Colombo, Featured Articles, Features

KP සහ SF

KP සහ SF

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය

කේ.පී. යන කෙටි නාමයෙන් හැඳින්වෙන කුමරන් පත්මනාදන්, ප්‍රභාකරන්ගේ මරණයෙන් 2009 ජූනි මාසයේ දී පසු එල්ටීටීඊ සංවිධානයේ නායකයා වශයෙන් වැඩ බාර ගත්තේ ය. තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප්‍රභාකරන් විසින් එම තනතුර ලිඛිතව ම කේ.පී. වෙත පවරා තිබූ බව යි.

එල්ටීටීඊ සංවිධානයේ අවි සැපයුම් අංශයේ ප්‍රධානියා බවට සීග්‍රයෙන් ඉහළ නැගි කේ.පී. ශ්‍රී ලංකාවෙන් බැහැර ගොස් සංවිධානයේ අන්තර් ජාතික කටයුතු බාර ගත්තේ 1983 දී යැයි කියනු ලැබේ. එතැන් පටන් ඔහු එල්ටීටීඊයේ අවිවාදිත සහ ප්‍රධාන පෙළේ රහසිගත නායකයකු විය. තායිලන්තය සිය වාස භූමිය කරගත් ඔහු ලොව පුරා අවි ජාවාරම්කරුවන්ගෙන් අවි ආයුධ මිලදී ගෙන තමා යටතේ වූ නැව් සමාගම් මගින් එල්ටීටීඊයට අඛණ්ඩ අවි සැපයුමක් සහතික කළේ ය. කේ.පී. සහ එල්ටීටීඊය යනු දෙකක් නොව එකක් ම විය. හතරවන ඊළාම් යුද්ධයේ දී ආණ්ඩුවේ හමුදා සමග එක්ව සිටි විනායගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් මෙන් නොව කේ.පී. යුද්ධයේ අවසානය දක්වාම එල්ටීටීඊ නායකයකු මෙන් කටයුතු කළේ ය. පසුගිය ජූනි මාසයේ දී නොර්වීජියානු සාම මැදිහත්කරු වූ එරික් සෝල්හයිම් කියා සිටියේ එල්ටීටීඊ දේශපාලන අංශයේ නායකයින්ට බාර වීමට අවශ්‍ය බව 2009 මැයි 17 දා තමන්ට දැනුම් දුන් එක් පුද්ගලයකු නම් කුමරන් පත්මනාදන් බව යි.

එවන් ඉතිහාසයක් ඇති කේ.පී. අද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන සගයෙකි. ඔහු අත් අඩංගුවට පත් වූ හෝ ගන්නා ලද හෝ අවස්ථාවේ දී රාජ්‍ය ජනමාධ්‍ය මෙරට ජනයාට කීයේ එල්ටීටීඊයේ භයානකම නායකයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එය තවත් ප්‍රධාන පෙළේ යුද්ධ ජයග්‍රහණයක් බවත් ය. භයානක ත්‍රස්තවාදියකු ලෙස හඳුන්වන ලද එල්ටීටීඊ නායකයකු ආණ්ඩුවේ දේශපාලන සගයකු බවට පත්වීමත් සමඟ ඔහුගේ තස්ත්‍රවාදී ලේබලය නැතිව ගියේ ය. දැන් කේ.පී. විදේශ ඇමැති ජී.එල්. පීරිස්, ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ යුදහමුදා රහස් ඔත්තු ප්‍රධානි කපිල හෙන්දාවිතාරණ සමඟ එකට දේශපාලන රුස්වීම් වලට සහභාගි වූයේ රජයේ පාර්ශවය නියෝජනය කරමින් බව කොළඹ පැවැති එම රුස්වීම්වලට එක්වූ එංගලන්තයේ ජීවත්වන වෛද්‍යවරයකු වන වේලුපිල්ලෙයි අරුදකුමාර් ජනමාධ්‍යට කියා සිටියේ ය. අනතුරුව වාර්තා වූයේ කේ.පී. ආණ්ඩුව වෙනුවෙන් දෙමළ සරණාගත පිරිස් හමුවීමට පවා ගොස් ඇති බව යි. කේ.පී. සිය දේශපාලන පාර්ශවකරුවකු ලෙස සළකා ගැනීමට හේතු කුමක්දැයි ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයකු මේ තාක් කරුණු දක්වා නැත.

එල්ටීටීඊ සාමාජිකයන්ට මෙන් එහි නායකයින්ට ද සිය දේශපාලන ස්ථාවර වෙනස් කිරීමට අයිතියක් තිබේ. එමෙන්ම අත්අඩංගුවේ සිටින එල්ටීටීඊ නායකයින් සහ සාමාජිකයින් සම්බන්දයෙන් මෙන්ම 1971 දී සහ 1990 දී ද අත්අඩංගුව ගත් සිංහල කැරලිකරුවන්ට මෙන්ම සහනදායී පිළිවෙතක් අනුගමනය කිරීම ද සාධාරණ ය. (එම අවස්ථා දෙකෙහිදී ම අත් අඩංගුවට ගැනීමෙන් පසු විශාල පිරිසක් මෙම අවස්ථාවෙහි දී ද මරා දමන ලද බවට වාර්තා තිබේ.) එසේ නමුත් සිය පිළිවෙත රජයට පක්ෂපාතී එකක් බවට පත්කරන එවැනි නායකයින්ට පමණක් සැප සම්පත් ලබා දීමත්, නීතිමය ක්‍රියා මාර්ගයන්ගෙන් නිදහස් කිරීමත් සාධාරණ යුක්ති ධර්මය නොව අයුතු දේශපාලන වරප්‍රසාද ලබා දීමකි. දැන් සිදු වන්නේ එයයි.

දෙමළ ජාතිකවාදී ජනමාධ්‍ය පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව ජනවාර්ගික සහජීවනය ඇති කරනු වෙනුවට කේ.පී. වැනි එල්ටීටීඊ නායකයින් යොදා ගනිමින් කරනු ලබන්නේ කැරලි මර්දන පිළිවෙතම දිගටම ගෙන යෑමක් බව යි. ඉන් අදහස් කැරෙන්නේ එල්ටීටීඊ සමාජික සාමාජිකාවන් කෙරෙහි පොදු දේශපාලන පිළිවෙතක් අනුගමනය කරනු වෙනුවට තෝරාගත් එල්ටීටීඊ පිරිස් යොදවා ගනිමින් දෙමළ ජාතික අයිතිවාසිකම් යටපත් කිරීම පිණිස උපායන් යොදමින් සිටින බව ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ආණ්ඩුවේ දේශපාලන උපාය මාර්ගයන්ට සහාය දීමට කැමැති එල්ටීටීඊ නායකයින්ට නිදහස සහ ආධාර අනුබල ලැබෙන බව ය.

ආණ්ඩුවට අවශ්‍ය වූයේ නම් කේ.පී.ට එරෙහිව නඩුවක් පැවැරීමටත් විසිවසරක් තරම් කාලකට සිරගත කිරීමටත් ඉඩ තිබුණි. එනමුත් දැන් ආණ්ඩුව කේ.පී. සළකන්නේ සිය දේශපාලන හිතවතකු ලෙස ය. ඔහුට සැප සම්පත් සහ නිදහස ලැබී ඇත්තේ ඒ අනුව ය. මෙහි අනෙක් පැත්ත ද ඒ තරමටම ඇත්ත ය. එනම් ආණ්ඩුවේ විරුද්ධවාදීන් ලෙස සළකන පිරිස් වලට ලැබෙන්නේ කේ.පී.ට ලැබෙන සැළකිල්ලේ අනෙක් පැත්ත බව ය. ඒ අතින් බැලූ විට කේ.පී.ගේ ඌණ පූරණය ජෙනරල් සරත් ෆොන්සේකා ය.

ලෝකයේ හොඳම හමුදාපති ලෙස ජනාධිපතිවරයා විසින් හඳුන්වන ලද ජෙනරල් සරත් ෆොන්සේකාට එරෙහිව දැන් එකක් හැර එකක් බැගින් චෝදනා සහ නඩු පවරමින් තිබෙන්නේ දූෂන විරෝධී ව්‍යාපාරයක කොටසක් ලෙස නොවේ. එසේත් නැත්නම් යුද හමුදාව දේශපාලනයෙන් ඉවත් කිරීමේ වැඩ සටහනක එක් පියවරක් වශයෙන් හෝ නොවේ. යුද හමුදාව දේශපාලනීය කරණය කිරීම තවම ඉදිරියට යන අතර වංචා සහ දූෂණ කොමිෂන් සභාව ආගිය අතක් නැත.

ජෙනරල් ෆොන්සේකාට එරෙහිව නගා ඇති චෝදනා පිටුපස ඇත්තේ දේශපාලනය මිස නීතියේ පාලනය නොවේ. ස්වකීය දේශපාලන විරුද්ධවාදීන් කායික වශයෙන් ඝාතනය කිරීමට පෙර දේශපාලන වශයෙන් ඝාතනය කිරීම පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ මර්දනයේ ලක්ෂනයක්ව තිබේ. පකිස්තානයේ ජනාධිපති අලි බූතෝ සිරගත කොට ඝාතනය කරන ලද්දේ දූෂණ චෝදනා මත සිරගත කොට ඔහු දේශපාලන වශයෙන් ඝාතනය කිරීමෙන් පසු ය. මේ මූලෝපාය මෑත කාලයෙහි ඉතා පැහැදිලිව සටහන් කරන ලද එක් ලේඛකයකු වුයේ, ජෙනරල් ෆොන්සේකා බලයට පත් කිරීම පිණිස මාධ්‍යකරණයේ යෙදීම ද හේතු කොට ගෙන පැහැර ගෙන යන ලදුව අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ය. ඔහුගේ එම පූරෝකථනය අද ජෙනරල් ෆොන්සේකා සම්බන්දයෙන් යථාර්තයක් බවට පත්ව තිබේ. පැහැර ගැනීමට ලක් වූ ප්‍රගීත් ද අවසානයේ දී දේශපාලන වශයෙන් ඝාතනය කිරීම ද රාජ්‍ය ක්ෂමාලාපකයින්ගේ කාර්‍යයක් බවට පත් විය.

දස වසරකට පෙර ශ්‍රී ලංකාව හැර ගොස් එංගලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති පුවත් වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන විධායක නිළධාරී වන්දිම විතානාච්චිට එරෙහිව ජාත්‍යන්තර පොලීසියට කරන ලද පැමිණිල්ල ද එවැනි දේශපාලන ක්‍රියාවකි. ලංකානිවිස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් දරන අතර පෙනෙන්නට ඇති පරිදි මෙම නඩුව පවරා ඇත්තේ ඊට පළි ගැනීමක් වශයෙනි.

පසුගිය කාලය පුරාවට සිදුවූ මෙවැනි සිදුවීම් බොහෝ අපේ මතකයේ තිබේ. එය දැන් ආණ්ඩුවේ මූලෝපායික පිළිවෙතක් බව පෙනෙන්නට තිබේ. බොහෝ නීතිමය තීන්දු ගනු ලැබෙන්නේ නීතියේ පාලනය අනුව නොව දේශපාලන ඇයි හොදයිකම් අනුව ය. සිය අයිතිවාසිනම් ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයේ යෙදෙන සරසවි සිසුනට කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර දෙන පොලීසිය අධි ආරක්ෂිත කළාපයක් තුළ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය වටලා බලහත්කාර උද්ඝෝෂනයක් පැවැත්වීමට අමාත්‍ය විමල් වීරවංශගේ අනුගාමිකයිනට ඉඩ දී මඟ හැර යයි. සිරස මාධ්‍ය ආයතනයට පහර දුන් ජායාරූපමය සාක්ෂි මගින් තහවුරුවූ මැරවර පිරිස් මුදා හළ පොලීසිය, ජෙනරල් ෆොන්සේකා නිදහස් කරන සේ ඉල්ලා කොටුව දුම්රිය පොළ ඉදිරපිට උද්ඝෝෂනයක නියුතුව සිටි බෞද්ධ භික්ෂුන් බලයෙන් ඇදගෙන ගොස් සිරගත කළාය. දැන් එම පිරිසට එරෙහිව නඩු පවරා තිබේ. සිරසට පහර දුන් මැරවර පිරිස් තවම නිදැල්ලේ ය.

ජෙනරල් සරත් ෆොන්සේකා අද සිරගතව සිටින්නේත් චෝදනා පමුවනු ලබන්නේත් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන තරඟයක් දුන් නිසා ය. එසේ නොකොට ආණ්ඩුව ඔහුට පිරිනැමීමට සූදානම් වූ යුද සහ සිවිල් තනතුරු බාර ගෙන සිටියේ නම් මේ එල්ල කර තිබෙන කිසිදු චෝදනාවක් එල්ල වන්නේ නැත. මේ වනාහී අප කව්රුත් දන්නා එනමුදු කතා කිරීමට බියක් දක්වන ශ්‍රී ලංකාවේ වත්මන් යතාර්තය යි.

යුද හමුදාපතිව සිටි ජෙනරල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අපට විවේචන තිබුණි. එසේ නමුත් ඔහුට එරෙහිව දේශපාලන හේතූන් උඩ ගෙනෙන චෝදනා හමුවේ නිහඩවීම සමස්ත මර්දනකාරී ක්‍රියාවලියටම අනුගතවීමකි. වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන විපක්ෂට එරෙහිව ඇති ලොකුම තර්ජනයක් ලෙස ජෙනරල් ෆොන්සේකාට එරෙහිව දියත් කර ඇති දේශපාලන නඩු සැළකිය යුතු ය. ඔහුට පවරා ඇති නඩු දෙස අප බැලිය යුත්තේ නීතිමය කාර්‍යයක් ලෙසට වඩා දේශපාලන අරමුණකින් කැරෙන මර්දනකාරී ප්‍රචාරක කාර්‍යයක් ලෙස ය. කේ.පී.ට වරදාන සහ නිදහස දීම සම්බන්ධයෙන් කැරෙන විවේචනයන්ට වඩා වැදගත් වනු ඇත්තේ ජෙනරල් ෆොන්සේකාට එරෙහිව නැගෙන චෝදනා පිටුපස ඇති දේශපාලනය තේරුම් කිරීම යි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එක් තීරණාත්මක ප්‍රශ්ණයක් නම් ජෙනරල් සරත් ෆොන්සේකාට එරෙහිව නඩු පවරනු ලැබ ඇති හේතුව සහ අන්දම ය. එය සැළකිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට එල්ල කැරෙන ප්‍රහාරයක් ලෙස ය. ඊට එරෙහිව හඬ නැගීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ අනීවාර්‍ය අංගයක් බවට පත් කර ගැනීම අප සියළු දෙනාගේ වගකීම ය.

Pic By Internet