iMage: IFFR

නදීකා, නිදර්ශනිකා, ඉෂාරා සහ මම කොළඹ රීගල් සිනමා ශාලාවේ දී දැවෙන විහගුන් නැරඹුවෙමු. ඉන්පසු ටවුන් හෝල් හි සුල්තානා හෝටලයේ දී සිදුවූ කතාවේ සාරාංශය සමඟ, මගේ කියවීම ද ඇතුලත්ව මෙම ලිපිය ලියමි. දැවෙන විහඟුන් පවුලේ සැවොම නැරඹිය යුතු සිනමා පටයකි. විශ්වයේ සිටින සෑම ගැහැනියක් තුළම ‘කුසුමා’ වක් සිටි. දරුවන් සමඟ මාධ්‍යධරණි මුහුද හෝ ඉන්දීය සාගරය තරණය කර, ජීවිතය ආරක්ෂා කිරීමට, වෙනත් භූමියකට, අනවසරයෙන් සංක්‍රමණය වූ ගැහැණු, මානුෂිය මෙහෙයුම් හේතුවෙන් ෂෙල් වෙඩි දිගට හරහට වදින විට, දරුවා, තම සාරිපොටෙන් ආවරණය කරගත් ගැහැණු, අනුරාධපුරේ, බෝගස් යටට වී, නන්නාදුනන පිරිමින්ට දෙපය පළල් කර, දරුවන්ගේ කුස ගිනි නිවන ගැහැණු යන සියලුම ස්ත්‍රීන්, කුසුමා චරිතය නියෝජනය කරයි. මා මිත්‍ර නිදර්ශනිකා පැවසුවේ කුසුමා කියන්නේ “මගේ අම්මාගේ ම නියෝජනයක්. මගේ අම්මාත් මොන තරම් දුක් විදිනවාද මමයි මල්ලියි වෙනුවෙන්”. ඒ කුසුමා, සියලුම පවුලේ සාමාජිකයන් විසන් හඳුනාගත යුතුය. ඒ උදෙසා ඔබ, දැවෙන විහගුන් නරඹන්න.

සිනමා පටයේ දේශපාලනය ගැන මගේ මතය මෙසේ දිග හරිමි. ඒ ජේ. වී. පී. කැරැල්ල අවසන් අවදියයි. පිඩක රාජ්‍යට භාර නොවූ, කැරලිකරුවන් සෝයා, රජයේ මුරබල්ලන් ගම් වැදී තිබුණි. කළු වස්ත්‍ර හැද, කිසිදු නීතිමය අනන්‍යතාවක් නොමැති මෙම, මුර බල්ලන්, කැරලිකාරීව සිටි මුත්, මේ මොහොතේ, අවි අත නොදරන, ජනයාව, අත්තනෝමතිකව අත්අඩංගුවට ගන්නා ලදී. එසේ තම ආදරණීයයන් ගේ ඇස්පනා පිට, එක් පුද්ගලයකුගේ තොරතුරකට අත්අඩංගුවට ගත්, ජනයා, නඩු නොඅසා, මරාදමා, වනය මැද දී වලකට දමා ගිනි තබයි. මෙහි වන සංඥාපනය නම්, පසුගිය යුධකාලය සහ එයින් පසුව ද රාජ්‍ය අධිකාරි ආයතන රැගෙන ගිය, සිවිල් ජනයා, මරා දමා ඇතිබව නොවේද? රැගෙන ගිය පුද්ගලයා වෙනුවෙන්, මතක බණ කියා, පිං අනුමෝදන් කිරීමේන්, සංජිවගේ සිනමා භාවිතයෙන් වඩාත් තහවුරු කරනුයේ, අතුරුදහන් කළ පුද්ගයලන් මරා දමා ඇති බව නොවේද? රාජ්‍යයට එසේ පුද්ගලයන් අතුරුදහන් කර, මරා දැමීමට අයිතියක් සැපයුනේ කෙසේද? කුමන පදනමකින් ද?

දැන් දින 500 කට ආසන්න කාලයක්, උතුරේ මවුවරු සහ පියවරු, අතුරුදහන් කරන ලද තමන්ගේ දරුවන් සොයාදෙන මෙන් ඉල්ලා, සාමකාමී ව්‍යාපාරයක නිරත ව සිටී. දකුණේ ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යක්, මෙම සාමකාමී අරගලය වෙනුවෙන් ඉඩක් වෙන්නොකිරිම ලැජ්ජාවකට කරුණකි. වවුනියාවේ නඩුන්කෙනි හි විනිතා අම්මාගේ ලොකු දුව, වෙල්ලමුල්ලිවයික්කාල් හිදී, ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගන්නේ කිසිදු පදනමකින් තොරවය. ඇයගේ අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කරණ විනිතාට හමුදාව විසින් පහර දෙන ලදී. ඇය අදටත්, අගේ දරුවා සොයා වවුනියාව තැපැල් කන්තෝරුව ඉදිරියේ වන, මඩුවේ විරෝධතාවයේ ඉඳගෙන සිටි.

ඡායාරූප අංක 1
අරුණි: කොහොමද විනිතා අම්මේ

විනිතා අම්මා : මගේ දරුවා කෝ?(වල්ලි අම්ම විසින්, විනිතා අම්මාගේ ප්‍රකාශන දෙමළෙන් සිංහලට පරිවර්තනය කරණ ලදී)

අරුණි: තොරතුරක් ලැබුනද ?

විනිතා අම්මා : නැහැ. ජනාධිපති තුමා කීවා දරුවා හොයලා දෙනවා කියලා. එත් තාම කිසිම තොරතුරක් නැහැ. මට මගේ දරුවාව ඕනේ.

වල්ලි අම්මා : මගේ උපන්ගම නුවර දෙල්තොට. 1970 දෙමළ අපිව එලෙව්වා. ‘තොපි උතුරට පලයන් කියලා’. අපි උතුරට අවා. උතුරේ දී, මගේ පුතා (ජායාරූප අංක 01) වැවේ මාළු අල්ලන විට, හමුදාවෙන් අරන්ගියා. තාම ආවේ නැහැ. දෙල්තොටෙන් අපිව දෙමලූ කියලා එලෙව්වා. මෙහදී අපි, කොටි කියලා අතුරුදහන් කරනවා. මොන, කරුමයක් ද අපි කරලා තියෙන්නේ. මට දැන් අවුරුදු 80ක්. මගේ ජිවිතේටම, සැනසිල්ලක් නැහැ.(ඇය බුලත් මඩිස්සලේ අතට ගත්තාය)

දකුණේ දී දෙමළු කියා උතුරට එලවු ඔවුන්ව, උතුරේදී ‘කොටි’ කියා, අතුරුදහන් කිරීම, සාධාරණය කළ හැකිද?

සංජීවගේ සිනමා පටයේ දිග ඇරෙන දේශපාලනයේ එක් අවස්ථාවක් වන්නේ මෙයයි. කාටද බලය තිබෙන්නේ, මිනිසෙකු අතුරුදහන් කිරීමට. ගැහැණියක ගේ හෝ පිරිමියකුගේ ජීවත්වීමේ අයිතිය, අතුරුදහන් නොවී සිටීමේ අයිතිය, සිංහල- බෞද්ධ රාජ්‍ය විසින් ශ්‍රී ලංකාව තුල තීරණය කර තිබේ. එසේම, මෙම රාජ්‍ය වර්තමානයේ ප්‍රකාශ කරණ ‘ප්‍රජාතන්ත්‍රවාදය හරහා’, මෙම අතුරුදහන් කිරීම් පිලිබඳ තොරතුරු ජනසතු කිරීමේ බලය සම්පුර්ණයෙන් ම, තමා සතු කරගෙන තිබේ. ඒ අනුව, තොරතුරු දැනගැනීමේ පණත සහ අතුරුදහන් කරන ලද පුද්ගලයන් වෙනුවෙන් වන කාර්යාලය ස්ථානගත කිරීමෙන්, මෙම පුද්ගල අතුරු දහන් කිරීම් සම්බන්ද තොරතුරු සහ එම අතුරුදහන් කිරීම් වෙනුවෙන් ලැබිය යුතු යුක්තිය පවා විකෘති කර තිබේ. එසේ කර, කුසුම් හා සමව, අතුරුදහන් කළ පුද්ගලයන්ගේ ආදරණියයන් පිඩාවට පත්කර තිබේ.

විනිතා අම්මාට, මගේ අම්මාට මෙන් සාමාන්‍ය ජිවිතයක් නොමැත. ඇය, තම අතුරුදහන් කළ වැඩිමහල් දියණිය සොයා දෙන ලෙස බල කරමින් වන විරෝධතා මඩුවේ රාත්‍රීන් ගත කරයි.

අරුණි : අම්මා රැට නිදාගන්නේ කොහෙද?

විනිතා අම්මා : මේ මඩුවේ (අතක් දිගු කර, මඩුවේ කෙලවර වන දුවිලි ගැසුණු පැදුරු පෙන්වයි)

අරුණි : එතකොට හැමදාම උදේට වැසිකිලි- කැසිකිලි යන්නේ කොහොමද ?

විනිතා අම්මා : ළඟ ගෙවල් වලට යනවා

අරුණි: ගෙදර වැඩ කටයුතු බලාගන්නේ කවුද? අනික් දරුවෝ කොහොමද?

විනිතා අම්මා: සමහර දවස් වලට ගෙදර ගිහින් අනික් දරුවෝ බලා එනවා.

අරුණි: අම්මාට මෙනවද කියන්න තියෙන්නේ?

ඡායාරූප අංක 2

විනිතා අම්මා : මට හීනයක් තිබුණා. ඒ මගේ ලොකු දුවට හොදට උගන්වලා, දොස්තර කෙනෙක් කරන්න. එයා නටනවා ලස්සනයි. අපි අමාරුවෙන් හරි ජිවිතේ අල්ලාගෙන හිටියා. ෂෙල් කොහෙන් වැදුනත්, අපි, අපේ දරුවෝ ගැන හින ගොඩක් මැව්වා. එත්, එක දවසක, ඒ හින ඔක්කොම ගිනි තිබ්බා!!!. මගේ දුව මට ඕනේ.. ඒ මගේ දුව. දරුවෙක් දරණ එක ලේසි නැහැ. මේ කාෂ්ටක පොළවත් සමඟ ඔට්ටු වේවි මම දරුවා ගැබේ දරාගෙන හිටියේ. කන්න නැහැ. වතුර ටිකක් නැහැ. කොයි මොහොතේ, ජිවිතේ නැතිවේවිද දන්නේ නැහැ. ඒහෙම දුක් විදලා මේ ලෝකෙට ගෙනාපු දරුවා, හමුදාවෙන් අරන් ගියා, මම කෑගහලා අඩනවිට. ඊට පස්සේ දරුවා අතුරුදහන් කරලා. මොනවාද මම කරන්න ඕනේ, මගේ දරුවාව මගේ ළඟට ගන්න. මේ බලන්න. මේ කොලේ. මේ 2015 ජනාධිපතිවරණය වෙලාවේ ගහපු කොලයක්. මේ ඉන්නේ මගේ දරුවා. මේ දැන් ඉන්න ‘අපේ’ ජනාධිපති. මගේ දරුවා එතුමා එක්ක ඉන්නේ, මේ පින්තුරේ. මේ දරුවා කොහෙද ඉන්නේ? මගේ පෙකණිය කපලා දරුවා අරගෙන, දුක් විදලා හැදුවේ, කාටවත් අතුරුදහන් කරන්න නෙමේ. (ඡායාරූප අංක 2)

විනිතා අම්මා කියූ ලෙසම දරුවෝ හදන්නේ අතුරුදහන් කරන්න නෙමේ. දරුවෝ අතුරුදහන් කරණ, දේශපාලනයක් අපිට අවශ්‍ය නොවේ. එය වෙනස් කළ යුතුමය. සංක්‍රාන්ති යුක්තිය යනු, දෙමළා සමඟ එක්වී, පහන් පත්තුකර, සැමරීම් කිරීම පමණක් නොවන බව තරයේ වටහා ගත යුතුය. සංක්‍රාන්ති යුක්තියකින් අපේක්ෂා කරනුයේ, සිදු කළ අපරාධයන්, යුක්ති මුලික ක්‍රමවේදයක් තුලින් ප්‍රශ්න කර, අගතියට පත්වූ පාර්ශවයන්ගේ අභිරුචිය මත, යුක්තිය ඉටු කරදීමය. නෙමැතිව, යුක්තිය යනු, අගතිය සිදු කළ පාර්ශවයන් විසින්, මෙලොව හෝ පරලොව පිං තකා, වින්දියන්ට අනුකම්පා කර සපයා දෙන තීරණයක් නොවේ. ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහට අමතක වූ කරුණ මෙය වේ. එනම්, යුක්තිය යනු දකුණට කැමති දෙයක් උතුරට සැපයීම නොව, උතුරට වූ අගතිය පිළිගෙන, එයට විරුද්ධව කටයුතු කිරීමය. විරුද්ධව කටයුතු කිරීම ගැන සඳහන් කරනවිට නැවත මට සංජීවගේ සිනමා පටය වෙත යා යුතු අවශ්‍යතාවක් ඇතිවේ.

සිනමා පටයට අනුව, කුසුමා, හිරෙන් නිදහස් ව නිවසට පැමිණේ. එම ගමනේ දී, ඇය, තම ආදරණියයා අතුරුදහන් කිරීමට හිස වැනු විදුහල්පති ගෝනි බිල්ලාව කෑලිවලට ජේදනය කර මාරා දමයි. මම මෙම කාරණය පිළි නොගනිමි. සංජිව සාර්ථක ලෙස ප්‍රචණ්ඩත්වය අපේ දෛනික ජීවිතය පුරා පවතින ආකාරයා සිනමා පටය වෙත ගෙනා නමුත්, ප්‍රචණ්ඩත්වය එදිරිව ප්‍රචණ්ඩත්වය භාවිතාව අනුමත කළ නොහැකිය. එසේ නම්, එය අනුමත කිරීම යනුම, විමුක්ති කොටි සංවිධානයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිගනිම හා සම වේ. එසේනම් විජයකලා මන්ත්‍රීතුමියගේ ප්‍රකාශයන් ගැන දකුණේ සිංහල- බෞද්ධා ජන මාධ්‍ය කළ බල විය යුතු නොවේ. (https://www.youtube.com/watch?v=oWtHD9P041w).

සංජිවගේ රුප භාවිතයෙන්, කියූ අනෙක් වැදගත් කතාව නම්, අධ්‍යාපන ආයතනයන්ගේ ප්‍රධානින් ඉතිහාසය පුරාම සහ අදවන තුරුම කරමින් සිටින්නේ ඔලුව වනා, ජිවිත අනතුරේ දැමීම පමණක් බවය.

සිනමා පටයේ කුසුමාව යකඩ ගැහැණියක් ලෙස පෙන්වනවා. ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් අවම වශයෙන් රැකියා කරන ‘ගවමස්’ මඩුවක, කුසුමා ශ්‍රමිකයකු ලෙස වැඩකිරීම මේ සඳහා උදාහරණයක්. කුසුමා මට මතක් කරේ ධර්මපුරම් හි, ‘පරමේශ්වරී’. පරමේශ්වරී, හමුදාවේ ෂෙල් වෙඩි වලින් බේරී, වවුනියාවේ මුහම්ත් (කඳවුරට) වලට ආවේ, මිනිහා අහිමි වූ, ගැහැනියක් සහ දෙදරු මවක් ලෙස. පරමේශ්වරී, මුහම්ත් එකේදී, පොඩි සිල්ලර බඩු වෙළදාමක් කරා. ඒ, තමන්ගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් හොඳ කෑම එක වේලක් හොයාගන්න. අපහු පදිංචියට එන විට, ගෙදර උළුවහු නැහැ. යුද්ධයකින් විනාශ කළ, පරිසරයක් සහ ගෙදරක් සහිතව ඇය නැවත ගොඩනැගෙන්නේ, කුළුබඩු වෙළදාම් කරලා. අද ඇය දරුවෝ දෙන්නාම විශ්ව විද්‍යාලයේ යවා, උගන්වනවා. කුසුමා ලෙසම පරමේශ්වරීත්, දරුවන්ගේ කුසගිනි නිවනවා. සංජිව ගෙනෙන, මෙම දේශපාලනය වැදගත්. එත්, නැවත, ස්ත්‍රිය ස්වාධින කළ, එම දේශපාලනය පෙරළා දමා, ඇය, යැපෙන්නෙකු කරන පුරුෂ මුලික දේශපාලනය, සිනමා පටයට ගෙන එම පිළිගත නොහැකිය. කුසුමා ගණිකාවක් කිරීම සහ ඒ හේතුවෙන්, පුතාගේ ගෞරවය කෙළසී යැයි පවසමින්, කිරි අම්මා සිය දිවි නසාගැනීම හරහා, නැවත නිෂ්පාදනය වන්නේ, ස්ත්‍රිය යනු, පවිත්‍ර ශුද්ධ වස්තුවක්, දේපළක් බවත්, එම වස්තුව පාලනයට යටත් බවත්ය. ස්ත්‍රීන් යනු වස්තුවක් නොව, මනුෂ්‍යයෙකි. ඇය ගණිකා වෘත්තීයේ නිරතවීම, සමාජයට සිය දිවි නසා ගැනීමට හේතුවක් නොවේ.

අවසාන වශයෙන් කිව හැක්කේ, දැවෙන විහඟුන් නරඹන්න. ඒ සමඟම, හෘදසාක්ෂිය අවධිකර ගන්න. අප සියලු දෙනාම දැවෙන විහඟුන් වෙන බව අමතක නොකරන්න

අරුණි සමරකෝන් | Aruni Samarakoon