ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වරයෙකු වන මාහාචාර්ය ජුවාන් මැන්දෙස් විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමින් කියා ඇත්තේ, මෙරට ආණ්ඩුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත(Prevention of Terrorism Act(PTA) අහෝසී කිරීම සඳහා පොරොන්දු වූ බව සිදුවන ප්‍රචාරණය සම්පූර්ණ අසත්‍යයක් බවය.

ඔහු මේ බව කියා සිටියේ වොෂින්ටන් නුවර සිට නිලන්ත ඉලංගමුව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි. අදාළ සම්මුඛ සාකච්ඡාව, ජස්ට් ඒසියා වැඩසටහන ඔස්සේ විකාශය කොට තිබේ. අදාළ වැඩසටහන හොංකොන් හී මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක වන ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිෂ්පාදනය කරනු ලබන සතිපතා වීඩියෝ පුවත් විකාශයකි.

මාහාචාර්ය ජුවාන් මැන්දෙස් එක්සත් ජාතින්ගේ වදහිංසාව සහ අනෙකුත් කුරිරු අපරාධ ගැන විශේෂ නියෝජිතයා වන අතර ඔහු වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකුද වේ. ආජන්ටිනාවේ උපත ලැබූ හෙතම වෘත්තියෙන් නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ අතර එකල එකාධිපතිපාලනයට එරෙහිව කටයුතු අවදිකළ ප්‍රකට චරිතයෙකි. ඒ හේතුවෙන් ඔහුට වැඩ හිංසාවට පවා ලක් වීමට සිදු විය.

අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහාචාර්ය මැන්දේස්,

“ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ගැන සැලකිල්ලක් දක්වන බව සඳහන් කළා. එය සාමාන්‍යය අරුත් ගැන්වීමක් පමණයි. ඒ හැරෙන්නට අදාළ නීතිය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම හෝ අදාළ පනත සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයෙන්ද යන්න ගැන කිසිඳු පොරොන්දුවක් ලබා දුන්නේ නෑ,”

යැයි සඳහන් කළේය.

මහාචාර්ය මැන්දෙස්ට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍යය ආයතන වල ප්‍රභල ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුව ඇත. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම අධිකරණය ආදී ප්‍රධාන ආයතන වල ආකල්පමය වෙනසක් කඩිනමින් ඇති විය යුතුය. එවිට අදාළ ආයතනවලින් ජනතාවට සහන ලැබෙන ප්‍රමාණය වැඩි වනු ඇත.

මේ අතර, මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වසර ගණනාවක් තිස්සේ කියුබාවේ ගුවන්තනාමෝ බොක්කේ පවත්වාගෙන යන සිර කඳවුර සම්බන්ධයෙන් මතු වී ඇති අලුත්ම තත්වය ගැනද එහිදී කතා කරමින්, හෙතම කියා ඇත්තේ අදාළ කඳවුර වසා දැමීමට බලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවයි.

එසේම අදාළ කඳවුරේ රහසිගත ප්‍රදේශයේ තමන්ට නිරීක්ෂණ චාරිකාවට ඉඩ ලබා දෙන්නයි එහි රඳවා ඇති සිරකරුවෙකුගේ නීතිවේදීන් කළ ඉල්ලීම මහත් පැසසුමට ලක්කළ හෙතම ඒ සඳහා සුභවාදී ප්‍රතිචාරයක් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවෙන් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව හෙතම සඳහන් කළේය.

කෙසේ වෙතත්, මීට කලකට පෙර තමන් අදාළ කඳවුරේ සංචාරය කිරීම සඳහා අමෙරිකානු ආණ්ඩුවෙන් සහ පෙන්ටගනයෙන් කළ ඉල්ලීම පිළිබඳව කතා කරමින් කියා සිටියේ, පෙන්ටගනය එහිදී ඉදිරිපත් කළ පිළිගත නොහැකි කොන්දේසි නිසා අදාළ සංචාරය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.

මේ දක්වා ඔවුන්ගේ කොන්දේසී කිසිම අයුරකින් වෙනස් වී නෑ” හෙතම එහිදී සඳහන් කළේය.

මේ අතර, සෙනට් මණ්ඩලය විසින් සී.අයි.ඒ. වදහිංසා පිළිබඳව ඉදිරිපත්කොට ඇති වාර්තාව වහාම ප්‍රසිද්ධ කරන ලෙස හෙතම එක්සත් ජනපද ආණ්ඩුවට බලකර සිටියේ, සී.අයි.ඒ. සතුව තිබු එකම පිටපත “අත්වැරදීමකින්” විනාශ වී ඇති බව ප්‍රචාරය වීමත් සමඟය.

“අත්වැරදී” වලින් ඉතා වැදගත් වාර්තාවක් ලෝකයට නැති වීමට පෙර එය මහජනතාවගේ දැනගැනීම උදෙසා සම්පූර්ණයෙන්ම පලකිරීම ඉතා වැදගත් බව, මහාචාර්ය මැන්දෙස් අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.

එම සාකච්ඡාව පහතින්..