Image Credit: GattyImage

මේ වන විට මෙරටේ සෑම රූපවාහිනී නාලිකාවක්ම පාහේ විවිධ නම් වලින් යුතු ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහාය. එහෙත් එය වඩාත් විස්තරාත්මකව පවසන්නේ නම් ඔවුන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ආධාර කිරීම සඳහා නොව ආධාර රැගෙන යාම සඳහාය. එම ආධාර ඔවුන් රැස් කරන්නේ මහජනතාවගෙනි. එනම් ඔවුන්ගේ ආයතන පරිශ්‍ර ඇතුළු විවිධ ප්‍රදේශවල විහාරස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන පරිශ්‍ර ඇතුළු විවිධ ස්ථානවල පවත්වාගෙන යනු ලබන ආධාර රැස් කිරීමේ මධ්‍යස්ථානවලට අපේ රටේ ජනතාව විසින් ගෙනැවිත් භාර දෙනු ලබන විවිධ ආධාර ද්‍රව්‍ය විපතට පත්වූවත් වෙත රැගෙන යාම මෙම මාධ්‍ය ආයතන ඔස්සේ සම්බන්ධීකරණය කෙරේ.

කෙසේ වුවත් මාධ්‍ය ආයතන විසින් සිදු කරන්නා වූ මෙම ආධාර සම්බන්ධීකරණය කීරීමේ කාර්යය පිළිබඳව ගැටළුවක් නොමැත. එහෙත් වරද ඇත්තේ මෙසේ සිදු කරනු ලබන ආධාර ගෙනගොස් දීමේ ක්‍රියාවලිය තුළ මාධ්‍ය ආයතන සිය සන්නාම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් නිර්ලජ්ජිතව ක්‍රියාත්මක කිරීමය. එනිසා ගංවතුර ආධාර රැගෙන යාමේ මුවාවෙන් සිදුවන එම ලජ්ජා සහගත මාධ්‍ය සංදර්ශන පිළිබඳව මෙසේ අවධානය යොමු කිරීමට සිතුවෙමි. එනම් මෙම සදාචාර විරෝධී මාධ්‍ය භාවිතය තවදුරටත් මෙසේ විග්‍රහ කළ හැකිය.

රටේ මහජනතාවට සිදුවන ඕනෑම විපතකදී ඔවුන්ට උදව් කිරීම සඳහා මාධ්‍ය ආයතන පෙරමුණ ගැනීම වරදක් නැත. මන්ද යත් රටේ අනෙකුත් සෑම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයකටම වඩා මහජනතාව දැනුවත් කිරීමේ හා මහජනතාව සංවිධානය කීරීමේත් ඔවුන්ව පෙළගැස්වීමේත් ශක්‍යතාව ඇත්තේ ජනමාධ්‍යවලට වන බැවිනි. එහෙත් එසේ සිදුවන සංවිධානය කිරීමේ කාර්යය තුළ මාධ්‍ය ආයතන සිය සන්නාම ප්‍රවර්ධනය කිරීම සදහා උත්සාහ දරන්නේ නම් ඔවුන් විසින් එසේ මැදිහත් වන්නේ ප්‍රජා සත්කාරක කාර්යයක් ඉටුකිරීම සදහා නොව සිය ආයතනයේ සන්නාමය පුම්බා ගැනීම සදහාය.

මෙසේ විවිධ මාධ්‍ය ආයතන විසින් ගංවතුර ආධාර ලබා දීම ඔස්සේ සිදු කරනු ලබන්නා වූ මෙම මාධ්‍ය ප්‍රවර්ධනය කර ගැනීමේ ව්‍යාපෘති තුළ ඔවුන් කටයුතු කරනු ලබන ආකාරය ඔස්සේ ඔවුන්ගේ ප්‍රවර්ධන අරමුණු වඩාත් ඉස්මතු වී පෙනේ. එනම් මෙම තත්ත්වය නිදසුන් ඇසුරින් විස්තර කරන්නේ නම් ඔවුන්ගේ එම ගංවතුර ආධාර රැස් කිරීමේ ස්ථානවලට ආධාර රැගෙන එනු ලබන මහජනතාව වෙතින් ඔවුන් ලබා ගන්නා අදහස් දැක්වීම් තුළ එසේ ආධාර රැගෙන ආ පිරිස් ආධාර ලබා දීම සඳහා එම මාධ්‍ය ආයතනයම තෝරා ගත්තේ ඇයිද යන වග ඉස්මතු කර දක්වයි. එහිදී ඇතමුන් සඳහන් කරන්නේ එම මාධ්‍ය ආයතනය කෙරෙහි තැබූ විශ්වාසය නිසා එසේ ආධාර ලබා දීමට ඔවුන් කටයුතු කළ බවය. එමෙන්ම ඇතමුන් පවසන්නේ එම මාධ්‍ය ආයතනයට ලබා දෙන ආධාර විපතට පත්වූවන්ගේ අතටම පත් කරන බැවින් ඔවුන් මෙසේ ආධාර ලබා දුන් බවය. එසේම ආධාර නොලැබුණු බොහෝ තැන් වලට එම මාධ්‍ය ආයතනය විසින් ආධාර රැගෙන ගොස් දෙන බැවින් ඔවුන් ආධාර ලබා දුන් බවත් පවසයි. කෙසේ වුවත් මහජනතාව විසින් පවසන්නා වූ මෙම අදහස් ගංවතුර ආධාර රැස් කිරීම අතකොළුවක් බවට පත් කර ගනිමින් මාධ්‍ය ආයතන විසින් මේ දිනවල දිනපතා ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුළින් සහ ආධාර ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන්නා වූ විශේෂ වැඩසටහන් තුළදී නිරන්තරයෙන් විකාශය කරනු ලබයි.

එසේම මෙම මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කිරීමේ තත්ත්ව වඩාත් උත්කර්ෂයට නැංවූ අවස්ථාවක් වන්නේ ආධාර ලබා දීම් සම්බන්ධයෙන් සමාජයේ පිළිගත් පුද්ගලයින් වෙතින් ලබා ගන්නා වූ අදහස් දැක්වීම්ය. එනම් නිදසුන් වශයෙන් දක්වන්නේ නම් ආධාර රැගෙන එනු ලබන කලාකරුවන් විසින් දක්වන්නා වූ අදහස් තුළද එම මාධ්‍ය ආයතනයටම ආධාර ලබා දෙන්නේ මන්දැයි යන්න සම්බන්ධයෙන් වන අදහස් ඉස්මතු කර දක්වනු ලබයි. මා විසින් මෙම සටහන තැබීමට මොහොතකට පෙර ද මෙරටේ අතිශය ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් විසින් මෙහෙයවනු ලබන්නා වූ ආධාර රැස්කිරීමේ වැඩසටහනකට ආධාර රැගෙන පැමිණි හිමි නමක් විසින් එම මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් කරනු ලබන්නා වූ දීර්ඝ විස්තරයක් ගංවතුර ආධාර ලබා දීමේ මුවාවෙන් එම මාධ්‍ය ආයතනය විසින් විකාශය කළේය. එහිදී අදහස් දැක්වූ එම හිමි නම විසින් එම මාධ්‍ය ආයතනය ඉතා විශිෂ්ට ආයතනයක් බව ප්‍රකාශ කළ අතර එවැනි ප්‍රකාශ නිර්ලජ්ජිත අන්දමින් විකාශය කරමින් ගංවතුර ආධාර වැඩසටහන් සිය මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් බවට පත් කර ගැනීමට මාධ්‍ය ආයතන විසින් කටයුතු කිරීම අප විසින් ඉතා දැඩිව හෙලා දැකිය යුතුය.

මෙසේ ගංවතුර ආධාර ලබා දීම මාධ්‍ය සංදර්ශන බවට පත් කර ගෙන ඇති තත්ත්වය සහ වෙනත් මාධ්‍ය ආයතනවලට නොදෙවෙනිව කටයුතු කිරීමේ තරඟකාරිත්වය තුළ ඇතැම් මාධ්‍ය නාලිකාවල නිවේදකයින්ම බෝට්ටු වලින් ගොස් ආධාර බෙදමින් ඔවුන් ජනතාව අතටම ආධාර ලබා දෙන බව දැක්වීම සඳහා එම අවස්ථා සජීවීව විකාශය කරනු ලබයි. ඒ ඔස්සේ වෙනත් මාධ්‍ය ආයතන අභිබවා ජනතා විශ්වාසය තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව දැකගත හැකිය.

තවද මාධ්‍ය ආයතන විසින් මෙම ආධාර ලබා දීමේ වැඩසටහන් ඔවුන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් බවට පත්කර ගෙන ඇති බව පෙන්වා දීම සඳහා තවත් නිදසුනක් මෙසේ දැක්විය හැකිය. එනම් ගංවතුර ආධාර රැගෙන යනු ලබන සෑම රථයකම ඔවුන්ගේ ප්‍රජා සත්කාරක සේවාවේ නම ප්‍රදර්ශනය වන අයුරින් බැනර් හා ස්ටිකර් ඔවුන් විසින් භාවිත කරනු ලබයි. එසේම ප්‍රජා සත්කාරක සේවාවන් හැඳින්වීම සඳහා ලබා දී ඇති සෑම නමකටම මුලින් හෝ අවසානයට මාධ්‍ය ආයතනයේ නම අනිවාර්යයෙන්ම භාවිතා කර තිබේ. ඒ ඔස්සේ මාධ්‍ය ආයතනයේ සන්නාමය ජනතාවගේ මනස තුළට කාවැද්දවීම සඳහා ප්‍රජා සත්කාරක කාර්යයන් මුවාවෙන් මාධ්‍ය ආයතන කටයුතු කරමින් සිටියි.

මෙසේ මාධ්‍ය සදාචාරය ඉතා බරපතළ අන්දමින් උල්ලංඝනය කිරීමට කටයුතු කරන මෙම මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් තවත් යමක් මෙසේ පැවසිය යුතුය. එනම් මාධ්‍ය ආයතන විසින් මෙසේ රැස් කරමින් බෙදා හරිනු ලබන්නේ ජනතාව විසින් ඔවුන්ට ගෙනැවිත් දී ඇති ආධාර වේ. එහෙත් එම ආධාර මාධ්‍ය ආයතනවල සන්නාම භාවිත කරමින් විපතට පත්ව සිටින ජනතාවට බෙදා හැරීමට මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ ඔවුන්ගේ මාධ්‍ය ආයතනයේ ආදායම් වැය කරමින් විපතට පත්ව සිටින ජනතාවට ආධාර ලබා දෙන අයුරිනි. එනම් මහජනතාව විසින් ඉතා සත් භාවයෙන් යුතුව ලබා දෙන්නා වූ ආධාර සිය මාධ්‍ය ආයතනවල ප්‍රවර්ධන කටයුතු සඳහා මෙසේ භාවිත කරනු ලබයි.

ඒ අනුව පැවසිය යුතු වන්නේ ගංවතුර ආධාර මුවාවෙන් විපතට පත් ජනතාවගේ දුක අලෙවි කරමින් සදාචාර විරෝධීව මාධ්‍ය භාවිත කරනු ලබන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය. එසේම මාධ්‍ය විසින් සිදුකරනු ලබන ගංවතුර ආධාර සම්බන්ධීකරණය කිරීමේ ක්‍රියාවලිය හා එම ආධාර විපතට පත්වූවන් කරා රැගෙන යාමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී කිසිදු විවේචනයක් සිදු කර නොමැති අතර එම ක්‍රියාවලිය තුළ ඔවුන් සිය මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් පමණක් මෙම සටහන තුළදී මා විසින් කරුණු ගෙනහැර දැක්වීමට කටයුතු කළ බව සඳහන් කළ යුතුය. එනිසා වඩාත් වැදගත් වන්නේ මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවන් වලදී විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සැබෑවටම සිය මාධ්‍ය මෙහෙවර ඉටු කිරීම මිස ඒ ඔස්සේ මාධ්‍ය ආයතනවල ප්‍රතිරූප ප්‍රවර්ධනය කර ගැනීමට ඉතා නිර්ලජ්ජිත අන්දමින් කටයුතු කිරීම නොවන බවත් අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

සුරෝෂන ඉරංග | Suroshana Iranga