණයක් වියදම් කරන ශ්‍රී ලංකාව ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ රජය මේ වන විට බොහෝ දේ කියනු ඇසේ. නමුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි කිරිම තුළින් ඔවුන් විනාශ කිරීමට උත්සාහ කරනුයේ ශ්‍රී ලංකාවේ එළවලු හා මත්ස්‍ය නිෂ්පාදනයෙන් අති විශාල කොටසකට වග කියන සරුසාර භූමියකි. ශ්‍රී ලංකාවේ වෙනත් එළවළු වගා කරන ප්‍රදේශවල ඒ සඳහා වසරේ නිශ්චිත කාල සීමාවන් තිබේ. නමුත් නොරොච්චෝලේ එසේ නොමැත. සෑම අස්වැන්නකටම පසුව නැවත වගා කිරීමේ හැකියාව එම භූමිය සතුය. සෑම දිනකදීම නොරොච්චෝලේ සිට එළවළු ලොරි 60 – 70 අතර ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කරා පැමිණේ. 1995 වන විට ශ්‍රී ලංකාවේ වැඩිම මත්ස්‍ය නිෂ්පාදනයක් සහිත දිස්ත්‍රික්කය පුත්තලම වූ අතර (වසරකට මෙ. ටොන් 27,000) එයින් වැඩිම දායකත්වය කල්පිටිය අර්ධද්වීපයෙන් ලැබුනි.

ව්‍යාපාරිකයින්ට විදුලිය දීම සඳහා ණයකරුවන් බවට පත් වන අපේ අනාගත පරපුර

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය 1 වන අදියර වෙනුවෙන් පමණක් රජය මේ වන විට රුපියල් කෝටි 4550 ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇත. පසුගිය දිනක එච්. එස්. බී. සී බැංකුවෙන් සියයට 8.5 ගිනි පොලියට ආණ්ඩුව ලබා ගත් රුපියල් බිලියන 56 න් වැඩි කොටසක් යෙදවීමට අපේක්ෂා කෙරෙනුයේ ද නොරොච්චෝලේ ව්‍යාපෘතිය වෙනුවෙනි. මේ ණය මුදලත් සමගම සෑම ශ්‍රී ලාංකිකයෙකුම රු. 140,000 කට ආසන්න ප්‍රමාණයක ණයකරුවෙකු බවට පත්වේ.

මේ ණය ගෙවීම සඳහා යෙදවීමට සිදු වනුයේ අපගේ දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය සඳහා යෙදවීමට ඇති මුදල් ය. 2006 වසරේ දී පමණක් රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 96% ක් ම යෙදවූයේ ණය ගෙවීම සඳහා ය. මේ ව්‍යාපෘති සමග එම මුදල තවත් වැඩි වනු ඇත.

දශක තුනක් අසාර්ථක වූ සැලසුම් තවත් ඉදිරියට

මේ සියලු ව්‍යාපෘති රටේ ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා නොවේ. නොරොච්චෝලේ ව්‍යාපෘතිය මගින් පැහැදිලිවම අපේක්ෂා කරනුයේ විදේශ ආයෝජකයන්ට අවශ්‍ය විදුලිය අඩු මිලට ලබා දීමට උවමනා යටිතල පහසුකම් ඉදි කිරිමයි. මෙය ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සංවර්ධන ආකෘතියයි. විදේශ ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමත්, ඒ මගින් රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමත් එම සැලසුම්වල අභිප්‍රායයි. නමුත් 1977 පටන් දශක තුනක් පුරා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ලද මේ සැලසුම්වලින් ඉතිරි වූයේ විනාශකාරී ප්‍රතිඵල පමණි. මහවැලි ව්‍යාපාරය තුළත්, කටුනායක ඇතුළු නිදහස් වෙළඳ කලාපත් මේ වන විට පෙන්නුම් කරන්නේ විදේශ ආයෝජකයන් ඇද ගැනීමේ උත්සාහයන් හි ඛේදවාචකයයි.

තමන්ගේ සැලසුම් අසාර්ථක බවත්, ලංකාවේ දිළිඳුකම හා අසමානතාවය භයානක ලෙස වැඩිවෙමින් පවතින බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලාංකික නියෝජිතවරිය පවා පසුගිය දිනක පිළි ගත්තාය. පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ සැලසුම් අඩංගු එක්සත් ජාතික පක්ෂයේ ‛යළි පුබුදමු ශ්‍රී ලංකා’ සැලැස්මයි. නමුත් කණගාටුවට කරුණ එම සැලසුම් හෙළා දකිමින් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේත් එම විනාශකාරි සැලැස්ම ම වීමයි. මහින්ද චින්තන දස අවුරුදු සැලැස්ම තුළ සඳහන් වන පරිදි ඉදිරි වසර දහය තුළ විදේශ ආයෝජකයින්ට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීම සඳහා ලබා ගැනිමට යෝජිත ණය ප්‍රමාණය රු. කෝටි 38,988 කි.

එබැවින් මේ විනාශකාරි ගල් අඟුරු බලාගාරය ඉදි කිරිමට එරෙහිව පෙළ ගැසීම මේ මොහොතේ සියලු ආදරණීය මිනිසුන්ගේ වගකීමකි. තවදුරටත් මේ සටන තුළ නොරොච්චෝලේ ජනතාව තනි නොකොට ඔවුන් හා අත්වැල් බැද ගැනීම අප සැමගේ යුතුකමක් බව අපි සිතන්නෙමු. ඒ සඳහා මුල පිරීමක් වශයෙන් පැවැත්වෙන සංවාදය සඳහා මේ මොහොතේ වඩාත් යහපත් වූ ලෝකයක් වෙනුවෙන් පෙනී සිටින ඔබ සැමට අපි ආරාධනා කරන්නෙමු.

සඳුන් තුඩුගල
ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය