Colombo, Featured Articles, Features

වසරකට පසු ජනමාධ්‍ය නිදහස


පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය…,

යුද්ධාවසානයෙන් වසරකට පසු ශ්‍රී ලංකාවෙහි උතුරු යුදබිමෙහි තත්ත්වය කෙසේ ද යන්න දේශීය වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් මහත් අවධානයට ලක්ව ඇති බව පසුගිය මාසය පෙන්නුම් කළේ ය. ජනාධිපතිවරයාගේ් ඉන්දියනු සංචාරයේ මූලික අරමුණ ද යුද්ධාවසානයෙන් පසු ශ්‍රී ලංකාව කොයිබට ද යන්න ය. පසුගිය සතියෙහි අන්තර් ජාතික දූත පිරිස් ගණනාවක් ම ශ්‍රී ලංකාවට පැමිණියෝ ය. යුද්ධාවසානයෙන් පසු විසදිය යුතු ගැටළු පිළිබඳව නව දිල්ලියේ සිට යුරෝපය දක්වා බොහෝ සාකච්ජා සභා ඇති විය. එනමුත් ශ්‍රී ලංකාව තුළ සෑම පාර්ශවයක් ම ආවරණය කැරෙන එවැනි සාකච්ජාවක් ඇති වූයේ නැත. එවැනි සාකච්ජාවක් සඳහා වේදිකාව වියයුතු ජනමාධ්‍ය ඒ සඳහා පියවර ගත්තේ නැත.

අන්තර් ජාතික වශයෙන් විවෘතවම ද සහ ශ්‍රී ලංකාව තුළ යම් තරමකට ඉංග්‍රිසි බසින් මෙම සාකච්ජාව සිදු විය. එහෙත් අධිපති ජනමාධ්‍ය තුළ නොවේ. අන්තර් ජාලය මත පදනම් වූ ජනමාධ්‍ය හරහා ය. උතුරු යුද බිමෙහි අද දක්නට ඇති සුවිශේෂ ලක්ෂණ මොනවා ද? යුද්ධයෙහි අවසාන සමයෙහි යුද වැදුණු දෙපාර්ශවයම විසින් සිවිල් ජනයාට එහෙි කරන ලද අපරාධ ඇත්ද? රුඳවුම් කඳවුරුගත කොට සිටින ජනයාගේ ප්‍රශ්ණ මෙනවාද? එහි ජනයාගේ ජීවිත අද ගෙවෙන්නේ කෙසේද? එම ජනයාගේ මූලික ඉල්ලීම් සහ අපේක්ෂා මොනවාද? සාමකාමී සහ ජීවනය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු පියවර මොනවා ද? යනාදී කරුණූ මෙම සාකච්ජාවන් හි ප්‍රධානත්වය ගත්තේ ය. කණගාටුවට කාරණය නම් අද ශ්‍රී ලංකාවේ ජනයාගෙන් මෙම සාකච්ජාව සමුලින්ම වාගේ වසන් කර තිබීම යි.

එක් උදාහරණයක් ගනිමු. ජීනීවා මානව හිමිකම් කොමිසම හමුයෙහි සිය වාර්තා ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ශ්‍රී ලංකාවෙහි දරුණූ මානව හිමිකම් කෙළසීම් ඇතිව තිබෙන බව කියා සිටියහ. රජය වෙනුවෙන් කතා කළ නීතිපතිවරයා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ය. එම ප්‍රතික්ෂේප කිරීමේ කතා සියල්ල ශ්‍රී ලංකාවේ ජනයාට සිංහල බසින්ම අසන්නට දකින්නට ලැබුණි.

වත්මන් නීතිපතිවරයාට පෙර ජීනීවා මානව හිමිකම් කොමිසම හමූවේ රජය නියෝජනය කළ හිටපු නීතිපතිවරයා දැන් ආණ්ඩුව විසින් යුද්ධයට මූලික වූ කරුණු සොයා බැලීමේ කොමිසමෙහි සභාපතිවරයා ලෙස පත් කර තිබේ. එකළ එම නීතිපතිවරයා ද මානව හිමිකම් කොමිසම හමූවේ කියා සිටියේ ශ්‍රී ලංකාණ්ඩුව කිසිදු මානව හිමිකම් කෙළෙසීමකට වගකිව යුතු නැති බව යි. මානව හිමිකම් චෝදනා හමුයෙහි රජය ආරක්ෂා කිරීම වෘත්තිම වශයෙන් කළ නිලධරයකු නායකත්වය දරණ කොමිසමක් මගින් යුද්දයේ දී මියගිය ජනයා පිළිබඳ සත්‍ය හෙළිදරව්වනු ඇතැයි විශ්වාස කළ හැකිද යන ප්‍රශ්නය ද ජීනීවා මානව හිමිකම් කොමිසම හමූයේ මතු විය.

යුද්ධාවසානයෙන් වසරකට පසු පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමෙහි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ චෝදනා මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාද ශ්‍රී ලංකාවේ ජනතාවට කියැවීමට හෝ අසන්නට ලැබුනේ නැත. එවැනි වාර්තා හෝ විවේචන හෝ ඇති බව දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට දැන ගන්නට ලැබෙන්නේ ඒවාට විරුද්ධව ආණ්ඩුව කරන ප්‍රකාශ මගින් පමණි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විසින් දැන් එවැනි වාර්තා පළ කරන්නේ නැත. හරියට බුරුමයේ හෝ ඉරානයේ ජනමාධ්‍ය මෙනි. එම රටවල ජනයා සිය රාජ්‍ය පාලකයින්ට එරෙහිව නැගෙන චෝදනා දැන ගන්නේ එම චෝදනවන් සමුලින්ම බොරු බව රජයේ ජනමාධ්‍ය කියා සිටින විට පමණි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැදගත්ම පුද්ගලයා පුරවැසියා ය. සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ පුරවැසියා දැනුවත් වූ විට ය. තොරතුරු දැන ගැනීමේ පුරවැසියාගේ අයිතිය අනුලංඝනීය අයිතියක් ලෙස මානව හිමිකම් ප්‍රඥාප්තිය විසින් පිළිගෙන ඇත්තේ හරියටම ඒ කරුණ නිසා ය. සිය රට, ආණ්ඩුව, විපක්ෂය, ආරක්ෂ හමුදා, සන්නද්ධ සංවිධාන යනාදී ඕනෑම කරුණක් පිළිබඳව නැගෙන හොඳ හෝ නරක පුවත් සහ විග්‍රහ දැන ගැනීමට මහා ජනයාට අයිතියක් තිබිය යුත්තේ ඒ පිළිබඳ දැනුවත් තීරණයක් ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම පිණිස ය. ඇත්ත වශයෙන් ම නම් රටක මාධ්‍ය නිදහසක් පවතින්නේ ද නැත්ද යන්න තීරණය වන්නේ ආණ්ඩුවේ ගුණ ගායනා කිරීමට ජනමාධ්‍ය දක්වන කැමැත්ත අනුව නොව ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට සහ නොබියව විවේචනය කිරීමට ජනමාධ්‍ය සූදානම්ද නැත් ද ඒ සඳහා අවකාශය තිබෙන්නේ ද නැත්ද යන්න උඩ ය. ආණ්ඩුවේ හෝ සන්නද්ධ ව්‍යාපාරයන්හි අකටයුතුකම් නිසා විපතට පත්වන ජනයාට වේදිකාවක් ලබා දීමට ජනමාධ්‍ය කොතරම් සූදානම් ද යන්න උඩ ය. මේ නිදසුන් දෙස බලමු.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියා සිටියේ මෙය යි: “පසුගිය මාසයේ දී ශ්ර්‍‍රී ලංකාවේ යුද ගැටුම අවසන් වී වසරක් පිරුනි. එම රටෙහි පැවැති යුද්ධයේ අවසන් අදියරෙහි දී පැන නැගුණු බරපතල කාරණා සම්බන්දයෙන් මෙම කවුන්සිලයේ පැවැති විශේෂ සැසිවාරයේ දී ශ්‍රී ලංකාණ්ඩුව විසින් දෙන ලද පොරාන්දු සමාලෝචනයක යෙදෙන ලෙස මම මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටිමි. එම සැසිවාරයෙන් අනතුරුව අභ්‍යන්තරව විතැන් වූ සරණාගතයින් යළි පදංචි කිරීමේලා ද හදිසි නීති රෙගුලාසි අර්ධ වශයෙන් ඉවත් කිරීමේලා ද යම් යම් ප්‍රගතියක් අත්කරගෙන තිබේ. විපතට පත්වූවන්ට යුක්තිය ඉටු කිරීමේලා සහ සහන සැපයීමේහිලා ද පොදු වශයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීමෙහිලා සහ සහජීවනය ඇති කිරීමෙහිලා දැන් ප්‍රායෝගික පියවරයන් ගත යුතුව තිබේ. මෑතදී මෙම සමහර ප්‍රශ්ණ ආමණ්ත්‍රනය කිරීම පිණිස ආණ්ඩුව අත්දැකීම් ග්‍රහණය කර ගැනීමේ සහ සහජීවනයේ කොමිසමක් පත් කර තිබේ. කෙසේ වෙතත් අතීත අත්දැකීම් සහ නව තොරතුරු මත එවැනි අරමුණූ වඩා හොදින් සාක්ෂාත් කර ගත හැක්කේ ශ්‍රී ලංකාව තුළ මෙන් අන්තර් ජාතික වශයෙන් ද මහජන විශ්වාසය දිනා ගනු ඇති ස්වාධීන අන්තර් ජාතික වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම මගින් බවට මම විශ්වාස කරමි”

අවනීතික ඝාතනයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිල්ප් ඇල්ස්ටන් මානව හිමිකම් කවුන්සිලය හමූයේ කියා සිටියේ මෙය යි: “යුද ගැටුමෙහි අවසාන මාසයන්හි දී තිස් දහසක් තරම් ජනතාවක් මරා දැමුනු බවට මෙන්ම මානව හිමිකම් මෙන්ම මානුෂීය නීතිය ද බරපතල ලෙස කෙළෙසන ලද බවට කැරෙන චෝදනා විසින් අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය කරයි. එවැනි පරීක්ෂණයක් අත්‍යවශය කැරෙන අලුත් බොහෝ තොරතුරු දැන් ලැබී තිබේ”

මාධ්‍ය නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ප්‍රූන්ක් ලා රූ මෙසේ වාර්තා කළේ ය: “ශ්‍රී ලංකාවේ කටයුතු කරන මානව හිමිකම් සංවිධාන, මානව හිමිකම් ආරක්ෂකයින් සහ ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරකම් නීති විරෝධී කරන කණස්සල්ලට හේතුවන ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් ඇති බව පෙනී යන්නේ ය”

තස්ත්‍රවාදයට එරෙහි වීමේ සන්දර්භය තුළ රහසිගත සිරගතකිරීම් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු වාර්තාව ශ්‍රී ලංකාව ගැන මෙසේ කීවා ය: “ශ්‍රී ලංකාව පිළිබඳ අවසාන නිරීක්ෂණයන් දී කමිටුව පැහැර ගැනීම් සහ රහසිගත සිරගත කිරීම් අරභයා පවතින වරදට දඩුවම් නොදීමේ සම්ප්‍රදාය පිළිබඳ කණගාටුව පළ කළා ය. පැහැර ගැනීම් සහ නීතිවිරෝධී රඳවා තැබීම් මෙන්ම වධහිංසා පැමිණවීම් පිළිබඳව පොලිස් සහ යුද හමුදා පිරිස් වලට එරෙහිව පවරන ලද නඩු අවසානයකට නොපැමිණි බව ද කමිටු වාර්තාව සදහන් කරයි.”

මානව හිමිකම් කවුන්සිලය හමුයෙහි ශ්‍රී ලංකාව සම්බන්දයෙන් යුරෝපා සංගමය මෙසේ කීවා ය.“ජාතික සංහිදියාවකට මඟ පෙන්වනු ඇත්තේ සියල්ල ආවරනය කරන්නා වූත් ඇත්ත වශයෙන්ම ස්වාධීන වූත් වගවීමේ ප්‍රශ්ණ විමසා බලන පරීක්ෂනයකින් පමණක් බව යුරෝපා සංගමය විශ්වාස කරයි. එහිලා ප්‍රථම පියවරක් වශයෙන් එකසත් ජාතීන්ගේ මහ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යුරෝපා සංගමය සහාය දෙයි.”

මා දන්නා තරමින් මේ කිසිදු වාර්තාවක් විකෘති කිරීම්වලින් තොරව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මගින් පළ කරනු ලැබ නැත. යුද්ධාවසානයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුහුණ දෙන තත්ත්වය පිළිබඳව තේරුම් ගැනීමට මේ කාරණය ප්‍රමාණවත් ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සහ අන්තර් ජාතික අර්බූද කණ්ඩායම යුද්ධාවසානයෙන් වසරක් පිරීම නිමිත්තෙන් දීර්ඝ වාර්තා ප්‍රසිද්ධ කළා ය. මෙම වාර්තා ශ්‍රී ලංකාණ්ඩුව විසින් දැනටමත් හෙළා දැක ඇතත් එම වාර්තාවන්හි අන්තර්ගතය කුමක්දැයි ජනයා දන්නේ නැත. එම වාර්තා පිලිබඳ ශ්‍රී ලංකාවේ ජනයාට තීරණය කිරීමට ඇති එකම ක්‍රමය ආණ්ඩුවේ විවේචන පමනි.

ආණ්ඩුවට පක්ෂපාතීව ආරම්භ කරන ලද නමුත් ජනාධිපතිවරණ සමයෙහි යම් යම් විරසකයන් ඇති කර ගන්නා ලද ජනමාධ්‍ය ජාලයක් පසුගිය මාසයෙහි වැසී ගිය අතර එහි ප්‍රධානීහු රට හැර ගොස් සිටිති. තවත් ඉංග්‍රීසි පුවත්පතක් වසා දමන බවට ආණ්ඩුවේ බලවතකු තර්ජනය කළේ ය. ලංකා නිව්ස් වෙබ් අඩවිය දිගින් දිගටම ශ්‍රී ලංකා රජය විසින් වාරණය කරයි. ලංකා ඊ නිව්ස් කාර්‍යාලයට ගොඩනැගිල්ලෙන් ඉවත්වන ලෙස බලපෑම් ඇති විය. සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථානයට පහර දුන් පිරිස් නිදහස් කරන ලද නමුත් එහි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියාව සිටි සුසිල් කිදෙල්පිටිය දෙමසක් බන්ධනාගාර ගත කර සිටියේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි. ඩේලිමිරර් ජනමාධ්‍යවේදී සදුන් ජයසේකරට මැයි 06 දා මහරගම දී පහර දෙන ලද ජනාධිපති ආරක්ෂකයින්ට හෝ ලංකා පුවත් පතේ ජනමාධ්‍යවේදීනට මැයි 30 දින මොනරාගලදී පහර දෙන ලද දේශපාලන හෙංජචයියන්ට හෝ එරෙහිව මේ තාක් කිසිදු පියවරක් ගෙන නැත.

යුද්ධයෙන් වසරකට දස දහස් ගනනින් ජනයා මියෑදුණූ වන්නියේ, නිදහසේ ගවේශනයක යෙදෙන්නට තවම කිසිදු ජනමාධ්‍යකට හෝ ජනමාධයවේදියකුට හෝ අවසර නැත. වසරකට පසු අප ඉන්නා තැන කෙටියෙන් එතැනය.