නොනිමි මරණ මැද ජීවිතයට පාර සොයන මධ්‍යම ආසියාවේ වට රවුම – ඇෆ්ගනිස්ථානය
– සුනන්ද දේශප්‍රිය
අල්ජසීරා රූපවාහිනිය පසුගිය සතියේ ප්‍රචාරය කළ උණුසුම් පුවතකින් ඇෆ්ගනිස්ථානයේ සටන් වැද සිටින ඇමෙරිකාව ප්‍රමුඛ යුද්ධ සන්ධානය රත් විය. මන්ද යත් පුවතින් කියවුණේ ඇමෙරිකාව විසින් ඩොලර් මිලියන 05ක ත්‍යාගයක් හිස වෙනුවෙන් තබා ඇති ත්‍රස්තවාදී හමුදාවක නායකයකු වන සිරද්දුජීන් හකානි සමඟ ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සාම සාකච්ජාවන්ට එළඹ සිටින බව යි. මෙම පුවතට අනුව හකානි ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කාසායි මුණ ගැසුණේ පකිස්ථාන යුද හමුදා ප්‍රධානියා සහ ඔත්තු සේවා ප්‍රධානියා ද කැටුව ය.
හින්දු කුෂ් කඳුවැටිය හරහා මධ්‍යම ආසියාව කරා වැටී ඇති මංමාවත් නිසා මධ්‍යම ඇසියාවේ රට රවුම යැයි නම් ලත් ඇෆ්ගනිස්ථානය දැන් දශක ගණනාවක්ම පුරා යුද්ධ වට රවුමෙන් පිටතට යා නොහැකිව එක තැනම කර කැවෙමින් සිටී.
බුද්ධගයාවට වෙළදාමේ පැමිණ සිටි තපස්සු සහ බල්ලුක යන වෙළදුන් දෙදෙනා බුද්ධත්වයෙන් පසු ගෞතම සිද්ධාර්තගේ ප්‍රථම ගිහි දායකයන් බවට පත්ව එරටට බුදු දහම රැගෙන ගිය බව බෞද්ධ සාහිත්‍යයේ කියැවෙන ඇෆ්ගනිස්තානය පෞරාණික ඉතිහාසයකට උරුමකම් කියයි. එනමුත් අද ඇෆ්ගනිස්තානය යනු යුද්ධයෙන් බෙදී ගිය සහ විනාශ වූ දේශයකි.
2001 සැප්තැම්බර් 11 දා ඇමෙරිකාවේ ලෝක වෙළද මධස්ථානයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාර ගත් අල්කයිඩා සංවිධානයේ අණදෙන්නා වූ බින් ලාඩන් සැගවී සිටියේ එවකට ඇෆ්ගනිස්ථානය පාලනය කළ තලේබාන්වරු සමඟ ය. බින් ලාඩන් ඇමෙරිකාවට බාර දීම තලේබාන්වරු ප්‍රතික්ෂේප කළහ. ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල් ඇෆගනිස්ථානයේ පාලනය පෙරළා දැමීම පිණිස ප්‍රහාරයක් එල්ල කළේ, ඒ කාරණය දඩමීමා කරගෙන 2001 ඔක්තෝබර් 07 දා ය. 2010 පූනි මාසය එම යුද්ධයට මාස 104ක් සම්පූර්ණ කරමින් ඇමෙරිකාවේ දීර්ඝතම යුද්ධය වශයෙන් ඉතිහාසයට එක් විය. ( වියට්නාම් යුද්ධය සාම 103ක දී ඇමෙරිකාවට පරාජය අත්කර දී කෙළවර විය.)
දැන් 2011 ජූලි මාසයේ සිට ඇමෙරිකානු සහ මිත්‍ර හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ තලේබාන් සංවිධානය සමඟ පවත්නා නොනවතින යුද්ධය ඇෆ්ගනිස්තානයේ ආණ්ඩුවට බාර දෙමිනි. හමීඩ් කාසායි සිය රජය සමඟ මාරාන්තික යුද්ධයක යෙදී සිටින ප්‍රධාන කැරලිකාර සංවාධාන තුනෙන් එකක් වන හකානි ජාලය සමඟ සාකච්ජා ආරම්භ කර ඇත්තේ ඒ අනුව ය. අනෙක් කැරලිකාර කණ්ඩායම් දෙක නම් තලේබාන් සහ ක්වේඩා ය. හකානි ජාලයේ විශේෂත්වයක් නම් එය පකිස්ථානය තුළ පදනම් වී තිබීම සහ පකිස්ථාන රහස් ඔත්තු සේවා සමඟ එය ලඟින් ක්‍රියා කිරීම යි.
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ගැටුම් සහ සාම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනාධිපති සහොදරයකු වන හෙක්මාට් කාසායි කියන්නේ යථාර්තවාදී රාජ්‍ය පාලකයකු වශයෙන් කලාපීය බලවේග විශේෂයෙන්ම පකිස්ථානය සමඟ කටයුතු කිරීම අවශ්‍ය බව යි. පකිස්ථානයේ හිටපු ජෙනරල්වරයකු සහ යුද විශ්ලේෂකයකු වන ටලට් මසූඩ් කියන්නේ ඇෆ්ගනිස්ථානයේ සාමය සඳහා පකිස්තානය සහ හකානි සන්නද්ධ ජාලය සමඟ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව යි. “මෙම සන්නද්ධ සංවිධාන බලය බෙදා ගැනීමේ සාකච්ජාවන්ට කැමැති නම් ඇමෙරිකානු සහ නේටෝ හමුදාවන්ට ක්‍රමානුකූළව සිය බැහැර විය හැකි යි” ඔහු තව දුරටත් අල් ජසීරා රූපවාහිනියට කිවේ ය.
බටහිර හමුදා ඉවත්ව යෑමෙන් ඇතිවන විවිරය පිරවීමට ඇප්ගනිස්ථානය දැන සිටම පකිස්ථානය ලඟකර ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යැයි විචාරකයෝ සැක පළ කරති. එනමුත් ඇෆ්ගනිස්ථානය පකිස්තානයේ අණසකට නතුවීම විශේෂයෙන්ම ඉන්දියාව විසින් නොඉවසනු ඇතැයි ද එම විචාරකයෝම බිය පළ කරති.
අද ඇෆ්ගනිස්ථානය ලෙයින් නහවන අන්තවාදී සන්නද්ධ කණ්ඩායම් සියල්ලම මේසා ශක්තිමත් වූයේ ඇෆ්ගනිස්තානයේ භූ දේශපාලනික වැදගත්කම මත අසල්වැසි ප්‍රබල රාජ්‍යයන්ගේ ඇගිළි ගැසීම් සහ ඇමෙරිකානු පාලනයේ අදූරදර්ශී පිළිවෙත් නිසා ය. හකානි සන්නද්ධ ජාලය හැරුණ විට අනෙක් කණ්ඩායම් දෙකින් එකක් වන ක්වේඩා ශූරා සංවිධානය ප්‍රබලත්වය අතින් ඉහළින් සිටී. එහි නායකත්වය දරන්නේ තලේබාන් ආණ්ඩුවේ අගමැතිව සිටි මුල්ලා මෙහොමඩ් ඕමාර් ය. ඔහු නායකත්වය දෙන ක්වේඩා ශූරා ජාලය ඇෆ්ගනිස්තානය පුරාම බදු එකතු කරමින්, නඩු විභාග කරමින් ජායා ආණ්ඩුවක් පවත්වා ගෙන යන්නේ යැයි කියනු ලැබේ. දුර බැහැර ගම්බද පෙදෙස් හි එය සිය පාලනය ප්‍රසිද්ධයේම පවත්වා ගෙන යති. එයට ක්වේඩා යන නම ලැබී ඇත්තේම එය ආරම්භ කළ පකිස්ථාන නගරය ක්වේඩා වූ නිසා ය. එහි නායක මුල්ලා මෙහොමොඩ් ඕමාර් ඉතාම රහසිගත ජීවිතයක් ගත කරයි. නිශ්චිතව ඔහුගේ බවට සහතික කළ ජායාරූපයක් හෝ නැත. 2001 ඔක්තෝබරයේ දී ඇමෙරිකානු හමුදා කන්දහාර්හි ඔමාර් ජීවත් වූ නිවෙසට එල්ල කළ ප්‍රහාරකින් ඔහුගේ පවුලේ අය මිය ගිය අතර තුවාල ලද දස හැවිරිදි පුත්‍රයාද රැගෙන ඔහු පලා ගිය බව කියනු ලැබේ.
හෙක්මාතර් විසින් නායකත්වය දෙනු ලබන තලේබාන් යැයි හඳුන්වා ගන්නා අනෙක් කණ්ඩායම සමඟ ද කාසායි ආණ්ඩුව සාම සාකච්ජා ආරම්භ කරන ලද නමුත් පසුගිය මාසයේ දී එහි උප නායක මුල්ලා අබ්දෙල් ගානි අත් අඩංගුවට ගැනීමෙන් පසු එම සාකච්ජා බිඳ වැටුනි. ශිෂ්‍යයින් යන තේරුම ඇති තලේබාන් යනුවෙන් අද හැදින්වන්නේ ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමික පක්ෂය වශයෙන් තමන් නම්කර ගත් කණ්ඩායම යි. එය මෑත දී දෙකඩ වී ඉන් එක් පාර්ශවයක් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිස දැන් නිරායුද දේශපාලන පිළිවෙතක් අනුගමනය කරයි.
මේ සියළු කණ්ඩායම් කවා පොවා ඇති දැඩි කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයෙහි රුසියානු බලපැම දුර්වල කරනු පිණිස සන්නද්ධ කණ්ඩායම් ගොඩනැගීම සිය මූලෝපාය බවට පත් කරගත් ඇමෙරිකාව සහ පකිස්ථානය විසිනි. තලේබාන් ආණ්ඩුව පිළිගත් ලොව එකම රට වූයේ ද පකිස්ථානය යි. අද පවා ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු ප්‍රමුඛ මිත්‍ර හමුදා සමඟ සටන් වැද සිටින සන්නද්ධ පිරිස් සිය මූලස්ථාන පවත්වා ගෙන යන්නේ දේශසීමා බද පකිස්ථාන ප්‍රාන්තයන්හි ය. නිදසුනක් ලෙස හකානි සන්නද්ධ ජාලය සම්පූර්ණයෙන්ම වාගේ ක්‍රියාත්මක වන්නේ පකිස්ථානයේ සිට එහි යුද හමුදා සමඟ සහයෝගයෙනි. පකිස්තානය ඉන්දියාවට එරෙහිව යොදා ගත හැකි සන්නද්ධ ජාලයක් ලෙස හකානි කණ්ඩායම පවතවාගෙන යන්නේ යැයි කියනු ලැබේ.
ඇෆ්ගනිස්ථානයේ රාජාණ්ඩුව පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිහිටුවන ලද්දේ හතලිස් වසරකට පෙර 1973 දී ය. 1971- 1972 වර්ශයන්හි ඇප්ගනිස්තානය දරුණූ නියඟයකට මුහුණ දුන් අතර දූෂිත රාජාණ්ඩුව මහා ජනයාට සහන සැපයීමෙහි ලා අසමත් විය. එවකට අගමැති වූ මෙහොමඩ් සදාර් දාවුද් ඛාන් 1973 ජූලි මාසයේ දී නිරායුද කුමන්ත්‍රණයක් මගින් රාජ්‍ය බලය අල්ලා ගත්තේ ය. රාජාණ්ඩුව අහෝසි කළ දාවුද් තමාම ජනාධිපති සහ අගමැති ලෙස පත් කර ගත්තේ ය. රදළවාදී සමාජ ක්‍රමය අහෝසි කරනු පිනිස සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට දාවුද් ගත් ප්‍රයත්න වැඩවසම්වාදී බලවේග හමුයේ අසාර්ථක විය. මාක්ස්වාදී මතවාදයක් මත පිහිටමින් ස්ත්‍රී අයිතීන් නීත්‍යනූකූල කිරීමට ඔහු ගත් ප්‍රයත්න ගම්බද දී මාරාන්තික විරෝධය පෑමවලට ලක් විය. ඔහු විසින් පිහිටුවන ලද ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ය අභ්‍යන්තර බෙදීම් විසින් දුර්වල කරනු ලදුව අවසානයේ දී නැගී එන මූලධර්මවාදී විරුද්ධවාදීන්ට මුහුණ දීමේලා අසමත් විය. මෙකී සන්නද්ධ කණ්ඩායම් දුරබැහැර පළාත්හි දී ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරන විරෝධී ආගමිකවාදී ගරිල්ලා යුද්ධයක් ආරම්භ කර තිබුණි.
ඇෆ්ගනිස්තානය දීර්ඝ කාලයක් මුළුල්ලේ සෝවියට්දේශය සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ රටක් වූ බැවින් එහි හමුදා සහ දේශපාලන පක්ෂ අතර සෝවියට් දේශයට පක්ෂපාත බවක් තිබුණි. ඇෆ්ගනිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද රුසියානු පක්ෂපාතී එකක් විය. 1978 දී ලක්ෂ ගනනාවක් වූ ඇක්‍රමණික සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානය කරා පැමිණියේ ඒ අනුවය. 1989 දී ස්ව කැමැත්තේන්ම ආපසු යන තුරු සෝවියට් හමුදා අද ඇමෙරිකානු හමුදා මෙන්ම ඇෆ්ගනිස්තානයේ මූලධර්මවාදී ගරිල්ලා හමුදා සමඟ අවසානයක් නැති යුද්ධයක යෙදී සිටියේ ය. අරුමයකට මෙන් එකළ එම මූලධර්මවාදී සන්නද්ධ සංවිධාන පුහුණු කරමින් ආයුධ සහ මිල මුදල් සපයමින් ඇමෙරිකාව සහ පකිස්ථානය යි. ඇත්ත වශයෙන්ම නම් පසුකළෙක නිවියෝක්හි ලෝක වෙළද මධ්‍යස්ථානයට ප්‍රහාරය දියත් කළ මූලධර්මවාදී ත්‍රස්තවාදයට ආධාර අනුබල දී ශක්තිමත් කරනු ලැබූවේ ඇමෙරිකානු සහ පකිස්ථාන රහස් ඔත්තු සේවා මගිනි.
1990 ගණන් මුල දී ඇති වූ සෝවියට් දේශයේ කඩා වැටීම විසින් ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හිතවාදී පාලකයින් තනි වූ අතර රට අරාජික තත්ත්වයකට පත් විය. 1996 දී මූලධර්මවාදී තලේබාන්වරු රටෙහිම බලය තහවුරු කර ගත්තේ සියළු ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ආපසු හරවමින් පසුගාමී සහ මානව විරෝධී පාලනයකට පාර කැපුවේ ය. 2001 දී ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා එක්ව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කොට තලේබාන් පාලනය පෙරලා දැමූ තැන් පටන් අද දක්වා ඇත්තේ කාසායි යටතේ ඇති යුද්ධමය තත්ත්වයකි. කාසායි ඇමෙරිකාව විසින් තෝරා ගන්නා ලද නායකයා විය. ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිහිටුවීම අරමුණු කර ගත් පසුගිය කාලයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණ යම් තරමක සාර්ථකත්වයක් ලද නමුත් කාසායි පාලනය දූෂිත සහ භීෂිත බවට දැන් චෝදනා නැගෙමින් තිබේ. එමෙන්ම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරනු වෙනුවට කාසායි පාලනය දැන් වැඩවසම්වාදී බලවේග සමඟ සන්ධානයකට එලඹෙමින් තිබේ. උදාහරණයක් වශයෙන් වත්මන් ඇෆ්ගනිස්ථානයේ ස්ත්‍රීන්ට 1978 – 1989 අතර කාලයේ තිබූ අයිතීන් බෙහොමයක් නැත.
ජනාධිපති හමීඩ් කාසායි පකිස්තානයේ සහාය ඇතිව සිය විරුද්ධවාදීන් සමඟ සාම සාකච්ජා ආරම්භ කළේ මෙම තත්ත්වයට තුල ය. සාමය පිහිටුවීම සඳහා යුද්ධයෙන් දරන ලද උත්සාහයන සහමුලින්ම පළ දරා නැත. රට අරාජික ය. 2010 ජනවාරියේ දී ඇෆ්ගනිස්ථානයේ සාමය පිහිටුවීම සඳහා පවත්වන ලද රටවල් 70ක් සහභාගි වූ සමුලුවක් අමතා තමා ඉක්මණින්ම කැරලිකාර හමුදා සමඟ සාකච්ජා පවත්වන බව කාසායි කියා සිටියේ ය. රට පුරා ගතානුගතික ග්‍රෝත්‍ර ප්‍රධානීන් 1,500ක් කාබුල් නුවරට කැඳවා ඔහු දැවැන්ත සාම සම්මන්ත්‍රණයකට මුල පිරූ අතර තවම එම ක්‍රියාවලිය කෙරීගෙන යයි. මේ අතර වාරයේ විදේශ හමුදා ඉවත් කිරීමේ යෝජනාව යටතේ කැරලිකාර හමුදා සමඟ ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සාම කතා ආරම්භ කළේ ය. ඒ අතරවාරයේම පසුගිය පෙබරවාරියේ දී සෙබලුන් 15,000 සහභාගි වූ තලේබාන් විරෝධී දැවැන්ත යුද මෙහෙයුමක් ද දියත් කරන ලදී.
මධ්‍යම ආසියාවේ වට රවුම එනම් ඇෆ්ගනිස්ථානය යුද්ධ වට රවුමෙන් පිටතට යන මඟක් තවම පෙනෙන්නට නැත. එසේ නමුත් එවැනි පිටවීමක් දැන් එරටට අත්‍යවශය ය. මූලධර්මවාදී බලවේග විසින් යළි එරට පාලනය කරනු ලැබීම ඇමෙරිකාව හෝ රුසියාව හෝ චීනය හෝ විසින් පිළි ගැනීමට ඇති ඉඩ ඉතා අල්පය. (ශ්‍රී ලංකාව විසින් නම් පිළිගැනීමට ඉඩ තිබේ). අවසන් නොවූවත් වුවත් යුද්ධයෙන් පසු ඉබේ සාමය ඇති නොවේ. ඒ සඳහා සියළු මානවාවදී සහ ප්‍රජාතනත්‍රවාදී බලවේග එකඟ කර ගත හැකි වැඩ සටහනක් අවශ්‍ය ය.
ඇෆ්ගනිස්තානය මුහුණ දී සිටින අභියෝගය නම් යුද්ධයෙන් පසු කුමක්ද යනු ය. යුද්ධය පවතිද්දීම එම ප්‍රශ්ණයට විසදුමක් සෙයා නොගන්නේ නම් යුද්ධයෙන් පසු ඉඩ ඇත්තේ විසදුමක් ඇති නොවීමට ය. එහි තේරුම නම් ගැටුම යළි තීව්ර වීම යි.