Colombo, Featured Articles, Features

එජාපයේ ඛේදවාචකය සහ බහුත්වවාදී දේශපාලනය

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

රටෙහි ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අද පත්ව තිබෙන කණගාටුදායක තත්ත්වය ශ්‍රී ලංකාවේ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවදයක් අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ මහත් කණස්සල්ලට හේත්ුවක් වී තිබේ. සමහර විට ඊට හේතුව එජාපය බලයට පත් කිරීමේ දේශපාලන උවමනාව වීමට ද පුලුවන. එමෙන්ම එසේ නොවීමටත් පුලුවන. එජාපයේ නව ලිබරල්වාදී පිළිවෙත් කෙරෙහි විශ්වාසයක් නැති මෙම ලේඛකයාගේ කණසල්ලට හේතුව වන්නේ විපක්ෂය දුර්වල වීම නිසා මෙරට දේශපාලන සංස්කෘතිය මත ඇති කරන අයහපත් බලපෑම ය.

එජාපය දැන් මෑත කාලයේ ලද දරුණුතම පරාජයට මුහුණ දී සිටී. ඒ ලබා ගත් ආසන ගණන අනුව පමණක් නොව ප්‍රතිශතය ද අනුව ය. උදාහරණයක් වශයෙන් එය 1956 දී ආසන ක්‍රමය අනුව ලබා ගත්තේ ආසන 08ක් පමණ ය. නමුත් එම අවස්ථාවෙහි ජන්ද ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවැතුණි. පසුගිය කාලය පුරා අප දකින්නේ එහි ජන්ද පදනම දිගින් දිගටම දියවී යන අන්දම යි. දිගින් දිගටම එය පරදින අන්දම ප්‍රස්තාරයක් ලෙස ප්‍රක්ෂේපණ කරන්නේ එහි අනාගතය අදුරු ය.

මැතිවරණ පරාජයන් හමුවෙහි අද එජාපය දෙවන පරාජයකට ද මුහුණ දී සිටී. 2002 දී එජාපය බලයට ගෙන ඒමට මූලිකත්වය ගත් බොහෝ දෙනෙකු අද පක්ෂයේ නැති අතර පක්ෂයේ නායකත්ව පිරිස් අතර ඇතිව තිබෙන ඇණ කොටා ගැනීම් දෙවන පසුබෑමකට මඟ පාදමින් තිබේ. මෙම ඇණ කොටා ගැනීම් කොතරම් පහත් මට්ටමකට වැටී තිබේ ද යත් පවුල් පසුබිම, ඇඳුම, භාෂාව සහ ආගම පවා දැන් ආයුධ වශයෙන් පාවිච්චි වෙයි. අද එජාපයේ දෙවන පෙළ නායකත්වය දුර්මුඛව ගොසිනි. ජවයකින් නැගී සිටීමට වෙර දරන තෙවන පෙළ නායකත්වයට තවම ඉඩක් ලැබෙන පාටක් නැත. එම නායකත්ව කණ්ඩායම දුර්මුඛ කැරෙන සහෝදර ඝාතක මඩ යුද්ධයක් දැන් දියත් වී තිබේ.

දෙවන සහ තෙවන පෙළ නායකත්වයෙහි විශ්වසනීයත්වය මෙම අභ්‍යන්තර ආරවුල් විසින් පළුදු කෙරෙන අතර අවසානයේ දී එකම සදාකාලික නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ තහවුරු වීමට ඇති ඉඩ වැඩි ය. ජනාධිපති ධුරයේ දිගටම රැදී සිටීමට රාජපක්ෂවරුන්ගේ යෝජනාව සහ මෙම සදාකාලික පක්ෂ නායකත්ව ක්‍රමය අතර එතරම් වෙනසක් නැත.

වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ 2002- 2004 දෙවසර හැර ගාමිනී දිසානායක මහතා ඝාතනය වූ 1994 වසරේ ඔක්තොබර් මාසයේ සිට සිට පුරා වසර 13ක් විපක්ෂ නායක සහ එජාප නායක වශයෙන් කටයුතු කරයි. මේ ශ්‍රී ලංකා දේශපාලනයේ වාර්තාවකි.

ශ්‍රිලනිප නායිකාව වශයෙන් 1977 දී අන්ත පරාජයක් ලද සිරිමා බණ්ඩාරනායක ද දිගින් දිගටම ලැබූ පරාජයන් හමූයේ 1994 දක්වා පක්ෂයේ නායකත්වයේ ගැලී සිටි නමුත් ප්‍රජා අයිතිය අහිමි කරනු ලැබ සිටි ඇයට 1988 දක්වා විපක්ෂ නායක ධුරය හිමිව තිබුණේ නැත. 1994 දී ශ්‍රීලනිපය යළි බලයට ගෙන රන ලද්දේ එහි නායකත්වය අල්ලා ගත් චන්ද්‍රිකා කුමාරතුංගගේ නායතක්වය යටතේ පිහිටුවන ලද පොදු පෙරමුණ නිසා ය. චන්ද්‍රිකා ශ්‍රිලනිපයට නව නායකත්වයක් දුන්නා පමණක් නොව නව නායකත්ව කණ්ඩායමක් ද ලබා දුන්නා ය.

එජාපයට දැන් අඩුම වශයෙන් ඉදිරි වසර හයවත් ගත කරන්නට වන්නේ විපක්ෂයේ ය. අතරමැද ආණ්ඩු පෙරළියකින් එජාපය බලයට ඒමේ දවල් සිහිනයක්වත් දැන් දකින්නට පුලුවන්කමක් නැත. ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී එජාප පදනම තවත් සෝදා යෑම වැළැක්වීමට සමත් වැඩ සටහනක් හෝ තවම එය හදුන්වා දී නැත. අද එජාපය පත්ව සිටින්නේ එහි අනුගාමිකයනට කිසිදු ජීවයක් ලබා දිය නොහැකි කණගාටුදායක තත්ත්වයකට ය. ක්‍රියාකාරී පුරවැසි පිරිස් දේශපාලන වශයෙන් අක්‍රීය වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ නැත.

2004 මහා මැතිවරණයෙන් එජාප පරාජය වූ දා අලුයම මම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂන කාර්යාලයේ සිට, විපක්ෂ නායක නිවස පිහිටි 5වන පටුමඟ දිගේ පැමිණෙමින් සිටියෙමි. එම නිවස ඉදිරිපිට දී පාර හරහා යමින් සිටි වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු මට මෙසේ කීවේ ය. “අපේ නායකයා හිනා වෙන්න දන්නව නම් අඩුවුනු ජන්ද එක්ලක්ෂ විසි පන්දාහ ගන්න තිබුණා”. වරක් නිකවැරටියේ රැස්වීමට ගොස් පැමිණි සිටි චන්ද්‍රිකා කුමාරතුංග කියූ කතාවක් මට එවිට මතක් විය. තමා කළ කතාව මතක් කරමින් ඇය කියා සිටයේ “දන් නැද්ද අපේ ගම්වල මිනිස්සු මං ඒ මිනිස්සුන්ට හරියන්න ඔන්න ඔහේ කියළ දැම්ම” වන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම මෙන් මහින්ද රාජපක්ෂ ද ජනප්‍රියවාදී දේශපාලනඥන් ය. රනිල් ප්‍රභූවාදී දේශපාලනඥයෙකි.

වන්ද්‍රිකා බලය රඳවා ගැනීම පිණිස 2001 දී සහ 2004 දී තමාගේ පරම සතුරු පක්ෂයක් වූ ජවිපෙ සමඟ සන්ධානයට ගියා ය. රනිල් වික්‍රමසිංහ 2010 දී ජවිපෙ සමඟ ගොඩ නැගී තිබූ සන්ධානයත් බිඳ දමා ගත්තේ ය. ජනාධිපතිවරණයට තරඟ කළ හංසයා ළකුණින්ම මහා මැතිවරණය ද එක්සත්ව තරඟ කළේ නම් අඩුම වශයෙන් අද තිබෙනවාට වඩා ආසන 15 -25ක් ලබා ගැනීමට විපක්ෂයට අවස්ථාව තිබුණි. එසේ වූයේ නම් රාජපක්ෂ පාලනය තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම වළක්වන්නට ද එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලනය ව්‍යවස්ථානුකූළ අත්තනෝමතිකත්වයක් කරා පිරිහී යෑම වළක්වන්නට තිබුණි. එසේ නමුත් ජවිපෙ ශක්තිමත්වීම සහ ජෙනරල් පොන්සේකා දේශපාලන නායකයකු ලෙස මතු වීම වැළැක්වීම රනිල් වික්‍රමසිංහ න්‍යාය පත්‍රයේ අංක බවට පත්ව විය. එල්ලුම් ගස් යවන බවට ආරක්ෂක ලේකම්වරයා අන්තර් ජාතික මාධ්‍ය ඔස්සේ තර්ජනය කරන ජෙනරල් පොන්සේකාට අද එජාප නායකත්වය සළකන්නේ එදා පක්ෂය වෙනුවෙන් සිරබත් කෑ එස්. බී. දිසානායකට සැළකූ, ‛එපා වාහෙට හොදි බෙදන’ අන්දමට ම ය.

එජාපය ජනතා පදනමක් සහිත දේශපාලන පක්ෂයක් බවට පත් කිරීමට නම් ශ්‍රී ලාංකික සමාජයෙහි මුල් ඇති නායකත්ව කණ්ඩායමක් එහි ඉදිරියට පැමිණිම අවශ්‍ය ය. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ සිටීම හෝ නොසිටීමට වඩා වැදගත් ප්‍රශණය වන්නේ එවැනි නායකත්ව කණ්ඩායමක් ගොඩ නැගීමට සහ ඊට අවස්ථාව දීමට එම පක්ෂයේ නායකත්වය සූදානම් ද යන්න යි. එසේ නමුත් දිගින් දිගටම මැතිවරණ පරාජයන් ලබන පක්ෂයක නායකත්වයේ වෙනසක් කාලීන අවශ්‍යතාවයක් බවට පත් වූ කළ ඊට පිටුපෑමෙන් සිදුවන්නේ පක්ෂය තවත් දුර්වලවීම බව අලුතෙන් කීමට තරම් දෙයක් නොවේ. පරාජයයට හේතුව නායකයාගේ දුබලතා වීමටත් නොවීමටත් පුලුවන. එසේ නමුත් වෙනසක් අවශ්‍ය වූ විට ඊට ඉඩ දිය යුතු ය. එකම නායකයකු දීර්ඝ කාලයක් පක්ෂයක බලයේ සිටින විට එම නායකත්වය වටා පෙළ ගැසෙන පිරිස් වෙනසකට අවස්ථාවක් දෙන්නේ නැත. අද එජාපය තුළ නායකත්ව වෙනසකට ඉඩක් නැති බව දැන් යළි සනාථ වෙමින් තිබේ. වසර 15කට පසු නායකත්වය බාර දිය හැකි විශ්වාසවන්ත කණ්ඩාමක් නැත්නම් ඉන් පෙන්වන්නේ කාගේ දුර්වලතාවය ද?

එජාප ආණ්ඩුවක් බලයේ සිටියදී ශ්ර්‍‍රිලනිපය දුර්වල විපක්ෂයක් බවට පත් වී නම් ද ඇතිවිය හැක්කේ මෙම විපාකයම ය. සිරිමා බණ්ඩාරනායක යටතේ සිදුවෙමින් පැවැතියේ එවැනි ක්‍රියාදාමයකි. දෝශාභියෝගය සහ චන්ද්‍රිකාගේ ආගමනය නොවන්නට 1994 දීත් එජාපයම ජය ගන්නට තිබුණි. අද එජාපය යළි පණ ගසා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයක් ලෙස නැගී සිටීිමට නම් මහත් වෙනසක් අවශ්‍ය බව පිළිනොගන්නා කෙනෙක් වෙත්ද?

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රඳා පවතින්නේ පුද්ගලයින්ගේ සහ දේශපාලන පක්ෂයන්හි හොඳ නරක මත නොව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන්, ආයතනයන් සහ සම්ප්‍රදායන් මත ය. ක්‍රියාත්මක බහු පක්ෂ ක්‍රමය ඉන් එක් අවශ්‍යතාවයකි. ඒ සඳහා ක්‍රියාශිලී සහ ශක්තිමත් විපක්ෂයක් ද වෙනත් දේශපාලන ක්‍රියාකාරිත්වයන් ද අවශ්‍ය ය. අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මුහණ දී සිටින ප්‍රධාන දුබලතාවයක් වන්නේ ක්‍රියාශීලී සහ ශක්තිමත් විපක්ෂයක් නැති කමයි.