Colombo, end of the War, Featured Articles, Features

ව්‍යවස්ථාමය යෝජනා පිළිබඳව සුලු ජනවාර්ගික කණ්ඩායම්වල උත්සුකතා නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීම සදහා..

දේවනේසන් නේසයියා විසිනි (2010 මැයි 21)

1920 ගණන්වල මැද භාගය කරා 80 වසරක් ආ පස්සට යමින් මෙය පටන් ගැනීම ප්‍රයෝජනවත් විය හැකි ය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට ආපසු සිය රට පැමිණි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රසිද්ධ දේශනවල දී මෙන්ම පුවත්පත් ලිපි මාලාවක දී ද ෆෙඩරල්වාදයට ප්‍රබල ලෙස අනුබල දෙමින් සිටියේ ඒ සමයේ දී ය. ෆෙඩරල්වාදය පිළිබඳව 1926 ජුලි මාසයෙහි යාපනයේ දී ඔහු පැවැත්වූ දේශනයට බෙහෙවින් ධනාත්මක ප්‍රතිචාර නොලැබුණු බවට වාර්තා වී තිබීම පුදුමය දනවයි. දේශනය පැවැත්වුණේ – පසුව යාපන තරුණ සංගමය ලෙස යළි පිහිටුවන ලද – යාපන ශිෂ්‍ය සංගමයේ ආරාධනාවෙනි. එවක ෆෙඩරල්වාදයට සහාය දුන්නෝ උඩරැටියෝ ය. එකල දෙමළ ජනයා ද ෆෙඩරල්වාදයට සහාය දුන්නේ නම් 1946 දී නිසැකව ම අපට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබිණ. මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට ජච් ප්‍රකාශයට පත් කළ – රොහාන් එදිරිසිංහ, මාරියෝ ගෝමස්, වී.ටී. තමිල්මරන් සහ අසංග වැලිකල සංස්කරණය කළ – . titled Power Sharing in Sri Lanka: Constitutional and Political Documents, 1926 – 2008, edited by Rohan Edrisinha, Mario Gomez, V.T.Thamilmaran and Asanga Welikala (2008) නමැති අනුස්මරණීය කෘතියෙන් කරුණු සපයා ගත හැකි ය.

දේශීය දේශපාලන නායකයන්ගේ පරමාර්ථ මෙන්ම යටත්විජිත පාලකයන්ගේ පරමාර්ථ ද අභිභවා බෙහෙවින් ඉදිරියට ගිය ඩොනමෝර් කොමිසම, 1931 දී වැඩිහිටි සර්වජන ඡන්ද බලය ද පළාත්බද ඡන්ද කොට්ඨාස ද හඳුන්වා දුන්නේ ය. යාපන තරුණ සංගමයෙන්, කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහගෙන් සහ අඩු බලපෑම් සහගත භාවයෙන් යුතු වෙනත් දේශපාලනඥයන්ගෙන් හැරුණු විට වැඩිහිටි සර්වජන ඡන්ද බලයට පක්ෂපාතිත්වයක් පළ වූයේ නැත. එබඳු විරුද්ධත්වයක් ඵලදායී නො වීය. ප්‍රතිසංස්කරණ දෙකම අවශ්‍යයෙන්ම සිදු විය යුතු බවත් ප්‍රශ්නයකට තිබුණේ එය සිදු වන්නේ කවදා ද යන්න පමණක් බවත් සෑම දෙනාට ම පැහැදිලි විය යුතු විය. ජය ගත නොහැකි ව්‍යාපාරයකට අත ගැසූ නායකයෝ තම කීර්තියට හානියක් කර ගත්හ; ඒ හානිය කර ගත් සුලුතරයේ නායකයෝ තමන් නියෝජනය කරන බව කියූ ප්‍රජාවන්ට ද හානියක් කළහ.

බෙදී වෙන් වීමට පක්ෂව 1940 ගණන්වල මැද භාගයේ දී දෙමළ සංගමය ඉදිරිපත් කළ 50-50 යෝජනාව ද 1976 වඩුක්කොඩෙයි යෝජනාව ද මෙම ජය ගත නොහැකි ව්‍යාපාරය නමැති ප්‍රවර්ගය තුළ මම බහා ලන්නෙමි. එය සාක්ෂාත් කර ගත නොහැකි බව, අසාර්ථක වන්නට නියමිත බව ආරම්භයේ සිටම පැහැදිලිව පෙනිණ. එම යෝජනාවලින් දෙමළ ජනයාට හානියක් සිදු විය හැකි බව එකල පවා පැහැදිලි විය යුතුව තිබිණ. 1977 පටන් ගෙන 1985 සිට 2009 දක්වා පැතිර ගිය සිවිල් යුද්ධය පුරා සිදු වුණු සංවිධානාත්මක ජන සංහාරවල වගකීමෙන්, අඩු ගණනේ කොටසක් වත්, වඩුක්කොඩෙයි යෝජනාව මත පැටවිය හැකි ය. දෙමළ ජනයාගේ ව්‍යාපෘතියක් ලෙස පෙරට දැමුණු නිසා ෆෙඩරල්වාදය ජය ගත නොහැකි ව්‍යාපාරයක් බවට පත් විය. මුස්ලිම්වරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා මුල් කාලීනව ඇතැම් ප්‍රයත්නයන් දරා ඒවා යම් සාර්ථකත්වයක් ලද මුත් සිංහලයන්ගේ සහාය දිනා ගැනීම සඳහා කිසිදු ප්‍රයත්නයක් නොදැරිණ. සිංහල ජනයාගේ සහාය නැතිව ගිය ෆෙඩරල් ව්‍යාපෘතිය විනාශකාරී ඉරණමකට මුහුණ දුන්නේ ය. කෙටියෙන් කිව හොත්, 1995 දී ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ෆෙඩරල්වාදයට දුන් සහායත් 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ ෆෙඩරල්වාදයට දුන් සහායත් සුරක්ෂිත කර ගත හැකිව තිබුණු මුත් එම ජයග්‍රහණ නොකඩවා හඹා ගියේ නැත. ෆෙඩරල්වාදයක් හෝ ෆෙඩරල්වාදය ලෙස පෙනෙන දෙයක් පෙරළා යෝජනා කරන්නේ නම්, එය සිදු විය යුත්තේ සිංහල දේශපාලන නායකයන් සමග කල් තියා කරන බොහෝ වැඩ කටයුතුවලින් පසුව ය. දෙමළ ජනයාගේ සුභසාධනය කෙරෙහි කිසිවෙකු උනන්දු නොවුව හොත් බෙදී වෙන් වීම හෝ ෆෙඩරලීකෘත රාජ්‍යය පිළිබඳ යෝජනාව ඉදිරිපත් වනු ඇත – එබඳු යෝජනාවක් නිෂ්ඵල වනවා පමණක් නො වේ, ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවක් ද ජනනය කළ හැකි ය.

බණ්ඩාරනායක යාපනයට සංචාරය කළේ යාපන ශිෂ්‍ය සංගමයේ/යාපන තරුණ සංගමයේ ආරාධනාවෙන් යැයි සඳහන් විය. එම සංවිධානය, වසර ගණනාවක් තිස්සේ, ආරාධිත කථිකයන් ලෙස හෝ සැසිවල සභාපතිවරුන් ලෙස තම සැසිවලට සහභාගි වන ලෙස යාපනයෙන් පිටත සිටි සෑම සැලකිය යුතු දේශපාලන නායකයෙකුට ම පාහේ ආරාධනා කරන ලදි. මෙම ආරාධිතයන් අතර සිංහලයන් ද මුස්ලිම්වරුන් ද ඉන්දියානු දෙමළ ජාතිකයන් ද නැගෙනහිර දෙමළ ජාතිකයන් සහ වෙනත් අය ද සිටියහ. තරුණ සංගමය යෙදී ගෙන සිටියේ හුදෙක් තම සංවිධානය ගොඩ නැගීමේ වැඩ කටයුතුවල පමණක් නො වේ. ජනවාර්ගිකත්වය, ආගම, කුලය, කලාපය සහ දේශපාලන දෘෂ්ටිය නොතකා දිවයින පුරා සිටි නායකයන් සමග සන්ධානගත වන්නට සහ ජාලගත වන්නට ද එය උත්සාහ කළේ ය.

අවාසනාවට එම මුල පිරීම ටිකෙන් ටික අකර්මණ්‍ය විය. නොමග ගිය, ඒකපාර්ශ්වීය තීන්දුවක් ගත් තරුණ සංගමය 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වර්ජනය කළේ ය. එහෙත්, ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලින් නිදහස කරා ඇති තරම් දුර නොගිය තතු යටතේ වැඩිහිටි සර්වජන ඡන්ද බලය පදනම් කර ගෙන පැවැත්වුණු පළමු මැතිවරණය විය ඒ. තරුණ සංගමයෙන් පිටත සිටි දෙමළ නායකයෝ සියලු දෙනා ම පාහේ වැඩිහිටි සර්වජන ඡන්ද බලයට ද පළාත්බද ඡන්ද කොට්ඨාසවලට ද ඇතැම් අවස්ථාවල දී ඩොමීනියන් තත්ත්වයට පවා ද විරුද්ධ වූහ. මෙය දෙමළ ජනයාට හානි කළේ ය, ඔවුන් පිළිබඳ සැක සංකා මතු කළේ ය; ඒ සැකසංකා දෙමළ ජනයා තරුණ සංගමය වර්ජනය කිරීමට පවා ද තුඩු දුන්නේ ය. ප්‍රතිඵලය වූයේ තරුණ සංගමයේ කීර්තිය ක්‍රමයෙන් පිරිහී යාම යි. යළිදු, පීඩාවට පත් වූයේ දෙමළ ජනයා ම ය.

අවාසනාවට ශ්‍රී ලාංකික දේශපාලන සම්ප්‍රදාය තුළ ඵලදායී අන්තර් ජනවාර්ගික සහයෝගිතාවක් පැවතී නැත. ශ්‍රී ලාංකික දෙමළ ජනයා එක්කෝ ෆෙඩරල් පක්ෂය මූලිකත්වය ගත් තනිව ක්‍රියා කිරීමේ ප්‍රතිපත්ති කෙරෙහි නැඹුරු විය, නැත් නම් ආණ්ඩුවට කොන්දේසි විරහිත සහාය ලබා දීමට හුවමාරුවක් වශයෙන් ඇමති ධුර බලාපොරොත්තු වුණු ‛අවිශිෂ්ට’ දෙමළ නායකයන් කෙරෙහි නැඹුරු විය. 1948න් පසු කාලයේ දී, ශ්‍රී ලාංකික දෙමළ නායකයන් ඵලදායී සහයෝගිතාවක් ඇති කර ගත් අවස්ථා පිළිබඳව ඇත්තේ සුලු උදාහරණ කිහිපයක් පමණකි. 1995 ව්‍යවස්ථාමය යෝජනා කෙටුම්පත් කිරීමට උදව් කළ නීලන් තිරුචෙල්වම් මෙහි ලා සිහි කළ යුතු ය. ඒ යෝජනා ඊට පෙර හෝ ඉන් පසුව ඉදිරිපත් වුණු සියලු යෝජනාවලට වඩා බෙහෙවින් ඉදිරියට ගිය ඒවා විය. එහෙත් එල්ටීටීඊය ඔහු ඝාතනය කළේ ය, දෙමළ මන්ත්‍රීවරු යෝජනාවලට සහාය දීමට අසමත් වූහ. නමුත් බදිඋද්දීන් මොහමඩ් වැනි මුස්ලිම් නායකයෝ ද ඉන්දියානු දෙමළ නායකයෙකු වූ ජ්‍යෙෂ්ඨ තොණ්ඩමන් ද, මීට වෙනස් ලෙස, සිය ප්‍රජාවන් වෙනුවෙන් බොහෝ දායකත්වයන් ලබා දී විශාල පිළිගැනීමකට ලක්ව සිටියහ.

ඵලදායී අන්තර් ජනවාර්ගික සහයෝගිතාවක් ඇති කිරීමෙහි ලා වර්තමාන දේශපාලන වාතාවරණයෙන් ලැබෙන අනුග්‍රහය නීලන් තිරුචෙල්වම්ගේ, බදිඋද්දීන් මොහමඩ්ගේ සහ ජ්‍යෙෂ්ඨ තොණ්ඩමන්ගේ කාලවල දීට වඩා අඩු ය. දැන් එවැනි තත්ත්වයක් ප්‍රබල ලෙස යළි ඇති කිරීමට නම්, විදේශගතව සිටින දෙමළ ජනයාගේ සහාය ද ලබන ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ නායකයන්ගේ සන්ධානයක් අවශ්‍ය විය හැකි ය. තීරණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන සම්පත් ද ප්‍රේරක ශක්‍යතා ද විදේශගතව සිටින දෙමළ ජනයා සතුව පවතියි. අවශ්‍ය වන්නේ විදේශගතව සිටින දෙමළ ජනයා ශ්‍රී ලංකාව තුළ නායකත්වයට සහාය දෙමින් එය පරිපූර්ණත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන බව සහතික කිරීම යි.

විදේශගතව සිටින දෙමළ ජනයාගේ දේශපාලන කටයුතුවල යම් ආකාරයක රැඩිකල් ‛යළි’ දිශානතිගත වීමක් සිදු විය යුතු ය.

ඡන්දය බෙදීම සඳහා දරන ලද ප්‍රබල ප්‍රයත්න නොතකා මෙම වසරේ ජනවාරියේ දී පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ ජනයා එකට ඡන්දය ප්‍රකාශ කිරීම සතුටට කරුණකි. 2010 අප්‍රේල් මාසයේ දී පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද එම සහයෝගිතාව එලෙස ම පවත්වා ගෙන යා හැකි වී නම් ප්‍රතිඵලය මීට වඩා බෙහෙවින් යහපත් විය හැකිව තිබිණ. දැනුදු පවා එවැනි එකමුතුකමක් අලුතෙන් පන්නර ගන්වා ගැනීම සඳහා එතරම් ම කල් පමා වී නැත.

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සූත්‍රගත කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මේ දැන් පවතින දේශපාලන වාතාවරණය සුදුසු නැත. පෙනෙන්නට තිබෙන්නේ එකක් හෝ ඊට වැඩි ව්‍යවස්ථාමය සංශෝධනයන් සඳහා යන ගමනකි. ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ නායකයන් අතර ඇති වන ඵලදායී සන්ධානයකට එම ව්‍යවස්ථාමය සංශෝධන තම ප්‍රජාවන්ගේ උත්සුකතාවන් හා සැසඳෙන බව සහතික කිරීමට උදව් කළ හැකි ය. ඒ සන්ධානය කල් පවතින්නක් බව සනාථ වුව හොත් නව ව්‍යවස්ථාවක් සූත්‍රගත කළ හැකි තත්ත්වයන් නිර්මාණය කිරීමට එය උදව්වක් විය හැකි ය. 1946 ව්‍යවස්ථාව සූත්‍රගත කළේ විජිත පාලන තන්ත්‍රය යි, 1972 ව්‍යවස්ථාව එවක පැවති ශ්‍රීලනිපයේ නායකත්වයෙන් යුතු සභාගය යි, 1978 එජාප සභාගය යි. මෙම ව්‍යවස්ථාවන් කෙටුම්පත් කිරීමේ දී සුලු ජනවාර්ගික කණ්ඩායම්වලට සිය අදහස් පවසන්නට ඉඩ ලැබුණේ සුලු වශයෙනි, නැත් නම් ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ ම නැත. කවර හෝ අනාගත ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන විට ඒ සඳහා තමන්ට ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන්නට අවස්ථාවක් ලැබෙන බවත් තමන්ගේ උත්සුකතාවන් සැලකිල්ලට ගනු ලබන බවත් සහතික කර ගන්නට ඔවුන් එක් විය යුතු ය. එවැනි එකමුතුකමක් අත්‍යවශ්‍ය ය. එවැනි එකමුතුකමක් ඇති කළ හැකි ය.

2010 මැයි 15 වන දා ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙහි පැවැත්වුණු පස් වන වාර්ෂික දෙමළ ජන සමාජ අධ්‍යයන සමුළුව අමතා කතුවරයා කළ කතාව යි.