Image: screenshot/adaderanavideo

පරාජය වී තම “මාළිගය” හැරදා ගිය මොහොතේ සිට රත් වූ ජලයේ නටන කකුළුවාගේ තත්වයට පත් වී ඇති හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා තවත් එක් පියවක් අද තැබුවේය. ඒ එදාට වඩා වෙනස් තාලයකිනි. තම සගයින්ට පයින් ඇවිදීමට අණදී තමන් ජීප් රථයකට නැගගෙන නුවර සිට කොළඹ බලා පිටත් වූයේය. අරමුණ, වත්මන් ආණ්ඩුව පෙරලා දැමීම යැයි කියන්නේය. එය කළ නොහැකි බව කාටත් වඩා හොඳින් ඔහු දන්නේය. නමුත් ඔහු ආණ්ඩුව හෙට පෙරළන තාලෙන් කතා කරන්නේය. හේතුව, වත්මන් ආණ්ඩුව තමන් තරම් සාර්ථක පාලනයක් නොගෙන යෑම සහ තමන් සහ තම වටා සිටින ගුණගරුක සත්පුරුෂයින්ගෙන් පළිගනිමින් සිටීමයි. හීනෙන්වත් හොරකමක් නොකළ එම දේශප්‍රේමින් සියලුදෙනා වත්මන් යහපාලන ආණ්ඩුවේ ගොදුරු බවට පත් වී තිබීම ඊට මූලික හේතු වේ. අනේ අවසනාවක මහත. එම, අවාසනාවෙන් තමන් මෙන්ම ඔවුහු මුදවා ගැනීම සඳහා පසවනක් ප්‍රීතියෙන් මෙන්ම කළ හැකි හදි හූනියම් සියල්ල කිරීමෙන් පසු, අපේ කැකිල්ලේ රජ්ජුරුවෝ නොහොත් ජොයින් (ඒකාබද්ද නොහොත් බහුමුහුන්) විපක්ෂයේ මෝසෙස්, තවත් ගමනක් ඇරඹුවේය.

කළ යුත්තේ කිසිඳු බාධාවක් නොකොට, ඔහුට සහ පිරිසට අදාළ ගමන යාමට ඉඩදීමය. මෙය කිලෝමීටර් 115 ක දුර පිළිබඳ කාරණයකි. සාමන්‍යය මිනිසෙක් යන වේගය සලකා බැලුව හොත්, හෙතම දිවා-රෑ ගමන් කළහොත් පැය තිසහතක් පිළිබඳ කාරණයකි. අනවශ්‍ය බාධා සිදුකොට ඔවුහුට අවශ්‍යදේ ආණ්ඩුව විසින් සිදු නොකළ යුතුය. බාධා නොකරන ලෙස වඩාත් දැඩිව නියෝග ලබා දිය යුතෙත්ය. හැකිනම්, ආණ්ඩුවේ අයවලුන් කළ යුත්තේ නුවර-කොළඹ මාර්ගයෙන් පිට වී ගොස් වෙනත් පළාත්වල ඇති මූලික ගැටලු සඳහා තම අවදානය යොමු කිරීමය.

කෙසේ වෙතත්, අදාළ රැළිය මධ්‍යයේ දැකගත හැකි වූ වඩාත් අනුවේදනීය සිදුවීමක් වූ කලී කුඩා පාසල් ළමුන් “මහින්ද මාමාට ජය පැතීම” සහ එම බස් රථයේම අනෙක් කෙළවරේ සිටි එම වයසේම ළමුන් “අපේ ජනාධිපති තුමාට” ජය පැතීමය. මෙය මීටත් වඩා ඛේදජනක ලෙස රාජපක්ෂ මහතා තම පාලන කාලයේදී සිදු කරනු ලැබුවේය. ඔහු, ඇතැම් අවස්ථාවලදී “සාටකය අන්දනු” ලැබූ කුඩා ළමුන් දැක මහත් ප්‍රමෝදයක් ලැබුවේය. මෙම අප්‍රසන්න ක්‍රමවේදය දැක ගත හැකි වූයේ, දේශපාලන ක්‍රමය දියුණු නොවූ සහ මැතිවරණ පැවැත්වීම මඟින් රටේ “නිදහස” ගැන පිටත ලෝකයට පෙන්වා බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල් වලය. එසේම, එවැනි දෑ, ආඥාදායක පාලනාධිකාරියක ප්‍රචාරණ ව්‍යාපෘති වල දැකගත හැකි වූ උපායන් වේ. හිට්ලර් , මුසෝලිනි, ස්ටාලින්, ඉඩිඅමීන්, පොල් පොට්, මාකෝස්, සුහර්තෝ වැනි පාලනාධිකාරී වල මෙය ඉතා බහුල උපායක් විය. එසේම, ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමවේදය ව්‍යාකූල වී ගිය සමාජ සංස්ථාවල මේ ආකාරයෙන් කුඩා ළමුන් යොදා ගැනීම සහ එම දරුවන් වඩාත් කෛරාටක ප්‍රචාරණ කටයුතු වල මෙවලමක් ලෙස යොදා ගැනීම සුලභ කාරණයකි.

රෑ තිස්සේ තම සගයින්, සතුරන් ලෙස නම් කළ අයවලුන්, ද්‍රෝහීන් ලෙස හඳුනාගත් අයවලුන් මරා දැමීම සඳහා අවශ්‍යය නියෝග දහස් ගණනකට අත්සන් තබන ස්ටාලින් දහවල් කාලෙදී රටේ පවත්වන දේශපාලන සංදර්ශන වලදී කුඩා ළමුන් වඩාගෙන සෙල්ලම් කරන ආකාරය සැබෑ ඛේදවාචකයේ ඇති නීරස ලෝකයට කියා දුන්නේය. එය, බොහෝ තැන් වල සිදු වූ කාරණයක් විය. රාජපක්ෂ මහතාගේ පාලනාධිකාරිය මෙරට සමාජය තුළ නිර්මාණය කරමින් සිටියේද එම සංස්කෘතිය නොවේ යැයි කිසිවෙකුට කිව හැකිද?

ස්ටාලින් යුද්ධ දිනුවේය, ඔහු නොසිටියේනම් “මිත්‍ර යැයි” නම් කළ පාර්ශවයට හිට්ලර් පරාජය කිරීමට හැකි වන්නේ නැත. ජපාන අධිරාජ්‍යයාගේ හමුදාව පරාජය කිරීමට හැකි වන්නේ නැත. එසේම යුධ ජයග්‍රහණයෙන් පසු ස්ටාලින්, විශාල සංවර්ධන ව්‍යපෘති (භූගත දුම්රිය සේවා ඇතුළු) සිදු කරමින්, රටේ විශාල පිරිසක් මරා දැමුවේය. ඔහු, තමන්ට එරෙහි කිසිඳු දේශපාලන මතවාදයකට තබා තම දේශපාලනය පිළිගන්නා නමුත් පක්ෂය තුළ සිටි තුළනාත්මක මතයක් දැරූ කිසිවෙකුට ජීවත් වීමට ඉඩලබා දුන්නේ නැත. ඇතැම් වාර්තා සඳහන් කරන පරිදි, එක් රාත්‍රියකදී ඔහු විසින් මරා දැමීමට අනුමැතිය ලබා අත්සන් කළ නියෝග ගණන තුන්දහසකට අධිකය. මෙවැනි ස්වභාවයකට මෙම රටේ දේශපාලනය ඇදෙමින් තිබුණු වකවානුවක් තිබුණි.

ඕනෑම පරිපාලනයක් මූලික නීති රාමුවෙන් පිටපනින විට එම පරිපාලනය, පාලනයෙන් තොර ක්‍රමවේදයක් බවට පත්වේ. එවැනි ක්‍රමවේද තුළ, විශාල සැණකෙළි පැවැත්වීම මූලික කොටසක් බවට පත්වන්නේය. මාධ්‍ය උග්‍ර මර්ධනයකට නතු වී, එය එම දේශපාලන ක්‍රමවේදය උත්කෘෂ්ඨ එකක් යැයි වර්ණනා කරන තත්වයකට පත් වේ. මාධ්‍යට තුළනාත්මකව සිතීමට හැකි වටපිටාවක් නොමැති තැන එම මාධ්‍ය ආයතන තම පැවැත්ම සඳහා වූ අරගලය තම මතවාදය සහ පිළිගැනීම බවට පත්කරගැනීම සුලභ කාරණයකි. එය නිදහස යැයි සිතති. මෙය මෙරටට පමණක් පොදු කාරණයක් නොවේ.

එසේම, රටේ බොහෝමයක් ආයතන වලට පත්වන ඉරණම වන්නේද එයයි. මේ සඳහා මෙරට ලබා දුන් ප්‍රමුඛ උදාහරණයක් වූ කලී අධිකරණයයි. නීතිය ගැන කිසිඳු පිළිගත් කුසලතාවයක් නොමැති පිරිසක් තමන්ගේ කීකරු සුවචයින් වූ පමණින් භාරාදූර වගකීමක් සඳහා පත් කොට ඉතාමත් කෙටි කාලයකින්, රටේ අග විනිසුරුවරිය ගැන තීන්දුවක් ලබා දී ඇය ධූරයෙන් පන්නා දමන්නේය. ඉන් පසු තමන්ගේ අභිලාෂයන් තමන් සිතනාවාටත් වඩා හොඳින් සිදුකර ගත හැකි අයෙකු එම ධූරයේ බාහාලනු ලැබුවේය. රටක මූලික පරිපාලන ක්‍රමවේදයකට කළ හැකි මීටත් වඩා බරපතළ අතවරයක් තිබේද?

මෙහිදී මෙම පාර්ශවය සහ ඊට අනුග්‍රහය දක්වන අයවලුන් ඉදිරිපත් කරන කැකිල්ලේ තර්කය කුමක්ද? අපි ක්‍රියාත්මක කළේ රටේ “සම්මත” නීතිය යන්නයි. මෙම තියුණු කෛරාටක කාරණයට මුවා වී බොහෝ දෙනෙකු රටේ සිදුකළ යුතු වෙනස්කම් මඟ හැර තිබේ. බොහොමයක් ආයතන ගෙන බැලුවද, මේ වන විටත් දැක ගත හැක්කේ එම කණගාටුදායක තත්වයයි.

ක්‍රමෝපායිකව තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා රටක මූලික නීතිරාමුව තමන්ගේ බූදලයක් බවට පත්කොට එය ඒ ආකාරයෙන්ම ඉටුකිරීම සඳහා තමන්ට අවශ්‍ය අයවලුන් එම ස්ථානවල ස්ථානගත කිරීම පරිපාලනයකට වඩා මර්ධනයේ මූලධර්මයකි.

තමන්ගේ පරිපාලනය තුළ සිදුකළ මෙවැනි මූලික කාරණා කිසිවක් ගැන කිසිඳු වැදගත් පැහැදිළි කිරීමක් සිදුකිරීමට මහින්ද රාජපක්ෂ මහතා තවමත් සමත් වී නැතුවා පමණක් නොව එය හිතාමතාම අමතක කොට ඇත. ඔහුගේ, කල්ලිවාදී දේශපාලන ඝෝෂාව හැරෙන්නට කිසිඳු වැදගත් දෙයක් වත්මන් ආණ්ඩුවට එරෙහිව ඔහු සිදුකරන වැඩපිලිවලේ නැත. කල්ලියක් නිර්මාණය කරගෙන ගුණ්ඩු ඇටවීමේ වැඩපිළිවෙලක් මගින් තමන්ගේ පාක්ෂිකයින් අමන්දානන්දයට පත්කළ හැකිය. නමුත්, දශකයට අධික කාලයක් තිස්සේ මෙරට පාලනය කළ නායකයෙකු ( රාජ්‍යතාන්ත්‍රිකයෙකු) ලෙස ඔහු ලබා දීමට යන ආදර්ශය එය පමණද?

මෙවැනි කටයුත්තක් මඟින් අපේක්ෂා කරන මූලික දේශපාලන අරමුණු දෙකක් තිබිය හැකිය.

පළමුවැන්න, වත්මන් ආණ්ඩුවේ පරිපාලන ක්‍රමවේදය හමුවේ බොහොමයක් ආයතන වෙලී සිටින තුෂ්නීම්භූත තත්වය තවදුරටත් ඉදිරියට රැගෙන යෑම සහ ආණ්ඩුව තුළ අභ්‍යන්තර බල අරගලයක් ඇතිකිරීම. එමඟින් මේ වන විට ඔහුට, ඔහුගේ පවුලේ අයට සහා අනෙකුත් පිරිස්වලට එල්ල වී ඇති චෝදනා වලට අදාළ අධිකරණ ක්‍රියාමාර්ගය හිතලුවක් බවට පත්කළ හැකිය. අවාසනාවට රටේ අධිකරණ ක්‍රමය ස්වාධීන සහ ශක්තිමත් එකක්බව පෙන්වීමට තවමත් වත්මන් ආණ්ඩුව සමත්වී නැත. මෙය, ආණ්ඩුවට අතිශය ගැඹුරු බලපෑමක් සිදුකර ඇත. පුද්ගලයින් වෙනස් කිරීම පමණක් නොව, එසේ වෙනස් කිරීමෙන් පැවති ක්‍රමවේදය වෙනස් වී තිබේද? ඉන් රටට යහපතක් සිදුවී තිබේද යන්න සොයා බැලීමට වැඩපිළිවෙලක් තිබිය යුතු වේ.

දෙවැන්න, රාජපක්ෂ මහතා ඔහුට හිතවත් සමීම පුද්ගලයෙකු රටේ නායකත්වයට පත් කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වන තෙක් මේ ආකාරයෙන් කටයුතු කරනවා විය හැකිය. ( ඇදගෙන යනවා විය හැකිය.) ඉතාම බරපතළ කාරණය මෙයයි. විපක්ෂයේ පිරිස් එකතු කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවෙමින් පක්ෂය තුළ අර්බුද නිර්මාණය කිරීම, මෙන්ම ඔහු වටා සිටින අයවලුන්ට හිමි තැන ඒ ආකාරයෙන්ම ලබා දෙමින් වෙනත් රාජපක්ෂ කෙනෙකුට තැනිය හැකි දේශපාලන පෙරමුණකට අවශ්‍යය පසුබිම නිර්මාණය කිරීම ආදි, කාරණා මෙම දෙවැනි අරමුණෙහි ගැබ් වී තිබෙනවා විය හැකිය. චන්ද්‍රිකා යටතේ ජනාධිපති වූ මෛත්‍රී , නමැති සංසිද්ධිය ග්‍රහණය කරගනිමින්, මහින්ද යටතේ ජනාධිපති වූ ගෝඨා , නමැති අනගාත සිහිනය දකිනවා විය හැකිය. රාජපක්ෂ මහතා තම පවුල තුළ වඩාත්ම ගරුකරන පුද්ගලයා වූ කලී, ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු තමන් යටතේ ආරක්ෂක ලේකම් කිරීම සහ ඔහුට විශාල බලයක් සමඟ මූල්‍යය නිදහසක් ලබාදීම කෙටි කාලීන අරමුණු ඉලක්ක කරගත් කාරණයක් නොවේ. එසේම, රාජපක්ෂලාට තවත් අවුරුදු පහක් ඉවසීම වූ කලී ඉතා පහසු කටයුත්තක් වුවද, එම කාලය තුළ තම පවුලෙන් පිට වෙනත් විපක්ෂ නායකයෙකු නිර්මාණය වීමේ පසුබිම වැළක්වීම අත්‍යවශය වේ. මෙවැනි දේශපාලන කෝලාහල වල මූලික උපාය එය විය හැකිය. ඒ හැරෙන්නට, වෙන කිසිවෙකුටත් වඩා හොඳට රාජපක්ෂ මෙරට දේශපාලන පක්ෂවලට අදාළ ගණිතය දන්නා අයෙකි.

මෙම දෙවැනි අරමුණ ඉටු කර ගැනීමට රාජපක්ෂ සමත් වුවහොත් එය මෙරට ඉතිහාසයේ සිදුවිය හැකි වඩාත් ගැඹුරුම දේශපාලන විපර්යාසය වනු ඇත. එය, 2015 ජනවාරි සිදු වූ විපර්යාසයට වඩා තියුණු මෙන්ම ශක්තිමත් බියකරු එකක් වනු ඇත.

වත්මන් ආණ්ඩුවට රටේ මිනිසුන්ට යහපතක් සිදු කිරීමට සැබෑ වුවමනාවක් තිබේනම්, වහාම කළ යුත්තේ තමන් මඟ හරිමින් සිටින මූලික ආයතනික වෙනස්කම් සිදු කිරීමය. එසේම, තමන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් රාජ්‍යය සම්පත් අනිසිලෙස භාවිතා කොට යහමින් තම පෞද්ගලික අභිලාෂයන් සපුරා ගන්නා අයවලුන් නිෂ්ක්‍රීය කිරීමය. අනවශ්‍යය දේශපාලන අර්බුද ඇති නොකිරීමය.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa