Image: Vikalpa/File

නකල්ස් සංරක්ෂණ වනය පිලිබඳ දැන් නැවතත් විවිධ කතා බහ කරලියට විත් තිබේ. මේ නිසාම නකල්ස් සංරක්ෂණ වනය ප්‍රකාශයට පත් වීම පිලිබඳ මෙතෙක් නොකියූ කතාවක් හෙලිදරවු කිරීම සුදුසු යැයි සිතීමි. මේ කතාව දක්වන්නේ මේ සියලු දේ පසුපස සිට සහ රට පිලිබඳව දුර සිතා කටයුතු කළ කිහිප දෙනෙකුගේ නොදුටු මෙහෙවර ඇගයීමට මෙන්ම, තවත් අයෙකුට මෙහි යම් වැදගත් කමක් ඇතැයි සිතන නිසාවෙනි.

නකල්ස් වනාන්තරය ආසන්නයේ අනවසර හෝටල් ගොඩනැගිල්ලක් ඉදි වීම ආරම්භ වන්නේ 1997 වසරේදී ය. මේ කටයුත්තට එරෙහි නීතිමය කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ලේඛන සොයා මා වෙහෙසුනි. එහිදී ඉතාම වටිනා ලේඛනයක් වන නකල්ස් රක්ෂිත වනය ප්‍රකාශයට පත්කළ නියෝගය පල වූ ගැසට් පත්‍රය සොයා ගැනීම මාගේ අරමුණක් විය.

මේ අනවසර ඉදි කිරීම පිලිබඳ හෙලිදරව්වක් කිරීමට කරුණු සොයමින් සිටි, එවකට ලක්බිම පුවත් පතේ පරිසර විශේෂාංග ලිපි ලියූ ක්‍රිෂ්ණා විජේබන්ඩාර මහතා ද මා ඇමතූ අතර, එම ලේඛනය ද සොයාගෙන අංග සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට අප දෙදෙනාම එකග වුනි. මා නකල්ස් පිලිබඳව අසා තිබූ මුල් කාලයේ පටන් මේ ප්‍රදේශය හඳුන්වා දී තිබුනේ නකල්ස් රක්ෂිත වනාන්තරය (Knuckles Reserved Forest / Knuckles Forest Reserve) ලෙසය. 1980 දශකය මුල් භාගයේ තිබූ වැඩමුලුවක දී පවා මේ ප්‍රදේශය හැඳින්වූයේ නකල්ස් රක්ෂිත වනාන්තරය ලෙසය.

නමුත්, මෙතරම් ප්‍රසිද්ධ නකල්ස් රක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කල නියෝගය 1907 වන ආඥා පනත යටතේ ප්‍රකාශිත නියෝග අතර නොතිබීම මට ප්‍රෙහෙළිකාවක් විය. නමුත්, දැනට ද පවතින ඇතැම් රක්ෂිත වනාන්තර 1885 පනවනු ලැබූ කැලෑ ආඥා පනත යටතේ ආරක්ෂාව ලබා තිබෙන නිසා මේ මුල් අවස්ථාවේ කලින් ආඥා පනත යටතේ නියෝග සියල්ලම සොයා බැලුවද මේ නියෝගය ඒවා අතරද නොවීය. 1992 හදිසි නීතිය යටතේ වනාන්තර ආරක්ෂා කිරීමේ නියෝගවල රක්ෂිත වනයන් සහ ඒවා ප්‍රකාශයට පත් කල නියෝග සහිත සියලු ගැසට් පත්‍රවල අංක සහ ප්‍රකාශිත දිනය ද සඳහන් වූ නිසා මේ නියෝගවල පිහිට පැතූ මා දුටුවේ නකල්ස් මේ ලේඛනයේ පවා නැති බවකි. 1990 National Conservation Review (NCR)ලේඛණයේ ඇමුණුමක් ලෙස ද සියලු රක්ෂිත වනාන්තර වල මෙන්ම ඒවා ප්‍රකාශයට පත්කල නියෝග පල වූ ගැසට් පත්‍රවල දින සහ අංක තිබෙන බැවින් එම ලේඛනය පිරික්සුව ද එහි ද එම තොරතුරු නොතිබිනි. මේ නිසා මට හැඟුනේ නකල්ස් රක්ෂිත වනයක් කියා නීතියෙන් ප්‍රකාශිත ප්‍රදේශයක් සත්‍ය ලෙසම නැත්ද යන්නයි.

වන ආඥා පනතේ නීතිමය ලේඛන සහ කරුණු සොයා ගැනීමට මා සාමාන්‍යයෙන් අමතන, එවකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල ආනන්ද විජේසූරිය මහතාගෙන් මේ ගැන විමසූ මට එම නියෝගය දින කිහිපයකින් ලබා දෙන බවට ඔහු පොරොන්දු වුව ද ඔහු ද අවසානයේ නිගමනය කලේ අපි සියල්ලන්ටම වැරදීමක් සිදුවී තිබෙන බව සහ එය ඉතා කඩිනමින් නිවැරදි කල යුත්තක් බවත්, එය එසේ නිවැරදි කරන තුරු මෙය අප දෙදෙනා අත රහසක්ව තිබිය යුතු බවත් ය.

නමුත් මේ පිලිබඳ මම ක්‍රිෂ්ණා බන්ඩාර මහතාට කියනවා ද නැද්ද යන්න ගැටලුවක් නොවීය. ඒ, ඔහු යමක් මාධ්‍යකින් හෙළිදරව් කර ලබන්නාවූ ප්‍රසිද්ධියට වඩා රට ගැන සිතා උපාය මාර්ගික නිහැඬියාවක් අනුගමනය කරන බවට මා කෙරේ වූ විශ්වාසයයි. මේ නිසා මා මේ රහස ඔහු සමග ද බෙදාගත් අතර එය අපි රැක ගත්තෙමු. එතැන් සිට ගෙවුනු තෙවසර තුල අප කිසිවෙකුත් අතින් මේ පිලිබඳ කිසිදු සඳහනක් නොවීය.

මේ අතරතුර විජේසූරිය මහතා නකල්ස් රක්ෂිත වනයක් නොව, 1995 අංක 23 සංශෝධිත පනතින් හඳුන්වා දුන් සංරක්ෂිත වනාන්තරයක් බවට නකල්ස් වරාන්තරය වඩාත් දැඩි ආරක්ෂිත තත්වයකින් රැක ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටි අතර 2000 වසරේ මාර්තු මාසයේදී අපට ඉතා නරක ආරංචියක් අසන්නට ලැබිනි. එනම්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පළාත් සභා වෙනුවට ඒවාට වඩා ඉතා පුලුල් බලතල සහිත කලාප සභා නම් නව ව්‍යුහයන් හඳුන්වා දීමට යන බවකි. (මේ ව්‍යවස්ථා සංශෝධනය 2000 අගෝස්තු මසු මුලදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිනි). මේ සංශෝධනය සම්මත වුව හොත්, ඒ වනවිට ආරක්ෂික ප්‍රදේශ ලෙස ප්‍රකාශ වී නැති සියලු රජයේ ඉඩම් පිලිබඳ බලතල මේ නව සභා වලට නතු වන බවත් කියැවිනි. එසේ වුවහොත් එය නකල්ස් වනාන්තරයේ විනාශය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ සමගින් යුහුසුලුව ක්‍රියාත්මක වූ වන සංරක්ෂක තුමා ඇතුලු දෑ හිතකාමී නිලධාරීන් පිරිසක්, ඒ වන විට රජයට අයත් බව නිසැකවම දන්නා රජයේ ඉඩම් සියල්ල ආවරණය වන සේ මායිම් සකසා ඒ අනුව සකස් කල නියෝගයක් අමාත්‍යතුමාගේ අත්සනින් ‘ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරක්ෂිත වනාන්තරය’ ලෙස නකල්ස් සංරක්ෂණ වනය ප්‍රකාශයට පත් කරමින් 2000.05.10 දින ප්‍රකාශික ගැසට් පත්‍රයේ පළ විය. මේ කඩිනම් දූරදර්ශී සහ දෑහිතකාමී තීරණය ක්‍රියාවට නැංවීමේලා විජේසූරිය මහතා මෙන්ම පසුව වන සංරක්ෂන ජනරාල් බවට පත් වූ කේ.පී. ආරියදාස මහතාද විශාල කාර්යභාරයක් ඉටු කල අයෙකි. එමෙන්ම, ඉතාමත් අගනා සහ ආඳෝලනාත්මක බවට නිසැක මාධ්‍යක හෙළිදරව්වක් නොකොට, එය අප සමගින් විශ්වාසයෙන් රැක ගත් ක්‍රිෂ්ළුා විජේබන්ඩාර මහතාවද කෘතඥතා පූර්වකව සිහි කරමි.

2000 දී නක්ල්ස් සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් අවට ඉඩම් පවරා නොගත්තේ මන් දැයි වර්තමානයේ ඇතමුන් නගන පැනයන් වලටද මේ අතීත ආවර්ජනාව මගින් පෙන්වාදුන් පරිදි හේතුපාදක වූ කාරණා ඇසුරින් පිළිතුරු ලැබෙන අතරම රට වෙනුවෙන් කැපවී කටයුතු කල සහ අනාවරනක් හෝ ලැබිය යුතු ප්‍රශංසාව නොලද ඉහත නම් සඳහන් සියල්ලන්ටම මෙය උපහාරයක් කරමි.

අවසන, මෙහි යමකු අඩුවක් දකින්නට පුලුවන. ඒ මේ සියල්ල තුළ මාගේ භූමිකාව කුමක්ද යන්නය. ඒ ගැන කිසිවක් සඳනන් නොකර සිටීමට මට ඔබ සියල්ලගෙන්ම අවසර පතමි.

නීතිඥ ජගත් ගුණවර්ධන | Jagath Gunawardana