iMage by: dailynews.lk

අල්ලස් හෝ දූෂණ කොමිසමේ සන්දර්ශනයක් පසුගිය සඳුදා(18) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගෝල්ෆේස් ‘ෂැන්ග‍්‍රී ලා’ හෝටලයේදී පැවැත්විණ. ඒ සඳහා ආරාධිත දහසක් දෙනා අතර මටත් ආරාධනා පත‍්‍රයක් ලැබී තිබුණි. එහෙත් ඉරිදා වන විටත් මා සිටියේ ඊට සහභාගී වීම පිළිබඳ අතීරණයෙනි. මන්ද යත්, මේ හෝටලයේ පැටිකිරියට අදාළ දූෂණ චෝදනා රාශියක් ගැන අසා තිබුණු බැවිනි.

කෙසේ වෙතත්, හෝටලය දැන් ඉදි වී තිබේ. එය අප ඉදිරියේ ඇති යථාර්ථයකි. හරියට, කොළඹ වරාය නගරය මෙනි. ඒ ස්ථාන අත්කර ගැනීම සහ ගොඩනැගීම් පිළිබඳ මොන විවේචන තිබුණත්, ඒවාට අඩියක් නොතබමි යි තීරණය කොට සිටීමට දැන් කෙනෙකුට පුළුවන් කමක් නැත. එහෙත් මේ කියන සන්දර්ශනය පවත්වනු ලබන්නේ, මෙරටේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නාමයෙන් වීම, ඊට සහභාගී වීමේ/නොවීමේ ප‍්‍රශ්නය මට සරල කොට දුන්නේය.

එක පැත්තක, දූෂණයේ ඓතිහාසික ප‍්‍රතිරූපයක් සේ සමාජගතව ඇති හෝටලයක් තිබේ. අනිත් පැත්තෙන්, දූෂණ විරෝධයේ ප‍්‍රතිමූර්තියක් වන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තමන්ගේ සන්දර්ශනයක් පැවැත්වීම සඳහා එම ස්ථානයම තෝරාගෙන තිබේ. කොළඹ නගරයේ තරු පහේ හෝටල් අඩු වශයෙන් දුසිමක්වත් ඇත. ඒ කිසිවකට නොගොස් මේ ස්ථානයම අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් තෝරාගෙන තිබීම, එම කොමිසමේ ආධ්‍යාත්මය නිරුවත් කිරීමකියි මට සිතේ. නාට්‍යාකාරව කිවහොත්, ‘හොරු සමග හෙලූවෙන්’ සිටීමකි.

එබැවින් මම ඊට සහභාගී නොවීමි. සහභාගී වූ බොහෝ දෙනාගෙන් සන්දර්ශනය ගැන දැන ගත් විස්තරවලින් පසු ඒ තීරණය ගැන මම සතුටු වීමි. එය යම් පිරිසකගේ පුද්ගල පම්පෝරි ප‍්‍රදර්ශනය කළ අවස්ථාවක් වී තිබීමත්, දූෂණ විරෝධී රාජ්‍ය ආයතනයකට තරම් නොවන අති විශාල ධනස්කන්ධයක් එම සන්දර්ශනය සඳහා වැය කොට තිබීමත්, ඊට හේතුවයි. ඉහළින් මගුලක් ගැනීම වරදක් නැත. එහෙත් උත්සව ශ‍්‍රීයට තරම් වන ‘මගුල් කාරණයක්’ එහි තිබිය යුතුය.

ආපසු හැරී බලන විට, යහපාලන ආණ්ඩුවේ අසාර්ථකත්වය මැන බැලීමේ එක කෝදුවක් වශයෙන් මේ අල්ලස් හෝ දූෂණ කොමිසම ගත හැකිය. දූෂණ සිද්ධියක් හැකි තාක් මන්දගාමීව ඇදගෙන යාමට නම් ඒ ගැන වාර්තා කළ යුතු හොඳම තැන අල්ලස් හෝ දූෂණ කොමිසම බවට කතාවක් තිබේ. එය මම පිළිනොගනිමි. මන්ද යත්, එසේ විමර්ශන හෝ නඩුගොනු සිත් සේ ඇදගෙන යන තවත් ආයතන ද ඕනෑ තරම් අද වන විට අපට ඇති බැවිනි.

මේ දූෂණ-විරෝධී විෂය අරභයා යහපාලන ආණ්ඩුවේ විශාල සාර්ථකත්වයක් ඇති කර ගත හැකිව තිබූ ප‍්‍රධාන ආයතන හතරක් හඳුනා ගත හැකිය. ඒවා නම්, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ය. මේ සියල්ලට නායකත්වය සැපයීමට, දූෂණය ප‍්‍රායෝගික අර්ථයකින් පිටුදැකීමට තරම් වන දේශපාලන අධිෂ්ඨානයක් ඇති පාලකයන් පිරිසක් සිටීම අත්‍යාවශ්‍ය බව සැබෑව.

විශේෂයෙන්, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඒ දේශපාලනික අධිෂ්ඨානය තිබිය යුතුය. මෙයින් අදහස් කරන්නේ, තමන් දූෂණයට විරුද්ධ බව සහ එය දුරලීම සඳහා තමන් හැකි පමණින් කටයුතු කරන බව ප‍්‍රසිද්ධ වේදිකාවේ ලෝකයාට ඇසෙන්ට කියා සිටීම නොව, ඒ සම්බන්ධයෙන් තමන් අත්‍යන්තයෙන් නියැලෙන බව ප‍්‍රායෝගිකව පෙන්වා දීමයි. එහෙත් පසුගිය කාලය දෙස බලන විට, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් යන දෙදෙනාම මේ සම්බන්ධයෙන් වැඩිමනත් සාර්ථකත්වයක් පෙන්වා ඇති බවක් පෙනෙන්ට නැත. ජනාධිපතිවරයා තමන්ගේ කඳවුරේ දූෂිතයන් අප‍්‍රසිද්ධියේ ආරක්ෂා කළ අවස්ථා ගණනාවක්ම තිබේ. අගමැතිවරයා දූෂිත මහබැංකු අධිපතිවරයෙකු ප‍්‍රසිද්ධියේම ආරක්ෂා කෙළේය. ඔවුන්ගේ ආදර්ශමත් නායකත්වයකින් තොරව දූෂණ-විරෝධී ආයතනවලට සිය කටයතු කරගෙන යාමට ඇති අවකාශය ඇහිරෙන බව අප පිළිගත යුතුය. එහෙත් එය, තමන්ගේ නොහැකියාවන් සහ අසාර්ථකත්වයන් වසා ගැනීමට හෝ සුපිළිපන් භාවයේ සහ අදීනත්වයේ අඩුවක් පුරවා ගැනීමට හෝ එකී ආයතනවලට ලැබෙන වරමක් වශයෙන් ගත යුතු නැත.

යහපාලන ප‍්‍රතිපත්ති සහ පාරදෘෂ්‍ය භාවය වෙනුවෙන් පෙනී සිටින පුරෝගාමී විද්වතෙකු සහ සමාජ ක‍්‍රියාධරයෙකු වන චන්ද්‍රා ජයරත්න, තොරතුරු දැන ගැනීමේ අයිතිය පාවිච්චි කරමින් අල්ලස් හෝ දූෂණ කොමිසමට ප‍්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කොට ඒවාට පිළිතුරු ලබාගෙන තිබේ. එයින් එක ප‍්‍රශ්නයක් වන්නේ, පසුගිය අවුරුදු 10 තුළ, රුපියල් මිලියන 10 ට වැඩි වටිනාකමක් ඇති අල්ලසක් සම්බන්ධයෙන් පවරා ඇති නඩු ගණන කීයද? උත්තරය 1 ය. තවත් ප‍්‍රශ්නයක් වන්නේ, රුපියල් මිලියන 25 ට වැඩි වටිනාකමක් ඇති දූෂණ ක‍්‍රියාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩු ගණන කීයද? උත්තරය 0 ය. තවත් ප‍්‍රශ්නයක් වන්නේ, ඉහත කී ආකාරයේ සිද්ධි සම්බන්ධයෙන් කරන ලද විමර්ශන අනුසාරයෙන් වැරදිකරුවන්ගෙන් ආපසු අය කරගෙන, පවරාගෙන හෝ රාජසන්තක කොට ඇති ධනය හෝ දේපළ වටිනාකම කොපමණ ද? උත්තරය 0 ය.

පසුගිය සඳුදා අල්ලස් හෝ දූෂණ කොමිසම ෂැන්ග‍්‍රි ලා හෝටලයේ පැවැත්වූ සන්දර්ශනයේ පරිමාව, මේ ‘රිපෝට් කාඞ්’ එකේ පරිමාවට සරිලන එකක් විය යුතුව තිබුණි. ඒ අනුව, (අතීතය කෙසේ වෙතත්) යම් අනාගත මෙහෙවරක් පිළිබඳ රට දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් විණි නම් කොමිසම කළ යුතුව තිබුණේ, පම්පෝරි නැති සරළ උත්සවයකට යාමයි. කෙසේ නම් එසේ වන්න ද? අවුරුදු දහයක කාලයක් මේ ආයතනය නඩත්තු කිරීම සඳහා වැය කර ඇති මුදලත් අති විශාල ය. චන්ද්‍රා ජයරත්න ඒ ගැනත් ප‍්‍රශ්නයක් අසා තිබේ. ඊට ලැබුණු පිළිතුර අනුව, මේ ආයතනයේ නඩත්තුව සඳහා 2009 දී රුපියල් මිලියන 110.87 ක් ද, 2010 වසර සඳහා රුපියල් මිලියන 140.47 ක් ද, 2011 වසර සඳහා රුපියල් මිලියන 157.63 ක් ද, 2012 වසර සඳහා රුපියල් මිලියන 201.23 ක් ද, 2013 වසර සඳහා රුපියල් මිලියන 180.67 ක් ද, 2014 වසර සඳහා රුපියල් මිලියන 196.13 ක් ද, 2015 වසර සඳහා රුපියල් මිලියන 256.33 ක් ද, 2016 වසර සඳහා රුපියල් මිලියන 317.44 ක් ද, 2017 වසර සඳහා රුපියල් මිලියන 366.33 ක් ද, 2018 වසර සඳහා රුපියල් මිලියන 429.38 ක් ද වන මහජන මුදලක් වැය කොට තිබේ. මේ වැය ශීර්ෂ අනුව බලන විට කෙමෙන් වියදම වැඩි වී ඇති සැටි පෙනේ. එහෙත්, ඊට සමානුපාතිකව මෙම ආයතනය සිය ‘ආදායම’ වැඩි කොට පෙන්වා තිබේ ද යන්න ප‍්‍රශ්නයකි.

පසුගිය සතියේ ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇති පරිදි, 2016-2017 අතර කාලයේ දූෂණ හෝ අල්ලස් පිළිබඳ සියලූ අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ, විදුහල්පතිවරුන්, කම්කරු නිලධාරීන්, ග‍්‍රාමසේවා නිලධාරීන්, ප‍්‍රාදේශීය සභා නිලධාරීන් සහ කම්කරුවන් වැනි පහළ මැද පංතික සහ කම්කරු පංතික පුද්ගලයන් සම්බන්ධයෙනි. මේ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීම යහපත් ය. දූෂණය, දූෂණයම ය. ඒ ගැන කතාවක් නැත. එහෙත්, අප රෝග නිධානයට ප‍්‍රතිකාර කරන්නේ නම්, අල්ලස් කොමිසමක් වැඩි බරක් තැබිය යුත්තේ, මේ කියන සුළු නිලධාරීන්ට එසේ දූෂණයේ යෙදීමට ජීවමාන ආදර්ශ සපයන මහ පරිමාණ දූෂකයන් පස්සේ ඊට වඩා වේගයෙන් පැන්නීමයි. මෙහිදී, අල්ලස් හෝ දූෂණ කොමිසම ජනාධිපතිවරයාගේ කාර්යාල ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනීම උද්ධෘත කොට දක්වන්නට ඉඩ තිබේ. ඒ ගැන කොමිසමට කවුරුත් ප‍්‍රශංසා කරනවාට සැකයක් නැත. එහෙත්, එය ඉහළ පැලැන්තියේ බලපුලූවන්කාර දූෂණයෙන් ඇබින්දක් පමණක් බව කවුරුත් දනිති. මේ කාලය තුළ මෙකී ආයතනය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 2300 ක් වැය කොට ඇති බව මෙහිදී සැලකිල්ලට ගත් විට, ඉහත කී තනි මහ වැටලීම පමණක් හුවා දැක්වීමෙන් කොමිසමට අත හෝදාගත නොහැකි වන බව පෙනී යයි. චන්ද්‍රා ජයරත්න පෙන්වා දෙන පරිදි, වෙනත් රටවල මෙවැනි ආයතන තමන්ගේ නඩත්තුව සඳහා වැය කරන වියදම මෙන් තුන් හතර ගුණයක වටිනාකමක්, දූෂණය හරහා කොල්ලකාගෙන ඇති මහජන ධනය සහ දේපල ආපසු රටටත්, මහජනතාවටත් තමන්ගේ විමර්ශන හරහා උපයා දෙයි.

ෂැන්ග‍්‍රී ලා හෝටලය ගොඩනගා ඇත්තේ අක්කර 10 ක භූමි භාගයක ය. මේ අක්කර 10 විදේශ සමාගමකට රාජපක්ෂ ආණ්ඩුව 2011 දී සින්නක්කරව විකුණා ඇත්තේ ඩොලර් මිලියන 125 කට ය. (එදා පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ ආණ්ඩුව මුලින් කීවේ මේ අක්කර 10 බද්දට දුන් බව ය). විදේශිකයන්ට රටේ දේපල විකිණීමේදී සියයට 100 බද්දක් අය කර ගත යුතු බවට නීතියක් 2004 දී අප පනවාගෙන තිබේ. එම නීතියේ අභිප‍්‍රාය වන්නේ, හැකි තාක් රටේ දේපළ විදේශයන්ට විකිණීම අධෛර්යමත් කිරීමයි. මේ නීතියෙන් ගැලවීමට බොහෝ විදේශිකයන් එදා කෙළේ, ලාංකිකයෙකු සමග යම් සමාගමක් ලියාපදිංචි කොට ඒ සමාගමේ නමින් අදාළ දේපල මිලදී ගැනීමයි. එසේ තිබියදී, ෂැන්ග‍්‍රී ලා හෝටලය සඳහා ගෝල්ෆේස් අක්කර 10 රාජපක්ෂලා විකුණද්දී, ඒ සඳහා රජයට ලැබිය යුතු බදු මුදල් වශයෙන් සත පහක්වත් මෙකී සමාගමෙන් අයකර ගත්තේ නැත.

ඊළඟට, මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකොට නැති බවත් එදා වාර්තා වුණි. මෙහි විකුණුම් මිල වී ඇත්තේ පර්ච් එකක් රුපියල් මිලියන 8.5 කි. මේ කාලයේ (2011) කොළඹ කාසල් වීදියේ පර්ච් එකක් රුපියල් මිලියන 15 කි. එසේ තිබියදී, ගෝල්ෆේස් පිට්ටනිය ඉදිරිපස ඉඩමක වටිනාකමක් මොන තරම් විය යුතුව ඇත්දැයි අපට සිතා ගත හැක.

අල්ලස් හෝ දූෂණ කොමිසම තමන්ගේ සන්දර්ශනය පැවැත්වීම සඳහා ස්ථානය තෝරා ගැනීමේදී මේ කරුණු සලකා බැලිය යුතුව තිබුණි. මන්ද යත්, එය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම හෝ වෙනත් දූෂිත රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් නොව, ‘‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම’’ යනුවෙන් රට තුළ නාමකරණය වී ඇති බැවිනි.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoada