iMAGE:Tarshi

ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් ට කතා කිරීමේ හැකියාව තිබුනද ඔවුන්ගේ කතාවේ ස්වරුපය සහ සන්නිවේදන ක්‍රියාවලිය මේ මොහොතේ දී තීරණය කරමින් පවතින්නේ පුරුෂ මුලික සමාජ සහ ජනමාධ්‍ය විසිනි. මාර්ග අනතුරකදී, ස්ත්‍රීන් යට ඇඳුම නොඇදීම ප්‍රශ්න කිරීම, ස්ත්‍රීට එදිරි දුෂණයක් සන්නිවේදනය කිරීමේ දී, අපරාධය වෙනුවට, ස්ත්‍රී ශරීර වර්ණනාව ප්‍රමුඛ වූ, පුරුෂ ෆැන්ටසියේ එන ස්ත්‍රීය පිළිබද කතාව, ජනමාධ්‍ය නිරන්තරයෙන්ම ප්‍රචාරණය කරයි. මෙම ප්‍රචාරණයේ අවසාන ඉලක්කය නම්, ස්ත්‍රීන් ලිංගික භාණ්ඩ ලෙසේ සැලකීමත්, ඇය, පුරුෂ මුලික මතවාදයේ පාලනයට යටත් කිරීමත් සහ අවසානයේ ස්ත්‍රීය මෙන්ම පුරුෂයා ද ලිංගික වහලුන් බවට පත් කිරීමය.

“ගැහැණු” යනු කවුරුන්ද? ගැහැණු වීම හේතුවෙන්, මෙම මිනිස් ප්‍රාණීන්ට ගැටළු තිබේද? ගැහැණුන් නගන තම ගැටළු වේ හඬට, අවකාශයක් වේද? ඉතාම සරලව, ස්ත්‍රීය නිර්වචනය කරන්නේ නම්, ඇය, මනුෂ්‍යයකි. මනුෂයෙක් වීම හේතුවෙන් ම, ඇයට, අයිතිවාසිකම්, නිදහස සහ සමානව සැලකීම හිමි අතර එය අහිමි කිරීමට කිසිම රාජ්‍ය හෝ සිවිල් බලයකට නොහැක. නමුත් ශ්‍රී ලංකා පුරුෂ මුලික ප්‍රධාන ධාරා දේශපාලනය තවම වටහා නොගත් කරුණ නම්, ස්ත්‍රීන් යනු මනුෂ්‍යයන් බවය.

පසුගිය දිනක මා, නදීකා බණ්ඩාරගේ, “තෙත් භුමි” වේදිකා රචනය, නාමේල්- මානෙල් පුංචි තියටර් හිදී නැරඹුවෙමි. ඇයගේ, දෙතන නිරාවරණය කර, පුරුෂ මුලික පිඩාවට විරෝධය දැක්වීම, රඟහල් පාලක මණ්ඩලය විසින්, අවලංගු කර තිබුණි. ස්ත්‍රීන් ගේ, දෙපා, දෙතණ, හෝ වෙනත් ශරිර ආවරණය හෝ නිරාවරණය කිරීම ඇයගේ තෝරාගැනීම්ක් මිස, සමාජය බලයේ තීරණයක් නොවිය යුතුය. නදීකා ගේ තෙත් භුමි නාට්‍ය පුරාම නැගෙන්නේ, පුරුෂ මුලික බල අධිකාරිත්වය විසින් ස්ත්‍රීය බලහත්කරණයෙන් යටත් කරගැනීමය. ස්ත්‍රීන් සැබෑ ලෙසම, මෙම පුරුෂ මුලික බලය පිළිගනී ද? පුරුෂ මුලික බලය පිළිගැනීම ගොඩ නැගෙන්නේ, සමාජ රූපක, ස්ත්‍රීන් වෙත පවරා දෙමිනි. උදාහරණ නම්, ගෙදර බුදුන් අම්මා නම් චරිතය, ස්ත්‍රීය වෙත පවරා ඇත. ස්ත්‍රීය ගෙදර බුදු වන්නේ, ආරථික, සමාජ සහ දේශපාලන පීඩාවන්ගෙන් හෙම්බත්වය. ඇයට, ඇදට වැටී නිදා ගැනීමට වත් නිදහසක් නොවේ. ඇයගේ ශ්‍රමය, කිසිදු ගෙවීමකින් තොරව, භාවිතා කිරීමට, සමාජය යොදාගන්නේ, ‘ගෙදර බුදුන්’ වැනි රූපකය. මෙම රූපක හි, වින්දිතයන් වන ස්ත්‍රීන්, තමාගේ නිදහස, අයිතීන් සහ මනුෂ්‍යයකු ලෙස හිමි සියලුම දෑ, පුරුෂ මුලික බලය වෙත පවරා දී, ස්ව කැමැත්තෙන්ම, සමාජයට බියෙන්, ආකෘතිගත කළ භූමිකා තුලට එලඹේ. මෙම ප්‍රවාහය, සමාජ සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය මගින් තවදුරටත් ඉදිරියට ගෙනයනු ලබයි.  එසේම මෙම රූපක හරහා ස්ත්‍රීය තම හඬ ගොඩනගයි. එවිට, ස්ත්‍රීය ගේ සැබෑ හඬ විකෘති වී, මාධ්‍ය අවකාශය සන්නිවේදනය කරනු ලබයි. එවිට බිහිවන්නේ, තම ශරීරයට සහ මනසට ද අයිතියක් නොමැති ගැහැණුන්ය.

1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 අංශය යටතේ, මවගේ ජීවිතයට අවදානමක් නොවන අවස්ථාවකදී හැර, ගබ්සාවක් සිදු කිරීම නීති විරෝධී වන අතර, මේ යටතේ දඩයට හෝ වසර තුනක සිර දඩුවමකට යටත් කළ හැකිය.  කෙසේ නමුත්, 2016 , සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව, ගබ්සා 658 ක් , දිනකට මෙරට සිදුව ඇති අතර, වාර්ෂිකව එය 240, 170 ක් වේ . නීතිවිරෝධීවද ස්ත්‍රීන් ප්‍රකාශ කරනුයේ, දරුවන් වැදීමට මෙන්ම හැදීමට ට පවතින, කුමන හෝ නොහැකියාවට විරෝධය නොවේද? මෙම විරෝධය වටහා ගැනීමට නොහැකි වූ, ජනතාවගෙන් යැපෙන ආගමික ශාන්තුවරයන් සහ දේශපාලකයන්, ගබ්සාව නීතිගත කිරීමට විරෝධය දක්වයි. තවදුරටත් එම විරෝධය, ජනමාධ්‍ය මගින් සමාජය වෙත සන්නිවේදනය කර, සමාජ කතිකාවත ද පාලනය කරයි.අවසානයේ දී සිදුවන්නේ, දරුවන් වැදීම හෝ ලැබීමේ වේදනාව නොදන්නා පිරිමි විසින්, ගැහැණු සහ ඔවුන්ගේ තෝරාගැනීම් පිලිබඳ තීරණය කිරීමය. මෙකී ගැටලුව වෙනුවෙන් වන  කාන්තා ක්‍රියාකාරිනියන්ගේ හඬ, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ප්‍රසිද්ධ නොකිරීම ගැටලුවකි.

අනෙක් උදාහරණයක් නම්, ක්ෂුද්‍රමුල්‍ය ණය විසින්, ස්ත්‍රීන්, ණය උගුලක සිර කිරීමය. බිම්මටටමේ ක්‍රියාත්මක ක්ෂුද්‍රමුල්‍ය ආයතන විසින්, කාණ්ඩයම් යටතේ ණය ලබාදෙන අතර ,එහි ප්‍රධාන ගණුදෙනුකාරිය නම්, ස්ත්‍රීන්ය. පවතින ආරථික බිඳ වැටීම් හේතුවෙන් ඔවුන් එම ණය, ආයෝජන වෙනුවෙන් නොව, එදාවෙල, බත් පිඟාන සකසා ගැනුමට යොදාගනී. මෙහි ණය වාරික සහ පොලිය ගෙවීම වෙනුවෙන් නැවත නැවතත්, පවතින ආණ්ඩුව සේම ඔවුන් ණය වන ආකාරය දැකිය හැක.  ස්වයංරැකියා වෙනුවෙන් ණය ලබා ගත් ස්ත්‍රීන්ට, එම කාරයා නිරන්තරයෙන් පවත්වාගැනීමට පුරුෂ මුලික මෙම රාජ්‍යයේ කිසිදු මැදිහත්වීමක් නොමැත. මේ හේතුවෙන්, ස්ත්‍රීන් තවදුරටත් යැපෙන්නන්ගේ යැපෙන්නන් හෝ ආරථික වින්දිතයන් බවට පත්ව ඇත. මේ කතාවවෙත ජනමාධ්‍ය අවධානය යොමු නොකිරීම ගැටළු සහගතය.

ජනමාධ්‍ය විසින්, ස්ත්‍රීන්ගේ ගැටළුව සන්නිවේදනය කිරීමේදී එය තවත් අංශ සමඟ ඒකරාශී කරගනු ලබන ආකාරයක් දැකිය හැකිය. එනම්, පංතිය, කුළය, වාර්ගිකත්වය සහ ආගම යනාදිය වේ. හොඳම උදාහරණය නම්, උතුරේ කාන්තාවන් (පිරිමි ද ඇතුළුව) මේ මොහොතේ, බලහත්කාරයෙන් අතුරුදහන් කරණ ලද තම දරුවන් පිලිබඳ තොරතුරු ඉල්ලා, මහමඟ විරෝධයක සිටි. දකුණේ ජනමාධ්‍ය, ගැටළුව නියම ලෙස වාර්තාකිරීම වෙනුවට, ගැටළුවට සම්බන්ද පාර්ශවයන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි. “මට මේ තාලිය දැම්මේ මගේ මහත්තයා. ඒයාව, 2009 මන්නාරමේ දී, හමුදාවෙන් අත්අඩංගුවට ගත්තා. එතැන් සිට ආගිය අතක් නැහැ” (මුලතුව් හි කාන්තාවක්). ඇයගේ, යටිපතුලේ රතුපාට වූ වීශාල තුවාලයකි. එම තුවාලය ද අද්දමින් ඇය, කඩේක වැඩට යන්නේ, දරුවන් දෙදෙනාගේ කුසගිනි නිවිමටය. උතුරේ ගැහැණුට සාපෙක්ෂවම දකුණේ ද ගැහැණු අරගලයක සිටි. නමුත්,එම අරගලයේ ස්වරූපය නිසි ලෙස සන්නිවේදනය දී තිබේද?

(මෙම ලිපිය, බිලරි ලෝචන (Cat’s Eye) නම් කණ්ඩායමේ, ස්ත්‍රීවාදිනියක විසින් රචනා කර ඇත).