Colombo, Featured Articles, Features

යුක්තිය සඳහා 25 වසරක් බලා සිටීම – 15,000 ට මරු කැඳවූ බෝපාල් ඛේදවාචකය

යුක්තිය සඳහා 25 වසරක් බලා සිටීම – 15,000 ට මරු කැඳවූ බෝපාල් ඛේදවාචකය

සුනන්ද දේශප්‍රිය

1984 දෙසැම්බරය ලඟාවන විට ගසේලා මනහර යුවතියක්ව සිටියා ය. මාරක දෙසැම්බර් 02දා යින් පසු ඇයට උරුම වුයේ ඇස් අන්ධ විරූපී මැහැළියකගේ පෙනුමකි. ඇය සුවපත් කිරීමට සන්තකයේ වූ සියලූ දෑ විකුණු එදා රුයෙහි ගලා ආ විපතින්ම දුබලව ගිය මා පියෝ මිය ගියහ. ගසේලාගේ කතාව ඒ මාරන්තික රැයෙහි සිය අනාගත සිහින විනාශ ව ගිය දහස් ගණනාවකගේ එක් කතාවක් පමණි.
ප්‍රධාන මහේස්ත්‍රාත් මොහාන් පී තවාරි තීන්දුව පත් කරන විට අධිකරණය පිරී තිබුණි. අපරාධය සිදුවූ ුඅවස්ථාවෙහි බොපාල්හි යුනියන් කාර්බයිඩ් සමාගමෙහි සභාපති වූ චූදිත මහේන්ද්‍ර අසූ පස්වැනි වියට ලඟ වී තිබුණි.

මේ වනාහී ජූනි 07 දා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ප්‍රාදේශීය උසාවියක් විසිපස් වසරක් ඉන්දියාවේ මහා ජනයා බලා සිටි තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවයි. ඉන් කියැවුණේ විසිපස් වසරකට පෙර පසලොස් දහසකට මරු කැඳවූ බෝපාල් ඛේදවාචකයට වග කිව යුතු නිලධාරීන් 08 දෙනෙකු වරදකරුවන් බව තීන්දු කැරෙන බව යි. අහෝ, එනමුත් ඒසා දැවැන්ත මානව ඛේදවාචකයට වගකිව යුත්තන්නට ලැබුනු දඩුවම දෙවසරක සිරදඩුවමක් සහ. එක්සත් ජනපද ඩොලර් 2123ක් ගෙවීම පමණි. ඒ දඩුවම හෝ ක්‍රියාත්මකවීම වෙනුවට සිදුවූයේ ඒ අවස්ථාවේ දී ම වරදකරුවන් ඇප පිට නිදහස්ව යාම යි. තීන්දුව ප්‍රකාශයට පත්කළ අවස්ථාවෙහි උසාවිය නිහඩතාවයේ ගැලී තිබුණේ ඉන් පිටත හෝ කිසිදු විරෝධතාවයක් දැක්වීම නීතියෙන්ම තහනම් කර තිබූ නිසා ය.

නඩු තීන්දුව අරභයා ප්‍රකාශයක් නිකුත් කළ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියා සිටියේ තීන්දුව “ බොහෝ පමා වී පැමිණි අප්‍රමාණවත් පිළියමක් බවයි” නියම වගකිවයුත්තා වන යුනියන් කාර්බයිඩ් සමාගම අධිකරණය හමුවට ගෙන එන ලෙස එය ඇමෙරිකානු සහ ඉන්දියානු ආණ්ඩුවලින් ඉල්ලා සිටියා ය. ක්ෂමා සංවාධිනය මෙසේ ද කිවා ය. “ මෙය ඉතිහාසීය තීන්දුවක්. නමුත් පිළියම ඉතාම අප්‍රමාණවත් . එමෙන්ම වසර 25ක් මේසා අපරාධයක යුක්තිය ඉටුවන තුරු බලා සිටීමට සිදුවීම පිළිගත හැකි තත්ත්වයක් නොවෙයි”
සිරදඩුවම් නියම වූ අට දෙනාම බෝපාල් බේදවාචකයට වගකිව යුතු වූ යුනියන් කාර්බයිඩ් සමාගමේ ඉහළ නිලධාරීහු වූහ. ඉන් එක් අයකු වූ ආර්.බී. චවුද්රි නඩු විභාගය අතර තුර මිය ගොස් තිබුණි. ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාව වූයේ සාපරාධි අතපසු කිරීම මගින් මරණයට මඟ පෑදීම යි. මෙම දඩුවමට අමතරව අපරාධයට වගිකවයුතු වූ යුනියන් කාර්බයිඩ් සමාගම් තුනට වෙන වෙනම එක්සත් ජනපද ඩොලර් 10617 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට ද නියම කරන ලදී. නඩු විභාගයේ දී විපතට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි රාජ්‍ය නොවන සංවිධාන මෙම අපරාධයේ වගකිවයුත්තන්ට දස වසරක දඩුවමක් ඉල්ලා සිටි අතර ඉල්ලා සිටි වන්දි මුදල් ද තීන්දුවට වඩා විශාල විය.

1984 දෙසැම්බර් 2දා නිසළ රැයෙහි දී ඉන්දියවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් හි යුනියන් කාර්බයිඩ් කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දු වීමකින් සිදුවූ මෙම බිහිසුණු අනතුර පිළිබඳ මෙම නඩුව ඉන්දියානු අධිකරණ ඉතිහාසයේ එක් දිර්ඝතම විභාගයක් බවට පත් විය. අපරාධයේ මුල් දෙදින තුළ ු15, 000ක ඉක්මවා මියගිය අතර ඉන් පසුකාලීන අතුරු ආබාධ නිසා තවත් දස දහසකට වඩා මිය ගියේ ය. ඊටත් අමතරව ලක්ෂ පහකට වඩා ජනතාවක් විවිධ අතුරු ආබාධයන්ට ලක් විය. තවමත් දිනපතා 6,000ක් දෙනා මේ විපතින් ඇති වූ අතුරු අබාධයන්ට ප්‍රතිකාර පිණිස පැමිණෙති. දෙවසරක සිරදඩුමක් ලැබුණේ ඒසා දරුණූ අතපසු කිරීමකට ය.

එසේ නමුත් මෙම අපරාධයේ ප්‍රධාන වගඋත්තරකරුවා වූ බොපාල් යුනියන් කාර්බයිඩ් සමාගමේ ප්‍රධානියා වූ ඇමෙරිකානු ජාතික වොරන් ඇන්ඩර්සන් අධිකරණයට ඉදිරිපත් වූයේ නැත. අපරාධය සිදුවී දෙදිනකට පසු ප්‍රදේශිය පොලීසියක් විසින් අත් අඩංගුවට ගන්නා ලද ඔහු අවශ්‍ය වූ විට යළි පෙනී සිටින බව පවසා ඇප ලබා ගත්තේ ය. හොර රහසේ ඉන්දියාවෙන් පළාගිය ඔහු ඉන්පසු කවරදාකවත් යළි ඉන්දියාවට පා තැබුවේ නැත. අද ඇමෙරිකාවේ යහතින් ජීවත්වන ඔහු ඉන්දියාවට බාර දීම ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි.

මෙම සාපරාධී නොසැළකිල්ල නිසා මිය ගියේ සමාන්‍ය ජනයා ය. එබැවින්ම මෙම අපරාධයේ වගකිව යුත්තන්ට දඩුවම් කිරීමට ඉන්දීය ආණ්ඩුව දැක්වූයේ ඇල් මැරුණූ උනන්දුවකි. සමාගම බලවත් නිසා ය. නඩුව පැවැරීමට ඉන්දීය මධ්‍යම පොලීසිය වසර තුනක් ගත්තේ ය. ඇසින් දුටුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීමට තවත් වසර 10ක් ගත්තේ ය. සාක්ෂිකරුවන් 178 දෙනෙකු සහ ලියැවිලි 3000ක් අධිකරණය හමුවට පත් කෙරිණි. පසුගිය 07 දා නඩුවෙහි තීන්දුව දුන්නේ නඩුව විමසීමට පත් කෙරුණූ 15වන විනිසුරුවරයා විසිනි.

නඩු තීන්දුව පසෙක තිබියේවා. කර්මාන්ත ශාලා බිමෙහි ගොඩ ගසා ඇති ටොන් දහස් ගණනාවක් වන විශ රසායනික ද්‍රව්‍ය තවම තිබෙන්නේ එහෙමමය ය. ඒ කිසිවක් ඉවත් කිරීමට ඉන්දීය හෝ සමාගමේ බලධාරීන් මේ තාක් කිසිදු පියවරක් නැත. මෙම විනාශකාරී ගෑස් කාන්දුවට හේතුව වුයේ කර්මන්ත ශාලාවේ නිර්මිතයෙහි වූ දුබලතා බව අධිකරණය තීරණය කළේ ය.

යුනියන් කාර්බයිඩ් වැනි දැවැන්ත බහු ජාතික සමාගමක් සමීක්ෂණ වාර්තා ගණනාවක් විසින් පෙන්වා දී තිබූ අනාරක්ෂිත තාක්ෂණික තත්ත්වයන් පිළිසකර කිරීමට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. ඒ මාරක රැය බියකරුවූයේ මීතයිල් අයිසොසයනේට් ටොන් 40ක් තිබූ ලෝහමය ටැංකියකට වතුර කාන්දූවීමක් මගිනි. ජලය සමඟ මුසූ වූ මීතයිල් අයිසොසයනේට් උෂ්නත්වය සෙන්ටිග්‍රෙඩ් 200 ඉක්මවා රත්විය. ඒ උෂ්ණත්වය විසින් මිශ්‍රණය වායුවක් බවට පෙරළන ලදුව අපරීක්ෂාකාරීව සකස් කර තිබූ වෑල්ව හරහා මහා ගෑස් කාන්දුවීමක් ඇති විය. නගරය සුදු වළාවලින් වැසී ගිය අතර නිදි ඇදෙහිම හුස්ම හිරවූ දහස් ගණන් මරණයට පත් වූහ. මෙම අපරාධය වැළැක්වීමට සමාගමට ගත හැකිව තිබූ පියවර එය නොගෙන තිබුණේ මුදල් ඉතිරි කර ගැනීමට ය. ලෝහමය ටැංකියට සම්බන්ධ වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක වුයේ නම් උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීමට තිබූ බවත් වියදම් අවම කර ගැනීම පිනිස එම පද්ධතිය අක්‍රීය කර තිබූ බවත් පසුව සොයා ගැනුණි. ඒ අත හැර දමා තිබූ එක් ආරක්ෂාකාරී පියවරක් පමණි.

ගෑස් කාන්දුව ආරම්භවීමෙන් පසු පවා අනතුරු හඟවන සයිරනය පාවිච්චි කිරීමට සමාගම දෙපැයකට වඩා බලා සිටියේය. නගරයට යුනියන් කාර්බයිඩ් මරුවා වැහුනේ මැදියම් රුයෙහි සිට ය. ජීවිතාරක්ෂාව පතා පලායන ජනයාගෙන් මංමාවත් පිරී ඉතිරුණි. සුළං හමන දිසාව බලා ගිය බොහෝ දෙනෙක් විෂ වායුවට හසුව මරණය වැළද ගත්තෝ ය. නගරය වික්ෂිතව සිටි උදෑසන හය වන විට පොලීසිය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තත්ත්වය සංසුන් බව යි. සමාගමේ ලොක්කෝ මෙම ව්‍යසනයට තමන්ගේ සම්බන්ධයක් නැතැයි ප්‍රකාශයක් නිකුත් කළහ. එසේ නමුත් වැඩි කාලයක් යා නොදී සමාගමේ අපරීක්ෂාකාරිත්වය ජීවිත 25,000 ටම වගකිවයුතු බව සනාථ කිරීමට සිවිල් සමාජ සංවිධාන සමත් වූහ.

ඉන්දියනු ආණ්ඩුව ඩොලර් මිලියන 3.3ක වන්දි මුදලක් යුනියන් කාර්බයිඩ් සමාගමෙන් ඉල්ලා සිටිය ද අවසානයේ ඉන් හයෙන් එකක් පමණක් වූ මිලියන 470ක් ලබා ගැනීමට එකඟ විය. එම මුදලින් කොටසක් විපතට පත් ජනයා අතර බෙදා දෙන ලද්දේ වසර ගණනාවකට පසු ය.

මෙම විෂ කාන්දුව බෝපාල් ජනයාට දීර්ඝකාලීන අනතුරක් බවට පත් වූයේ භූගත ජලය සහ පරිසරය විෂ සහිත බවට පත් කරමිනි. 1999 දී අන්තර් ජාතික පාරිසරික සංවිධානයක් වන ග්‍රීන් පීස් බොපාල්හි පස, ජලය සහ ලිං පරීක්ෂාවට ලක් කළේ ය. එහි ප්‍රතිපල බියකරු විය. පසෙහි සහ ජලයෙහි විෂ සහිත රසායන වර්ග 12ක් ඇති බවත් පරීක්ෂාවට ලක් කළ පෙදෙස්හි රසදිය අනුපාතය සාමාන්‍ය තත්ත්වයට වඩා හැට ලක්ෂ ගුණයකින් අධික බවත් එය වාර්තා කළේ ය. එවැනි තවත් පරීක්ෂණ වාර්තාවක් පෙන්නුම් කළේ බෝපාල්හි මව්කිරි පවා රසදිය සහිත බව යි.

ඉන්දියාවේ බෝපාල්හි සිදු වූ මෙම අපරාධය ලොව කාර්මික ව්‍යසනයන්ගෙන් අති විශාලතම එකය. එනමුත් ඊට ගොදුරු වූයේ දුගී ජනයා නිසාත් එය සිදුවුයේ තෙවැනි ලොු්කයේ නිසාත් එය ලද්දේ අඩු සැළකිල්ලකි. රුසියාවේ චොර්නබයිල් නෂ්ටික බලාගාරයේ කාන්දුවෙන් මිය ගියේ 56 දෙනෙකි. එහි අතුරු විපත් වැළැක්වීමට මහත් පරිශ්‍රමයක් දැරුණි. මහා ප්‍රචාරයන් ද ඇති විය. 1990 වන විට 25,000ක් බොපාල් ගෑස් කාන්දු වීමෙන් මිය ගොස් තිබූ අතර අතර ඉන් පසු මිය ගිය පිරිස ගණන් ගැනීම නිල වශයෙන් නතර කර දමා තිබේ. තවමත් එහි අතුරු විපත් ඊලඟ පරම්පරාවට උරුම වෙමින් තිබේ. නමුත් ඊට නිසි පිළියම් තවම නැත.

ඇමෙරිකිනු සමාගමක අපරීක්ෂාකාරිත්වය නිසා සිදුවූ මේ විපතින් මරණයට පත්වූවනට වන්දි වශයෙන් ඉන්දීය රුපියල් ලක්ෂය බැගින් ලැබුණේ ඉන් වසර 8කට පසු ය. පොලී නැතිව ය. ඇමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් සියල්ලන්ටම වසරක් ඇතුළත වන්දි ලැබුණි. අනෙත් අතට විපතින් විනාශ වූ බෝපාල් හි සිනමා ශාලාවකට සියයට 9 පොලී සමඟ ලක්ෂ 18ක වන්දියක් ලැබුණි. දුගී ජනයාට වූ මේ විපත ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ හෝ ආණ්ඩුවලට දැනුනේ නැත.

අහස සුදු දුමාරයෙන් වැසී ගිය ඒ රුයෙහි මම්තා සිය බාල සොයුරිය ඇකයෙහි හොව ගත් මව සමඟ ජීවිතය බේරා ගැනීමට දිව යමින් සිටිය දී මවගෙන් අත හැරුණා ය. පසුව මව ද බිළිදිය ද මියෑදී තිබී හමුවිය. හැදුනේ අනාථ දැරියක ලෙස හැදී වැඩුනු මම්තා ට එවැනිම ඉරණමකට හසුවූ තවත් ගැහැණියක් වූ රූත් වෝටර්මන් හමු වූයේ දෙදවොපගත ලෙස ය. රූත් ගේ මාපියෝ හිටිලර්ගේ ගෑස් වධකාගාරයක දී මරා දමා තිබුනි. අවසානයේ දී බොපාල් හි ඉදි කෙරුණූ එකම ස්මාරකය ඉදි කෙරුණේ විපතට පත් ජනයාම තුරින් ඇති වූ මමතා – වොටර්මන් සබඳතාවය හරහා ය. ඒ තාක් විසිපස් වසරක් යනතුරු මෙම කාර්මික තස්ත්‍රවාදය විසින් මරා දැමුණු 25,000 වෙනුවෙන් ස්මාරකයක් හෝ ඉදි කිරීමට කිසිදු ආණ්ඩුවක් කල්පනා කර තිබුණේ නැත. අද බොපාල් නගරය මැද බිළිදියක සඟවා රැක ගැනීමට තැත් කරන මවකගේ ස්මාරකය බොපාල් ඛේදවාචකයේ එකම අනුස්මරණය වශයෙන් නැගී සිටී.