මේ පැත්තට ගන්න කොට නම් කිව්වේ රස ආහාර කවනවා කියලා ය. ඒ පුටුව දෙනකොට කිව්වේ රන් කූඩුවේ දමනවා කියලා ය. එහෙම කියලා ය, ඇති කරන්න ගත්තේ.

ඉතින් ඔහොම කියන කොට මොන දෙයියත් එන්න කැමැති ය. කොතැන හෝ ලගින්නට කැමැති ය. අවුලක් නැත. රස ආහාර ලැබෙන්නේ ය.

එහෙව් ජාතියෙන් පොරොන්දු දී ගෙන්නා ගත්තාට පසු දහනවයෙන් අතහරින්න කිව්වාට හරියනවද? මොන ව්‍යවස්ථාව ගෙනාවත් මේ වගේ දේවල් දමා හැරපියා යාවි යැයි හිතන්නට පුළුවන් ද? නැත, තවදුරටත් ඒ රන් කූඩුව මැවෙන්නේය. රස ආහාර මැවෙන්නේය. ටික ටික දැන් කැවෙන නිසා ඒ රහ දටම දන්නේය.

කිසි ප‍්‍රශ්නයක් නැත.

පහුගිය නොවැම්බරයේ ද බත් කෑවා ද කියා ආදරයෙන් ඇහුවේය. එහෙම බෝලය බස්සවා වටේට ම පෙන්නුවේය. ‘මේ ඉන්නෙ, මෙයා තමයි එයා’ කිව්වේය. බත් කවා වැඩ ගන්නේය. මොනවා වුණත් මේකත් එක්තරා ආකාරයක වහල්කමකි. මේ වහල්කම කරන්නේ රස ආහාර ගැන හීන මවමින් ය. ටික්ක ටික්ක කන ගමන් ය. හැබැයි තවම හුගක් කන්නට ලැබුණේත් නැත. කන්නට ලැබෙයි කියා හිතන්නටත් බැරි ය.
වටේ අය අහන්නේ ම බත් දුන්නෙ නෑ නේද කියලා ය. එතකොට ආපහු මතක් වෙන්නේ රස ආහාර දෙනවා කියලා කියපු එක ය. රන් කූඩුවෙ දමනවා කියලා කියපු එක ය. ඒ හින්දා තවදුරටත් බලාපොරොත්තුව අතහරින්නට සූදානම් නැත. ඒ හින්දා මම බත් කෑවා කියා එක පයින් හිටගෙන කියන්නේය. බඩ පිරුණා කියා බඩ අතගා පෙන්නන්නේය. ඒත් ඇත්තටම ඉන්නේ බාගෙට බඩ පුරවාගෙන ය.

ඒකට හේතුවක් තිබේ. බත් කෑවෙ නෑ කිව්වොත් ‘ගිහින් කැලේ අතහරින්නද’ කියලා අහන්නේය. ඒ කතාවට බය හිතෙන්නේය. ‘ආපහු ඒ කැලේට…?’

‘අනේ අනේ එපා’ කියන්නේ ඒ නිසා ය. මේ රස ආහාර දමා, ඒ කැලේට යන්නද? ඒක නම් මේ කපේට හිත හදාගෙන කරන්නට බැරි ය. ආ…. රස ආහාර ගැන හිතුවාට, රන් කූඩුව ගැන හීන මැව්වාට, කිව්වේ ‘මට ඔය රස ආහාර එපාමයි කියා ය. මට ඔය රන් කූඩු වල ඉදලා පුරුදු නැත්තේ ම ය කියලා ය.

ඉතින් කැලෙන් ඇහෙන කතාත්, මෙහෙන් කියැවෙන කතාත්, රැහේ ඇත්තන් කියන කතාත් වටේ පාවෙන කොට මෙහෙම ප‍්‍රශ්න කෙරෙන්නේය. රන් කූඩුවෙ දැම්මත්, කුස පිරෙන්න රස ආහාර දුන්නත් අනේ ඔබ යනවද කියන එක ඒ ප‍්‍රශ්නය ය. අනෙක් අය ගියාට ඔබ යනවාද එහෙමත් අහන්නේය. එතකොට ඒ අය ම උත්තරයක් හදාගන්නේය. නෑ, ඔබ යන්නේ නැත කියන්නේ ඒ උත්තරය ය. උත්තරය සාධාරණ ය. ඇත්තම කතාව යන්නට බැරි ය. ගියොත් ලූණුයි, බතුයි වත් හම්බෙන්නේ නැති බව දන්නේය.

ඒ හින්දා මේ කතාව සාධාරණයි කියන්නට තවත් දේ කියැවෙන්නේය. අනේ, ඔබ ගියෝතින් වත්තෙ මල් පිපෙන්නෙත් නැත, ගෙදර සිරියාවකුත් නැත, ඔබ නැත්නම් මේ දේවල් නැත. වෙන අය වගේ නොවේ ය, ඔබ එහෙම කරන්නේ නැති බව දන්නේය. කියන කතාව හරි ය. රස ආහාර කවනවා කියා ගෙන්නාගත්තේ මේකට ය. එතැන ඉන්න කාලෙත් හිතුවේ මොනවා හෝ රස ආහාර ගැන තමා ය. රන් කූඩු ගැන තමා ය. ඒත් ලැබුණේ නැත. ඉතින් ලැබෙන තැනින් නොගෙන අහවල් කෙංගෙඩියක් කරන්නද?

ඒත් දැන් නම් කියපු තරම් කවන ආහාර රස නැති ය. රන් කූඩු වල තියනවා කිව්වාට ඒවායේ කූඹි කන්නේය. ඒකෙත් හැටි… ඒ අතරවාරයේ කෝචොක් කරන්නේය.

ලස්සන මල් පිරුණු වතු වල නොව ගාර්ඞ්න්ස් වල ගැවසෙන්න ආස නැද්ද කියලා අහන්නේය. අර අලි හොර හාමුදුරුවන් වගේ පලතුරු විතරක් ම කන්න ආස නැද්ද කියලා අහන්නේය. ඒ වගේ ආසාවල් ද මෝදු කරවන්නේය. ඉදලත් බෑ, ගිහිනුත් බෑ වගේ මොකක්දෝ එකක් කරන්නේය.

ඔය ඔක්කොම අතරවාරයේ මේ පැත්තෙන් එක කතාවක් කියැවෙන්නේය. සංවර්ධන විශේෂ විධිවිධාන පනතෙන් මේ දවස් වල උදාහරණ දෙන්නේය. ඒ කට්ටිය ගේන්නේය. මේ කට්ටිය පරද්දන්නේය. එතකොට තමයි ය, අර කතාව අහන්නේ. ‘ආසදැයි බලන්න, කූඩුවෙ දොර ඇරලා තියන්න’

එහෙම කිව්වාට යන්නේ නම් නැත. සියල්ල සිද්ධ වෙන්නේ ඉන්නා ගමන් ය.

ශාලික විමලසේන | Shalika Wimalasena