Colombo, Featured Articles, Features

හාඩ් ටෝක්

ආචාර්ය පී. සරවනමුත්තු..,

සරත් ෆොන්සේකා බොරුකාරයෙකු ලෙස හඳුන්වමින් සහ යුද අපරාධ පරීක්ෂණයක් පිළිබඳ ෆොන්සේකාගේ ආස්ථානය නිසා ඔහු එල්ලා මැරීමට තර්ජනය කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බීබීසී යේ “හාඩ් ටෝක්” වැඩසටහනේ ස්ටීවන් සාකූර් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ගැන බොහෝ පාඨකයන් කියවන්නට ඇත. නැත්නම් අඩුම ගණනේ එම සාකච්ඡාව නරඹන්නට ඇත.

වත්මන් දේශපාලන තත්ත්වය තුළ, රාජපක්ෂ මහතාගේ ගෝරනාඩුවේ උචිතානුචිත බවත් නිසා පාලන තන්ත්‍රයේ සහ ජාත්‍යන්තර වශයෙන් රටේ ප්‍රතිරූපයට ඉන් හානියක් සිදු විය හැකිය යන්නත් මත දේශීය මතය භේදභින්න වී තිබීම පුදුමයට කරුණක් නොවේ. එක් පසෙක, බොහෝ දුරටම අනුන්ට නොදැනෙන්නට රහසින්, කම්පනයට සහ වික්ෂිප්තභාවයට පත් වුණවුන් ය. අනෙක් පස, ස්තෝත්‍ර ගයන අටුවාකාරයන්ගේ වෘන්දය යි. ඔවුන් කියන හැටියට, වඩා වැදගත් වන්නේ කුමක් දැයි සාකූර්ට පෙන්වා දෙමින්, රාජපක්ෂ මහතාගේ අහංකාර වහසි බස් දෙඩුම, එදිරිවාදී අපරදිග ප්‍රචාරකයා කළේලියට ව්‍යර්ථ කළේ ය.

මෙහිලා මා උත්සුක වන්නේ, අප රට තුළ පවතින පාලනයේ තත්ත්වය, පශ්චාත් යුද සමය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ දෙසට තව වතාවක් සිදු වන්නට යන නැඹුරුව ගැන මෙම සම්මුඛ සාකච්ඡාවෙන් සහ ඊට දැක්වුණු ප්‍රතිචාරයෙන් අපට කියනු ලබන්නේ කුමක් ද යන්න විමසා බැලීමට යි.

අප විමසා බලන්නට යන දෙය අපි මුල දී ම පැහැදිලි කර ගනිමු – වර්තමානයෙහි සිර අඩස්සියෙහි රඳවා තබා ගනු ලැබ සිටින සහ හිටපු හමුදාපතිවරයෙකුට සහ පරාජිත ජනාධිපති අපේක්ෂකයෙකු සේම, මෙය වැදගත් කරුණක්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ද වන අයෙකුට එරෙහිව තර්ජනය කරමින් සහ චෝදනා නගමින් ආණ්ඩුවේ නිලධාරියෙකු දුන් සම්මුඛ සාකච්ඡාවකි. ආණ්ඩුවේ නිලධාරියා නම් ආරක්ෂක ලේකම්වරයා යි. ඔහු එල්ටීටීඊය ලද ඓතිහාසික මිලිටරි පරාජය සැලසුම් කළවුන්ගෙන් කෙනෙක් ද වේ. ඔහු හිටපු හමුදා නිලධාරියෙක් සහ ජනාධිපතිවරයාගේ සෙහොයුරා ද වේ (සැබවින් ම මෙය ද වැදගත් කරුණකි) . එපමණක් ද නොව මේ ආණ්ඩුවේ නිලධාරියාගේ, ඇමතිවරයා වන්නේ ද ජනාධිපතිවරයා යි. එනම් ඔහුගේ සොහොයුරා යි. (සැබවින් ම මෙය ද වැදගත් කරුණකි)

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ඉන්දියාව තුළ හෝ අපගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාලන විධි උපත ලද බ්‍රිතාන්‍යය තුළ හෝ එවැනි සිද්ධියක් සිදු විණි නම්, ආණ්ඩුවේ නිලධාරියාට ඉල්ලා අස් වීමට සිදු වනු ඇත. ඔහු ඉල්ලා අස් නොවුණේ නම්, ඔහු රැකියාවෙන් නෙරපෙනු ඇත. පසුව කී පියවර නොගැනුණේ නම්, බලයේ සිටි ආණ්ඩුව බරපතළ අන්තරායකට මුහුණ දෙනු ඇත. මහජන මතය සහ මාධ්‍යය එහි ලේ ඉල්ලා බෙරිහන් දෙනු ඇත. මේ සියල්ල සඳහාම තාර්කිකය ලෙස යොදා ගැනෙන්නේ, ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදය තුළ දී, ස්වකීය ප්‍රතිපත්තිමය මත පළ කිරීමක්, ජාත්‍යන්තර හෝ දේශීය මාධ්‍යයට ස්වකීය පෞද්ගලික මත ප්‍රකාශ කිරීමක් හෝ දැනට අධිකරණමය ක්‍රියාවලියකට විෂය වී තිබෙන කාරණයක දී ඊට දැඩි ලෙස බාධා කිරීමකට සමාන ප්‍රකාශ නිකුත් කිරීමක් ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් බලාපොරොත්තු නොවන්නේ ය යන්න යි.

රාජපක්ෂ මහතා පළ කර සිටියේ, හුදෙක් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය, එනම් ඔහුගේ සොහොයුරාගේ, ඔහුගේ ඇමතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියද? නැත් නම් (තවමත් එරෙහිව කිසිදු පියවරක් ගෙන නැති) මෙය එහෙයි ඇමත්තුමනි නොව, එහෙයි ලේකම්තුමනි වැනි කාරණාවක් ද ?

ෆොන්සේකා මහතා හැර පාර්ලිමේන්තුවේ අනෙක් මන්ත්‍රීවරුන්, එය නිසැකව ම වරප්‍රසාද පිළිබඳ ගැටලුවක් මතු කිරීමට උචිත ප්‍රකාශයක් ලෙස දැක නොතිබීම සැබවින් ම කනගාටුවට කරුණකි. අමාත්‍යාංශයක ලේකම්වරයෙකු ජාත්‍යන්තර රූපවාහිනියෙහි පෙනී සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බොරුකාරයෙකු සහ ද්‍රෝහියෙකු යැයි හැබෑවටම හඳුන්වා ඔහු එල්ලා මැරිය යුතු යැයි ප්‍රකාශ කර ඇත. රට තුළ පවතින පාලනයේ තත්ත්වය පිළිබඳව මින් අප වෙත සැපයෙන අන්තර්ඥානය ගැන අදහස් දැක්වීම් හෝ නිරීක්ෂණයන් කෙරී තිබෙන්නේ ඉතා සුලු වශයෙන් වීම ද ළතැවුලට කරුණකි. ගෝඨාභය රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව රුධිරය වන සාකච්ඡාව සහ විමතිකභාවය බිය ගන්වා වළක්වන්නන්ගෙන් කෙනෙක් ද? තමන් දරන තනතුරේ ගරුත්වය සහ හිමිකම අතිනින්දිත ලෙස උල්ලංඝනය කරමින් ද්වේෂ සහගතව කුහක ලෙස කතා කරන්නට ඔහුට අවසර ලැබෙන්නේ එක් තීරණාත්මක මිලිටරි ජයග්‍රහණයකින් සහ ඔහුගේ සොහොයුරා ලද සද්දන්ත මැතිවරණ වරම් දෙකකින් සහ ඔහුගේ පවුලේ ව්‍යාප්තියෙන් ද?

ළඟ දී ම සිදු වන්නට යන 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසිය ද එම සංශෝධනය යටතේ ලකලෑස්ති කෙරුණු ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිසම් කුණු බක්කියට දැමීම ද ජනාධිපතිත්වයට පත්විය හැකි වාර ගණන පිළිබඳ සීමාව ඉවත් කිරීම ද තුළ, රට තුළ පවතින බල ව්‍යුහය සහ ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගුණාංගීකරණය වන බල ව්‍යුහයෙන් සහ ආණ්ඩුවෙන් තව දුරටත් ඉවතට තල්ලු වනු ඇත. විධායක ජනාධිපතිත්වයට හරහා එය අහෝසි කිරීමට මහ හඬින් ඝෝ්ෂා කළ අය ඒ වෙනුවට එය ද රාජාණ්ඩුවක සහ රාජ වංශික පාලනයක අත්තනෝමතිකත්වය සහ හිතුවක්කාරකම ද රැකීම සඳහා ආරක්ෂක වළලු යොදන්නට පේ වෙමින් සිටිති.

ආරක්ෂක ලේකම්වරයාගේ අවලාද පිරුණු සම්මුඛ සාකච්ඡාවෙන් ද අප ජීවත් වන පශ්චාත් යුද තත්ත්වයත් අප ප්‍රාර්ථනා කළ යුතු පශ්චාත් ගැටුම් තත්ත්වයත් අතර ගෙවෙන වත්මන් අවිනිශ්චිත තත්ත්වය තුළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයට දෙන ප්‍රමුඛතාවන්ගෙන් ද පළමු පුත්‍රයා යැයි දැන් නිතර නිතර සඳහන් කෙරෙන 24 හැවිරිදි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්ෂ කිලිනොච්චියෙහි දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කළ බවට පවතින ආරංචියෙන් ද පාලන තන්ත්‍රයේ සහ එහි පාලනයේ ස්වභාවය පෙන්නුම් කෙරේ.

එල්ටීටීඊයේ පරාජය සම්බන්ධයෙන් පුරවැසියන් වෙතින් පළ වූ කෘතඥතාව සහ අගය කිරීම ප්‍රකාශයට පත් වූයේ රාජපක්ෂ පවුලට සද්දන්ත මැතිවරණ වරම් දෙකක් ලබා දීමෙන් වුව ද, ඒකාධිපතිවාදයේ අනතුරු සහ පාලනයේ දිරාපත් වීම සම්බන්ධයෙන් පුරවැසියා අන්ධ කරන හේතුවක් බවට එය පත් නොවිය යුතු ය. මෙම අනතුරුවලට සහ දිරාපත් වීමට එරෙහි විරෝධතාව සහ ප්‍රතිරෝධය නිහඬ කිරීමට භීතියට ඉඩ දී, පසු කලෙක, එසේ නොවේවා, බොහෝ පසු කලෙක, අපගේ පාප සහායකතාව සහ අප තුළ තිබූ නිශ්ක්‍රියතාව ගැන ළතැවෙන්නට ද අප ඉඩ නො තැබිය යුතු ය. ගැටලුව වන්නේ රාජ්‍යය කරන්නේ කවුරුන් ද පාලනය කරන්නේ කවුරුන් ද ඒ කොපමණ කලකට ද යන්න නොවේ. අවම පදනමක් ලෙස, හැම විටම, සංවරණ සහ තුලනාත්මක ලෙස, නීතියේ පාලනය, නිසි ක්‍රියායනය, යහපරිචයන් සහ සම්මතයන් පිළිපැදීම, අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රාජකාරි ඉටු කිරීම පැවතිය යුතු ය.

තමන්ගේ සොහොයුරු සොහොයුරියන් කවුරුන් ද යන්න නොතකා, ආණ්ඩුවේ නිලධාරීන් ආණ්ඩුවේ නිලධාරීන් විය යුතු ය. නැත් නම් ඔවුන් ඉවත් වී යා යුතු ය, ඔවුන් ඉවත්ව නොයන්නේ නම්, ඔවුන් නෙරපිය යුතු ය. නිසැකවම, ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක ක්‍රමය එය යි.
<