end of the War, Featured Articles, Features

ඉන්වික්ටුස් – රටක් වෙනස් කළ මිනිසාගේ ආදර්ශය

සුනන්ද දේශප්‍රිය

වර්ගවාදී අමානුෂික සුලුතර සුදු ජාතික පාලනය අවසන් කොට දකුණු අප්‍රිකානු ජනාධිපති බවට පත් නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාව තුළ වාර්ගික සමගි සන්ධානය ඇති කිරීමට දරන ලද අසාමාන්‍ය ධෛර්ය සහ නායකත්වය පෙන්නුම් කැරෙන ‘ඉන්වික්ටුස්’ සිනමා පටය දැන් ලොව පුරා තිරගත වේ. මේ සිනමා පටය දෑස කදුළින් තෙත් පොඟවන වරදට යටත් නොවීමේ මානව ධෛර්යයෙන් පිරී තිබේ. සුදු ජාතිකවාදය පරාජය කළ මේ අසහාය මිනිසා සිය සගයින්ගේ කලු ජාතිකවාදයට එරෙහිව නොබා නැගී සිටි සැටි අපූරුය. විශ්මජනක ය. “සතුරා සමඟ ක්‍රිඩාව: නෙල්සන් මැන්ඩෙලා සහ ජාතියක් වෙනස් කළ ක්‍රිඩාව” නමින් ජෝන් කාලින් විසින් ලියූ පොත සිනමා පටයට පාදක වී තිබේ. සිනමා පටය අධක්ෂනය කරන්නේ ක්ලින් ඊස්ට්වුඩ් ය.

ඉන්වික්ටුස් යනු ඉංග්‍රිසි ජාතික කිවියකු වූ විලියම් අර්නස්ට් හෙන්ලි විසින් 1875 දී ලියා 1888 දී පළ කරන ලද කවියකි. ඉන්වික්ටුස් යන ලතින් වචනයේ අර්ථය “යටත් නොකරන ලදී” යනු ය. ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසනු ලදුව දේශපාලන සිරකරුවකු ලෙස 27වසරක් පුරා සිරගෙදර හුනුගල් කැඩූ නෙල්සන් මැනඩෙලාගේ ප්‍රියතම කවිය බවට පත් වූයේ ඉන්විකටුස් ය.

මා වසා ඇති රැය ඝනාන්ධකාරයේ ගිලී ඇත. කවර දෙවියකුහට වුවත් තුතිපුදමි යටත් නෙවන මාගේ ආත්මය වෙනුවෙන්.

කොතරම් දේ සිදුවුණත් මා හඩා වැළපී නැත. පහර හමුයේ ලේ වැකී ඇතත් මා සිරස නොනැමේ.

ක්‍රෝධය ද කදුළු පිරි මෙැතිනින් එපිට ඇත්තේ භයංකාරත්වය යි. අහා, බියකරු වසර විසින් මා බිය නෙගැන්වී, නොගන්වනු ද ඇත.

මගේ ඉරණමේ ස්වාමියා මම වෙමි. මගේ ආත්මයේ නෞපතියා මම වෙමි.

විලියම් අර්නස්ට් හෙන්ලි (1888) විසින් පළ කරන ලද ඉන්වික්ටුස් නම් එම කවෙහි දළ අදහස එවැනිය. මේ සිනමා පටයේ ප්‍රථම දර්ශනය පැවැත් වූයේ පසුගිය මාර්තු මාසයේ දී ජීනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්තානයේ දී ය. මෙම සිනමා පටය සුවිශේෂ වන්නේ එය මැන්ඩෙලා ගැන කතාවක් නිසා නොවේ. එය දකුණු අප්‍රිකාව දේදුනු ජාතියක් බවට එනම් සෑම ජනවර්ගයක්ම සමාන අයිතීන් ඇතිව එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් ජීවත්වන සමාජයක් බවට පත් කිරීමට මැන්ඩෙලා දරන ලද කීර්තිමත් ප්‍රයත්නයේ ප්‍රතිබිම්බයක් එය විසින් සපයන නිසා ය. එය මැන්ඩෙලාගේ චරිතාපදානයේ ද පිළිබිඹුවක් බවට පත් වෙයි.

යුද්ධාවසානයෙන් වසරක් පිරීම නිමිත්තෙන් ජයපානෝත්සව පැවැත්වෙන් මෙම දිනවල ශ්‍රී ලංකිකයින් වශයෙන් අපට වැදගත් වන අත්දැකීම් ගණනාවක් ඉන්වික්ටුස් සිනමා පටය ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවෙහි පැවැත්වෙන ජයපානෝත්සව විසින් අපේ සමාජය තව දුරටත් බෙදා වෙන් කැරෙන බව එකවරම පැවැත්වෙන ශෝඛදින සහ වීරදින විසින් වුව පෙන්නුම් කරයි. ඊටත් වඩා අපට පෙනෙන්නේ රටෙහි සුලුතර ප්‍රජාවන්ගේ මානුෂීය සංවේදිතාවයන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වන මෙම පිලිවෙත නිසා ජයග්‍රාහකයා සහ පරාජිතයා යන බෙදුම තුළට ශ්‍රී ලංකා සමාජය වඩා වඩා ගමන් කරමින් සිටීම මහත් ඛේදවාචකයකි.

නෙල්සන් මැන්ඩෙලාට මුහුණ දීමට සිදුවූයේ ඊට වඩා සහමුළින්ම වෙනස් තත්වයකට ය. ඔහු බලයට පැමිණියේ වසර 56ක් පුරා ( 1948 – 1994)දකුණු අප්‍රිකාව පාලනය කළ සුලුතර සුදුවර්ගවාදී පාලනයකට එරෙහිව දශක ගණනාවක් පුරා පැවැති අරගලයයක ජයග්‍රහණයක් වශයෙනි. මෙම වර්ගවාදී මතවාදය විසින් විසිවැනි සියවසෙහි පැවැති දරුණුතම වර්ගවාදී රාජ්‍යක් නිර්මාණය කර තිබුණි. එය විසින් අවුලුවාලන ලද කලු ජාතික විරෝධයේ ගිනි දලූ අප්‍රිකානු ජාතික කොන්ග්‍රයේ ජීවය විය. මැන්ඩෙලා එහි නායකයා විය.

ජනගහණයෙන් සියයට 10ක් පමණ වූ සුදු ජාතික සුලුතරය දකුණු අප්‍රිකාවේ සමාජ. ආර්තික සහ දේශපාලනය ජීවිතය තුළ අධිකාරී බලය විය. මෙම වර්ගවාදය නීතියෙන්ම තහවුරු කර තිබුනේ අපාත්හයිඩ් යන පිළිවෙත යටතේ ය. නිදසුනක් ගන්නේ නම් මේ අනුව කළු ජාතික ආකර කම්කරුවකුගේ වැටුප මෙන් 12 ගූණයක් සුදු ජාතික කම්කරුවකු ලබා ගත්තේ ය. 1952 දී පණවන ලද නීතියක් අනුව වයස 16කට වැඩි සෑම කලු ජාතිකයකු සෑම අවස්ථාවකදීම තමන්ගේ රටෙහි දී තමන්ගේ “අවසර පොත” රැගෙන යා යුතු විය. රටෙහි යම් යම් ප්‍රදේශයන්ට යෑම කලු ජාතිකයිනට තහනම් විය. සුදු සහ කලු ජනයා වෙනුවෙන් වෙනවෙනම ජනාවාස ප්‍රදේශ, පාසැල්, සරසවි, රොහල්, උද්‍යාන, මුහුදු වෙරළ, පිහිටුවන ලදී. කලු ජාතිකයිනට ලැබුනේ ඉතා පහත් සේවාවන් ය.

අප්‍රිකානු ජාතික ක්‍රොන්ග්‍රසය මෙම පිළිවෙත පරාජය කරනු පිණිස සන්නද්ධ අරගලයක් 1961 දී දියත් කළේ ය. එය ජාතියේ තෝමරය යැයි නම් කරන ලදී. මැන්ඩෙලා සිරගත කැරුණේ එහි නායකයා ලෙස ය. සන්නද්ධ අරගලය අතහරින්නේ නම් ඔහු නිදහස් කරන බවට 1985 දී වර්ගවාදී රජය ගෙන ආ යෝජනාවකට විරුද්ධ විය. “මා සමඟ සාකච්ජා කිරීමට නම් ප්‍රථමයෙන් මා නිදහස් මිනිසකු කළ යුතු ය” යැයි ඔහු කියා සිටියේ ය. අවසානයේ දී 1990 දී නිදහස් කරන ලද මැන්ඩෙලා නිදහස් දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා බවට පත් විය.

සිය ජනධිපති දේශනයේ දී 1994 මැයි 10 දාමැන්ඩෙලා කීවේ මෙය යි: “ සියළුම දකුණු අප්‍රිිකානුවන්ට කලු මෙන්ම සුදු ජාතිකයිනට සිය සන්තානයෙහි බියක් සැකක් නැතිව මානව ගරුත්වයෙන් යුතුව ජීවත්විය සමාජයක් ගොඩ නගමු. සියළු දෙනාටම යුක්තිය ඉටු වේවා. එක් අයකු විසින් වෙනකකු පාගා දමන සමාජයකට දකුණු අප්‍රිකාවේ ඉඩ නොතබමු”

නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති ලෙස පත් වූ අවස්ථාවෙහි එක් පුවත්පතක් සිය ශිර්ෂ පාඨයෙන් මෙසේ ඇසීය. “ඔහු දිනුවා ඒත් රට පාලනට හපනෙක්ද?” ඔහුගේ සගයකු කේන්ති ගත්තේ ය. කතුවරයාට තර්ජනය කරනු වෙනුවට මැන්ඩෙලා කීවේ මෙය යි. “ එය සාධාරණ ප්‍රශ්ණයක්. මට වෙනස් වෙන්න බැරි නම් මම රට වෙනස් කරන්නේ කොහොමද?”

සිනමා පටයේ අපූරුවට දැක්වෙන මෙවැනි සිදුවීම් අතර තවත් සිදුවීමක් මෙසේ ය. මැන්ඩෙලාගේ කලු ජාතික ආරක්ෂ ප්‍රධානියා තමාට අමතර පිරිස් අවශ්‍ය බව කිය යි. එවිට ඔහුට ලැබෙන්නේ සුදු ජාතික ජනාධිපතිවරයා වූ ඩි ක්ලාක් ගේ හිටපු ආරක්ෂකයින් ය. ඔව්න් මිනීමරුවන් බව කිවූ ආරක්ෂ ප්‍රධානියා එම පිරිස් ප්‍රතික්ෂේප කරයි. එවිට නෙල්සන් මැන්ඩෙලා කියන්නේ මෙය යි. “මේ දේදුන්න වගේ හැමෝම එකතුවුනු ජාතියක්. අපට සමාව දීමටත් අමතක කිරීමටත් බැරි නම් මම කොහොමද අනෙක් අය වෙනස් වේවි යැයි විශ්වාස කරන්නේ?” මෙම කලු ජාතිත ආරක්ෂ ප්‍රධානියා සුදු ජාතික ආරක්ෂකයින් සමඟ වැඩ කිරීමට ක්‍රමයෙන් පුරුදු වන අයුරු ඉන්වික්ටුස් අපට පෙන්වයි.

ඉන්වික්ටුස් හි තේමාව වන්නේ දකුණු අප්‍රිකාවේ තනිකරම ස්ප්‍රින්ග් බෘග් නම් වූ ජාතික රග්බි පාපන්දු කණ්ඩායම රැක ගැනීමටත් ලෝක සූරතාවය දිනා ගැනීම කරා එම කණ්ඩායම දිරිගැන්වීමටත් මැන්ඩෙලා දරන ලද ප්‍රයත්නය යි. එහි සිටියේ එකම කලු ජාතිකයෙකි. දකුණු අප්‍රිකානු බහුතර ජනයා ප්‍රීති ඝෝෂා නගමින් සහාය පළ කළේ සුද ජාතිකයින්ගෙන් සමන්විත සිය රටෙහි කන්ඩායමට නොව අනෙක් රටවල කණ්ඩායම් වලට ය.

කතාව ගොඩ නැගෙන්නේ මෙසේ ය: ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවේ ජාතික ක්‍රීඩා සංගමය සුදු ජාතික පාලනයේ සංකේතයක් වූ ස්ප්‍රින්බෘක් රග්බි කණ්ඩායමේ සමස්ත ව්‍යහුයම එනම් සුදු ජාතික කණ්ඩායම ද අතුළුව එහි ධජය, නාමය යනාදි ය වෙනස් කිරීමට ඒකමතිකව තීරණය කරයි. මෙම තීරණය දැන ගන්නට ලැබෙන ජනාධිපති මැන්ඩෙලා අනාරාධනයෙන් එම රුස්වීමට ගොස් සිය ස්ථාවරය පැහැදිළි කරයි. තර්ක විතර්ක මැද සිය දේදුනු ජාතියේ අර්ථය ජය ගන්වන මැන්ඩෙලා සංගමයේ ඒකමතික තීරණය වෙනස් කිරීමට සමත් වෙයි. ඔහු එහී දී කියන්නේ “ඔබ මා ඔබගේ නායකයා ලෙස පත් කළා. දැන් මට ඔබට නායකත්වය දීමට ඉඩ දෙන්න” කියාය.

අනතුරුව ස්ප්‍රින්බෘක් කණ්ඩායමේ නායකයා වන පැන්කොයිස් පිනාර්ට තමා හමුවීමට එන්නැයි ආරාධනයක් යවන මැන්ඩෙලා ඔහුගෙන් ඉල්ලා සිටින්නේ රටෙහි ජාතික සමගිය ඇති කිරීම පිණිස ක්‍රීඩාව උපයෝගි කර ගැනීමට තමා දරණ උත්සාහයට සහාය දෙන ලෙස ය. මෙලෙස ස්ප්‍රින්බෘක් කණ්ඩායම සමඟ කටයුතු කිරීම ගැන මැන්ඩෙලාට සිය හිතවතුන් සහ පවුලේ උදවිය පවා කනස්සල්ල පළ කරති. අනෙත් අතට කණ්ඩායමේ නායක පැන්කොයිස් පිනාර් ද සිය කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ගේ තෙරපුමට ලක්වේ. මෙළෙස සැක සහිතව ඇරඹෙන මෙම සබඳතාවය දකුණු අප්‍රිකානු රග්බ් කණ්ඩායමේ ලෝක ජයග්‍රහණය දක්වා දිව යන්නේ කලු ජාතික බහුතරය ස්ප්‍රින්ග්බෘක් කණ්ඩායමට ජයඝෝෂා නැංවීමට ඉදිරියට පැමිණෙමිනි. ලෝක කුසළාන තරඟ ඇරඹීමට පෙර ස්ප්‍රින්බෘක් රග්බි කණ්ඩායම කලු ජාතික පිරිස් වෙසෙන පෙදෙස් කරා ගමන් කරමින් පුහුණු වැඩ සටහන් පවත්වන්නේ කලු කොලු ගැටව් සමඟ ය. කලු බහුතර පාලනය පිළිබද බලවත් සුදු ජාතික සුලුතර පිරිස් අතර වු අවිශ්වාසයන් සහ සැකයන් ක්‍රමයෙන් පහව යෑමට මෙම ක්‍රියා දාමය දායක වෙයි.

කිසිවකු නොසිතූ පරිදි ය. ස්ප්‍රින්බෘක් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි. අවසන් මහා තරඟයට පෙර දා සුදු බහුතර ස්ප්‍රින්බෘක් කණ්ඩායම නෙල්සන් මැන්ඩෙලා 27 වසරක් රඳවා සිටි රොබන් දූපත් සිරකඳවුරට සංචාරයක යෙදේ. කණ්ඩායමේ නායක පැන්කොයිස් පිනාර්ට මැන්ඩෙලා අනෙක් සිරකරුවන් අතර හිඳ හුනුගල් කඩනු ද එම කුඩා සිරමැදිරියේ ඇලවී සිටිනු ද දර්ශනය වෙයි. ඒ රාත්‍රියෙහි ඔහු තමාට මෙසේ කියා ගනී. “ එතරම් කුඩා සිර මැදිරියක වරස 30ක් තරම් කාලයක් තමා සිරගත කර තැබූ පුද්ගලයින්ට සමාය දීමට සහ ඒ අතීතය අමතක කිීරීමට නෙල්සන් මැන්ඩෙලාට හැකි වූයේ කෙසේ ද?” ඒ සමඟ තරඟය ජයග්‍රහණය කර දේදුනු වර්ණ දකුණු අප්‍රිකානු ජාතියට සිය දායකත්වය ලබා දීමේ අදිටන පැන්කොයිස් පිනාර් තුළ සවිමත් වෙයි.

අවසන් තරඟයේ දී මැන්ඩෙලා සිටින්නේ මහත් නොඉවසිල්ලෙනි. පැන්කොයිස් පිනාර්ගේ අංකය වන 06 සහිත ස්ප්‍රින්බෘක් ටී ෂර්ට් එකකින් සැරසී තරඟය නැරඹිමට එන ඔහු සිය ආරක්ෂකයිනට ඉස්පාසුවක් නෙවන තරමට එහා මෙහා ඇවිද අනාරක්ෂිත ස්ථානයක් තරඟය නැරඹීමට තෝරා ගනියි. කළක් පසමිතුරන් වූ කලු සහ සුද ජාතික ආරක්ෂකයෝ ජනාධිපති මැන්ඩෙලාගේ ආරක්ෂාව පිණිස වෙහෙසෙති. හැට දෙදහසක් තරම් වූ ප්‍රෙක්ෂකයෝ වාර්ගික වෙනසකින් තොරව ස්පින්බෘක් කණ්ඩායමට ජයඝෝෂා නගති. තරඟය ඇත්තේ අපරාජිත නවසීලන්ත “ඔක්කොම කලු” නම් කණ්ඩායම සමඟ ය. සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සැක දුරුකරමින් පැන්කොයිස් පිනාර් සිය කණ්ඩායමේ ශරීරයන්හි උපරිම බලය තරඟයට ගෙන ඒමට සමත් වෙයි. තරඟ අවසානයේ දී සම සමව ලකුණු ගෙන සිටින කණ්ඩායම් දෙක ලබන අතිරේක කාලයේ දී දකුණු අප්‍රිකානු ස්ප්‍රීන්බෘක් 1995 රග්බි ලෝක කුසලානය දිනා ගනියි.

අංක 06 දරණ ටී ෂර්ට් එක හැද ප්ිටිය මැද දී නෙල්සන් මැන්ඩෙලා පැන්කොයිස් පිනාර්ට ස්තුති කරයි. පිනාර් කියන්නේ ස්තුතිය හිමිවිය යුත්තේ ඔබටයි කියා ය. ඒ පිටිය තුළය. එහි පිටත සුදු ජාතික පොලිස් නිලධාරීහු පිරිසක් සිය වාහනයේ රේඩියෝවෙන් තරඟ විස්තර අසා සිටිති. වැරහැළි හැදි කලු කොලු කුරුට්ටකු ද ඒ අසළ ගැවසෙමින් තරඟ විස්තරයට සවන් දෙයි. ඒ පොලිස් නිලධාරීහු ජය සමරනු වස් ඒ කොලු කුරුට්ටා සිය උරහිස මතට ගනිත්.

දකුණු අප්‍රිකාවේ ජාතික සමගිය ගොඩ නැගීමෙහිලා මෙම ක්‍රියාදාමය තීරණාත්මක කඩඉමක් බවට පත් විය. කලු ජාතික බහුතරය විසින් වෛර කළ ස්ප්‍රින්බෘක් කණ්ඩායම ජාතියේ ආඩම්බරයේ සංකේතය බවට පැමිණ වීම මැන්ඩෙලාගේ මහත් ජයග්‍රහනයක් බවට පත් විය. ලෝක කුසලානයට වඩා දීර්ඝ කාලීන දිනා ගැනීම වුයේ එය යි.

අද දක්වාම සියළු බාධා මැද විවිධත්වය අගයන දේදුනු වර්ණ ජාතියක් ලෙස පැවැතීමට දකුණු අප්‍රිකාව සමත් ව ඇත්තේ නෙල්සන් මැන්ඩෙලා විසින් පෙන්වන ලද ඒ සා ධෛර්‍ය සම්පන්න වූ පිළිවෙත නිසා ය. එමෙන්ම අවාදයට වඩා ආදර්ශය උතුම් කොට සැළකූ මැන්ඩෙලා සිය ප්‍රථම ධුර කාලයෙන් පසු 1999 දී දේශපාලනට සමු දුන්නේ නිරනුමානවම අවශ්‍ය කාලයක් ජනාධිපතිධුරයෙහි රුදී සිටීමට හැකියාව තිබිය දී ය.

රටක් වෙනස් කළ මිනිසාගේ ආදර්ශය එය යි.