පළාත් සභා නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත. එසේම, නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරන විට එම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නිසි සැලකිල්ල යොමු කළ යුතුව ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ. මහ ඇමතිවරුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් සමහරෙකු පසු ගිය සිකුරාදා (8*, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අගමැතිවරයාට උපදෙස් දීම සඳහා පිහිටුවා ඇති උපදේශක කමිටුව හමු වූහ.

1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු, ඒ වූ කලී ප‍්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර වාර්ගික අර්බුදය සමථයකට පත් කර ගැනීම සඳහා යොදා ගත් පියවරක්ය යන වැරදි අවබෝධය බහුතරයක් දෙනා අතර ඇති විය. උතුරු නැගෙනහිර පළාත්වලට සේම රටේ වෙනත් පළාත්වලටත්, ඉතා වැදගත් පරිපාලනමය බලය බෙදා හැරීමක් ඒ හරහා සිදුවන්නේය යන්න දුරදක්නා නුවණින් අවබෝධ කර නොගැනීම නිසා ඇතැම් පිරිස් එම සංශෝධනයට විරෝධය පෑහ. රට පුරා සිටින මහ ඇමතිවරුන් එම කාරණය අවබෝධ කර ගැනීමට වසර 29 ක්ම ගත කොට තිබීම අපූරු ය. ඔවුන් කියන පරිදි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ඒ පිළිබඳ නිසි සැළකිල්ල යොමු කිරීම පමණක් නොව, එය පූර්ණ වශයෙන් කි‍්‍රයාත්මක කළ යුතුව ඇති බවද ඔවුහූ පෙන්වා දෙති.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විය යුතු බව බොහෝ කාලයක් තිස්සේ කියා සිටි උතුරු පළාතේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් අසනීප තත්වයක් නිසා වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටි හේතුවෙන් සිකුරාදා හමුවට සහභාගී නොවුණි. එහිදී ඔහුව නියෝජනය කරන ලද්දේ උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාජා විසිනි.

තවත් පළාත් සභා කිහිපයක මහ ඇමතිවරුන්ද එම සාකච්ඡාවට සහභාගී නොවුණි. එසේ වෙතත්, පළාත් නවයේම මහ ඇමතිවරු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන තමන්ගේ සහාය එක හඬින් ප‍්‍රකාශ කොට සිටියහ. පළාත් සභා ක‍්‍රමය සාර්ථක කර ගැනීම සඳහා නම්, එම ව්‍යවස්ථා සංශෝධනය මුළුමණින් ක‍්‍රියාත්මක කළ යුතුව ඇති බව එය හඳුන්වා දුන් කාලයේ සිටම දෙමළ ජාතික සන්ධානය පෙන්වා දුන් කාරණයකි.

මේ සංශෝධනය තුළ වැදගත් අංග දෙකක් වන්නේ ඉඩම් සහ පොලිස් බලතල පළාත්වලට පැවරීමයි. උතුරු සහ නැගෙනහිර පළාත් සභා, පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවට පැවරිය යුතුය යන මතයේ තදින් සිටින අතරේ ඒ අංශවල වැඩිමනත් බලයක් පළාත් සභාවට පැවරිය යුතු නැති බවට අදහසක් මධ්‍යම ආණ්ඩුව තුළ තිබෙන බවක් පෙනෙන්ට තිබේ. විශේෂයෙන් ඒ පළාත් දෙකට එම බලතල දීම නිසා ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ඒකාග‍්‍රතාවට යම් අවදානමක් එල්ල විය හැකි බවට සැකයක් මධ්‍යම ආණ්ඩුවේ ඇති බවක් පෙනෙන්ට තිබේ.

කෙසේ වෙතත්, උතුරු සහ නැගෙනහිර පළාත් සභාවල පමණක් නොව, රටේ වෙනත් සෑම පළාත් සභාවක මහ ඇමතිවරුද, දැනටමත් ව්‍යවස්ථාවේ ඇතුළත්ව ඇති පරිදි, තම තමන්ගේ පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා ගැනීමේ වැදගත්කම දකිති. පළාත් මට්ටමේ පොලිස් සේවාවක් මධ්‍යම කේන්ද්‍රය මගින් නිවැරදිව හැසිරවිය හැකි නොවේ. මෑත කාලයේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ තත්වය බරපතල ලෙස පිරිහී තිබේ.

විනිසුරුවරයෙකු සහ අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුද වූ උතුරු පළාත් සභා මහ ඇමති සී. වී. විග්නේෂ්වරන්, හිටපු උසස් අධිකරණ නිලධාරියෙකු වශයෙන් සහ වර්තමාන මහ ඇමතිවරයෙකුද වශයෙන් තමන් සතු අත්දැකීම් මත පදනම්ව, පළාත්වලට පොලිස් බලතල ලබා දීමේ වැදගත්කම කාලයක් තිස්සේ අවධාරණය කළ කෙනෙකි.

ව්‍යවස්ථාව පිළිබඳ අගමැති උපදේශක කමිටුවට පසුගිය සිකුරාදා කරුණු දැක්වූ මහ ඇමතිවරු, පොලිස් හා ඉඩම් බලතල නොමැතිව පළාත් සභා ක‍්‍රමය නිරර්ථක වන බවත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත්, ඉඩම් සම්බන්ධව කටයුතු කිරීමටත් ඒ ඒ පළාත් සභාවට බලය තිබිය යුතු බවත් පෙන්වා දුනි. එසේම, පොලිස් සහ ඉඩම් බලතල පවරා දීමෙන්, රටේ ඒකාග‍්‍රතාව තවදුරටත් ශක්තිමත් වන බවත් ඔවුන් කියා තිබේ.

මේ නිසා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව පළාත් මට්ටමින් බලය බෙදා හැරීම යනු රටේ ඒකාග‍්‍රතාව ආරක්ෂා කර ගැනීම සඳහා වැටී ඇති මාවතක් බවත්, එය රටේ ස්වෛරීත්වයට තර්ජනයක් නොවන බවත්, උතුරු සහ නැගෙනහිර පළාත් සභා පමණක් නොව, මේ වන විට රටේ වෙනත් සෑම පළාත් සභාවක්මත් අවබෝධ කරගෙන ඇති බව පෙනේ.

යහපත් අළුත් ව්‍යවස්ථාවක සෑම අංගයක් කෙරෙහිම ආණ්ඩුව උත්සුක වන මේ මොහොතේ, පළාත් නවයේම මහ ඇමතිවරුන්ගේ මෙකී ඒකමතික ඉල්ලීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බලය බෙදා හැරීම සඳහා ආණ්ඩුවේ ඇස් පාදන අවස්ථාවකි.

*2016 ජුලි 11 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ 13th Amendment not meant only for N&E නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි