සිංහල, Colombo, Democracy, Life quips, Media

චිත්‍රපට මංගල දර්ශනය: එහි නොතිබුණු සත්‍යය

2010 මැයි 20 ගයි ගුණරත්න විසිනි

සිනමාකරුවන් සිය චිත්‍රපට පිළිබඳව ලියන දේවල් ගැන මම හැම විට ම පරීක්ෂාකාරී වෙමි. දයාව නිසා දරන පරිශ්‍රමය බොහෝ විට ළඟා කර ගන්නේ වේදනා ගෙන දෙන කටුක විවේචනයන් ය. ශ්‍රී ලංකාවේ අවුල් වුණු, ලිහිල් දේශ සීමා සමග සිනමාකරුවන් වන්නට-සිටින බොහෝ අය දිගු කලක් තිස්සේ පොර බදා ඇතත් ගැටලුවට හරි හැටි සමීප වන්නට තව මත් සමත් වී නැත. මැනවින් එකට බැඳුණු හෝරා එක හමාරක් තුළට සිය සමාජය සහ ආණ්ඩු ක්‍රමය පෙරා ගන්නට දරන ඕනෑ ම ප්‍රයත්නයක් එක් පැත්තකට පමණක් නැඹුරු වීම නියත ය; එනම්, එම හෝරා එක හමාර තුළ ගැබ් වන මනරම් අභිරහසට ම වසඟ වීම සහ හීලෑ වීම නිසා හෝ එම අභිරහස තුළ ගැබ් වන ක්‍රූරත්වය පිළිබඳව තමන් දන්නා සහ තමන්ට හැඟෙන සියලු දේ මුළුමනින් ම නොකීම නිසා එම ප්‍රයත්න පක්ෂග්‍රාහී වීම නිසැක ය; එලෙස, අවසානයේ දී රට තුළ පවතින බොහෝ ප්‍රතිවිරෝධතාවන් තුළ ගිලී සිනමාකරුවන් මත් වැනසී යාම ඒකාන්ත ය. ශ්‍රී ලංකාව පිළිබඳ චිත්‍රපට ඒවාට විෂය වන දෙය තරමට ම දුරවබෝධ බව පෙනේ.

කෙසේ වුව ද, මෙම චිත්‍රපටය දයාව නිසා දැරූ පරිශ්‍රමයක් නො වී ය. මෙම චිත්‍රපටය දුෂ්කර බන්ධනයක් විය. සමස්තාර්ථය පාදා ගැනීම සඳහා කොටස් එකලස් කර ගන්නට සහ නොපසුබටව එම කටයුත්තෙහි අඛණ්ඩව නිමග්න වන්නට බැරි තරමට ම දුරවබෝධ විය. එය මෙතරම් ම දුරස්ත වුණේ කිනම් කාරණා හේතු කොට ගෙන ද? අප කළ දේවලින්, අප ගිය තැන්වලින් සහ අප හසු කර ගත් දේවලින් අප මත පැටවුණු බර සමග ඒවා බෙහෙවින් ම සම්බන්ධ ය. මග දිගට අපට හමු වුණු බොහෝ මිනිස්සු අප සිත් තුළට වගකීමක් කාන්දු කළහ. අප කළ ‛මහා කුමන්ත්‍රණය’ පිළිබඳව අසන්නට ලැබීම නිසා – කිසි ම ‛සැබෑ’ පුවත්පත් කලාවේදියෙකුට ඇතුළු වීමට නොහැකි වුණු ප්‍රදේශයකට ඇතුළු වීමට සිසුන් වූ අප සමත් වුණු ආකාරය ගැන, අප අපකීර්තිමත් අවතැන් වූවන්ගේ කඳවුරුවලට සංචාරය කළ, කිලිනොච්චියෙහි නටබුන් අතර ඇවිද ගිය, සහ මුලතිව්වල සහ චාලයිවල සුන්බුන් අතරින් රිය පදවා ගෙන ගිය ආකාරය ගැන සහ මේ සියල්ල අවසන් පතරොම පත්තු වී නැත හොත් අවසන් සොල්දාදුවා ඇද වැටී යන්තම් මසක් ගෙවුණු තැන සිදු වුණු ආකාරය ගැන අසන්නට ලැබීම නිසා – එනම් අපගේ කතාව අසන්නට ලැබීම නිසා, මුල දී අප දෙස අවිශ්වාසයෙන් ඔරවා බැලූ රටේ බොහෝ දෙනෙකු පසුව අපට ප්‍රතිචාර දැක්වූයේ යසස් මල් දම්වලින් වත් නිතර දමා ගසන අර්ථ නිරූපණවලින් වත් නො වේ, මධ්‍යස්ථ නැඹුරුවකිනි. යන්න. මේ දේවල් යොදා ගෙන යමක් කරන්න. ඔබ එය කළ යුතු ම යි. ඔබ සතුව හඬ පට තිබෙනවා. ඔබ සතුව ප්‍රතිරූප තිබෙනවා. ඔබේ කතාව කියන්න. වෙන කිසි කෙනෙක් ඒක කරනෙකක් නැහැ. ඒ හින්ද කරුණාකරලා…විගහට ඒක කරන්න.

ප්‍රීතිය හඟවන ඉඟියක් පළ කරන්නට වත් පුංචි පුංචි විවාදාත්මක සාකච්ඡාවල යෙදෙන්නට වත් මේ ලන්ඩනයෙහි ව්‍යාපාරයක තමන් කැමති රැකියාවක් තුළ පැළපදියම් වන්නට වත් අපට කාලයක් නැති බව මෙම නව පශ්චාත් යුද ශ්‍රී ලංකාව සහතික කළේ ය – ලන්ඩනයෙහි පැවතියේ නව අවබෝධයකට සහ නව සංවාදයකට පදනම ලා ගැනීමේ නොඉවසිල්ලකි, උද්‍යෝගයකි. එළඹෙන දින කීපයේ දී ග්‍රවුන්ඩ්වීව්ස් වැනි සංවාද මණ්ඩපවලට පැවරෙන කාර්ය භාරය පිළිබඳව අවබෝධයක් පැවතීම, යට කී නව පදනම තහවුරු කිරීමට අවශ්‍ය දෙයින් යුක්තව මෙම විශේෂ සංස්කරණය හැඩ ගසා ගැනීමට නිසැකව ම උදව් වනු ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ සිට ආපසු පැමිණ මිතුරන් ද පවුල් ද ෆේස්බුක් අඩවියෙන් ද ඇළලී ගිය සාමාන්‍ය දින චර්යාවට යළි හැඩ ගැසීමේ ආගන්තුක අවධිය ගෙවා දැමූ අපි, මෙය අවබෝධ කර ගෙන විවාදයට දායක වන්නට තීරණය කළෙමු. සංවාද මණ්ඩපයේ කොටස්කරුවන් වන්නටත් අවස්ථාව යෙදෙන පරිදි අපගේ අදහස් කිහිපයක් වගුරන්නටත් අපට වුවමනා විය.
මෙය අපගේ කතාව යි. සම්පූර්ණයෙන් ම ආත්මීය, මුළුමනින් ම ප්‍රතිවිරෝධී අපගේ කතාව යි. පසු ගිය මැයි මාසයෙන් මෙපිට දී, ඔබ සියලු දෙනා මෙන් ම අප සියලු දෙනා ද වෙනස් වීමු. අපගේ කතාව, එකල අපට වටහා ගන්නට නොහැකි වූ මාවත්වල අප ගමන් කරවූයේ ය. මෙම චිත්‍රපටය එයට හැකි උපරිම මට්ටමෙන් හකුළුවා දක්වන්නට උත්සාහ කරන්නේ එම ගමන යි. අප ලද අත්දැකීම් හරහා වඩා පුළුල් යමක් කියන්නට අපි බලාපොරොත්තුවෙන් සිටිමු. ඒ වූ කලි රට යා යුතු මග තීරණය කරමින් සිටි ඒ තීරණාත්මක නිමේෂය හසු කර ගත්තකි. සුනාමියක සැඩ පහර එල්ල වුණු දිනට පසු දා පැමිණියාක් මෙන්, තැන තැන විසිර ගිය දැන්වීම් පුවරු සහ නුහුරු නුපුරුදු ධජ බවට ප්‍රීත්‍යෝත්සව වියැකී ගිය ඒ ජූනි මාසයෙහි ශ්‍රී ලංකාව බලා පැමිණි ගමන ගැන මම හැම විට ම විස්තර කර ඇත්තෙමි. සදාචාර ධර්ම යළි පෙළ ගස්වා ගැනීමට සහ අවධානය මාරු කර ගැනීමට උත්සාහ දරමින් මහජනයා සිටියේ ආකුල භාවයෙහි ගැළී ගෙන ය. එහෙත් ඇවිත් යන්නට පැමිණි පිටස්තරයන් වුණු අපි කම්පනයට පත් වීමු: යුද්ධය දිනූ මහජනයා තුළ තමන් එතැනට ළඟා වූ ආකාරය ගැන පවතින උනන්දුව මෙතරම් ම ස්වල්ප එකක් වන්නේ කෙසේ ද? හයිඩි චිත්‍රපටය, විශේෂයෙන් ම මානව අයිතිවාසිකම්, සිවිල් නිදහස සහ වග වීම පිළිබඳව දැඩි, මූලධර්මාත්මක සහ ප්‍රශ්නයට බඳුන් කළ නොහැකි මතධාරීන් පිළිබඳව විය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනයා අතරින් නම් අපට එවැන්නෝ එතරම් හමු නොවූහ – ආරක්ෂාව පිළිබඳ හැඟීම ඒ සියල්ල අභිභවා ගියේ ය. කනස්සල්ලකින් තොරව දරුවන් පාසල් යැවිය හැකිකම, එය යි ප්‍රකාශනයේ නිදහස වෙනුවට ඔවුන් හුවමාරු කර ගැනීමට සූදානම්ව සිටියේ. අපට නම් එය අප මනස කැලඹූ සහ සැබෑ ගැටලුව මග හැර ගිය සම්මුතිවාදී හුවමාරුවක් ලෙස පෙනුණත් බෝම්බ, විනාශය සහ ඝාතනය අවසන් වීම නිරන්තරව පැතිර පැවති භීතිය අවසන් වීමක් ද විය. ඉතින් ඔවුන් ඒ කරා ළඟා වුණු සැටි ගැන ප්‍රශ්න නගන්නට අලුතින් සාර්ථකත්වය අත් කර ගත් උද්ධච්ච තුරුණු විදේශිකයන් වුණු අප කවුරුන් ද? හොඳ තර්කයක්.

කොළඹ සිට චාලයි දක්වා අප ගිය මුළු ගමන පුරා ම අප විමසිලිමත් වූයේ කිසි කෙනෙකු උනන්දු නොවුණු සේ පෙනුණු දෙයක් සොයා ගන්නට යි. ‛හිස් පිටුව’ යැයි එය නම් කළ අපි එය පුරවන්නට ඉටා ගතිමු එය දුටු විට කිසිවෙකු ඒ ගැන සැලකිලිමත් වුණත් නැතත්. යුද්ධය පිළිබඳ වාර්තාකරණය පුවත්පත් කලාවේදයේ අවධානය ද වෙනස් කර තිබිණ. සිරස්තලවලින් කියැවුණේ යුද්ධයේ සැබෑ තොරතුරු වාර්තා වන්නට ඉඩ නො දී බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදීන් රටින් නෙරපුණු හැටි ය. සංඛ්‍යා යහපත් දැයි අයහපත් දැයි කතාබහ කරද්දී අනුකම්පා විරහිත බවක් ද පෙනෙන්නට තිබිණ. මහා ජන සංහාරයක් කරන්නට කොතරම් මළ කඳන් සංඛ්‍යාවක් දෙන්නට වේ ද යන්න ගැන සිදු වුණු තර්ක විත්ර්ක සමග එක පෙළට යුද්ධයේ මානව පිරිවැය කොතරම් වේ ද යන්නත් විවාදයට බඳුන් විය.

ශ්‍රී ලංකාවට පැමිණෙන විට අපි ද ඊට වරදකරුවෝ වී සිටියෙමු. ජීවිත කාලය තුළ එක් වතාවක් පමණක් ලැබෙන අවස්ථාවක් හිමි කර ගෙන සිටි අපි හැමෝම මේ ගැන සෝදිසි කිරීමට බිය වීමු. මධ්‍යස්ථ වෙන්න, වෘත්තීය වෙන්න, ඔවුහු කියති. ඒක අඩුවැඩියකින් තොරව හසු කර ගත යුතු කතාවක්. රටට ආපසු පැමිණ යුද වාර්තාකරුවෙකු වීමට ඔබට වුවමනා කරන විට ඔවුන් ඔබට ලබා දෙන පුහුණුව මෙය යි. මානුෂීය දෘෂ්ටි කෝණය තෝරා ගන්න – කඳුළු බිඳක් අල්ල ගන්න. කඳුළු තමයි පත්තර විකුණන්නෙ. කඳුළු සහ කටු කම්බි. ආපසු සිය රටට පැමිණි විට අගනා වාර්තා කෘතිය ලෙස සැලකුණේ මෙය යි. ඉතින් අපි විපරම් සහගත ද විමසුම් සහගත ද වූයෙමු, අපගේ හෘදය සාක්ෂි වෙන අතක ඇදී යන විට අනවසරයෙන් ඇතුළු වී වඩා සමීප රූප කරා ගියෙමු. පුවත්පත් කලාවේදියෙකු ලෙස ඔබෙන් බලාපොරොත්තු වන්නේ එය යි. එහෙත් ඒ දෙය ඔබෙන් බලාපොරොත්තු වන්නේ කටුක ගන්ධය ආශ්වාස කර කර සුන්බුන් අතර හිඳින ගමන් ඔබ අපක්ෂපාතකම වැනි මතයක පවතින අතාර්කික බව ප්‍රත්‍යක්ෂ කර ගනිමින් සිටිය දී ය. එසේ බලාපොරොත්තු වන්නේ නිර්ව්‍යාජ ආචාර සම්පන්න බවින් ඈත් වුණු මිනිසෙකුට මානා ගත් කාචයක් අතැතිව ද දෙගිඩියාවකින් තොරව ඉදිරියට ගොස් ඔහුට ඉතිරි වී ඇති ස්වල්ප වස්තුව, ඔහුගේ පවුල සහ ඔහුගේ අල්ප ජීවිතය මතට අනවසරයෙන් කඩා වදින විට ම ය – ඔබ එය සැබවින් ම අවබෝධ කර ගන්නා මොහොතේ ම ය. මේ යුද්ධය යි. ඝාතනය සහ අබලි ද්‍රව්‍ය හැරුණු විට, අභිමානය සහ මනුෂ්‍යත්වය අහිමි වීමක් ද පවතී. ප්‍රවීණ වෘත්තීයවේදීන් නොදකිනු ඇත ද හිරිමල්, නොමේරූ, විමසුම් සහගත බවින් අඩු සිසුන් එය දකිනු ඇත. ඒ වනාහි අනවශ්‍ය යැයි සලකා ඉවත දමන ලද මනුෂ්‍යත්වය පිළිබඳ අමු නිරුවත් සත්‍යය විය. වසරක් ගෙවී යද්දී අන් සියල්ලට මත් වඩා අප අත ඉතිරිව තිබෙන්නේ අප පසු කර ගෙන ගිය මෙම නටබුන් සහ සුන්බුන් ය. එවන් අසරණකමක ගිලී හිඳිමින් සිය උදාරත්වය පවත්වා ගෙන යාමට තමන්ට හැකි උපරිම මට්ටමින් වැර දරමින් සිටි ඒ මුහුණු ය, ඒ දෑස් ය. අපි ආපසු ලන්ඩනයට ගිය විට අප තිදෙනා ම එම නිමේෂය හැඳින්වූයේ අප මුළුමනින් ම වෙනස් වුණු නිමේෂය ලෙස ය, එය පසුබිමක් ලෙස සැපයීමට අප බලාපොරොත්තු වන්නේ අපගේ සාමූහික කතාව තුළිනි. පහත කියැවෙන එකිනෙකට ඇඳුණු රූප පෙළවල ස්වරූපයෙන් එය ඔබ වෙනුවෙන් නිමැවුණේ මෙන්න මේ නිමේෂයේ දී ය.

ෆිල්: අමතක නොකළ හැකි ප්‍රතිරූපයක් ආපසු ලන්ඩනයට පැමිණි මම ඒ තෙසතිය තුළ දී මා ගත් ඡායාරූප අතරින් වඩා සුකුමාර සහ වඩා ඕළාරික ඒවා තෝරමින් සිටියෙමි. පුද්ගල ඡායාරූප ම 4,000ක්. යුද්ධයේ එම අවසන් මාස කිහිපය පිළිබඳ වඩා පැහැදිලි චිත්‍රයක් ගොඩ නැගීමට උදව් විය හැකි ප්‍රතිරූපයක් සොයා ගන්නට ය මට වුවමනා වූයේ. එම ප්‍රදේශවලට ගිය පළමු ස්වාධීන අමුත්තන් බවට පත් වුණේ අප ය. එබැවින්, පශ්චාත් සමයේ සුන්බුන් අතරින් වුව ද වෙහෙස දරා යම් සත්‍යයක් මතු කර ගැනීම අපට වැදගත් විය. එහෙත් එම ඡායාරූප පරීක්ෂා කිරීමේ දී මා තුළ ඉතිරි වුණු එක ම දෙය වූයේ අහිමි වීමක් පිළිබඳ මහා හැඟීමක් පමණකි. මට නම් මෙම චිත්‍රපටියෙන් නියෝජනය වන්නේ, හසු කර ගන්නට තිබුණු සැබවින් ම වටිනා දෙය සදහට ම එම නටබුන් අතර වැළලී ගිය බව නිශ්චිතව අවබෝධ කර ගැනීමකි. සැබවින් ම වටනේ යැයි සැලකුණු ප්‍රතිරූප වාර්තා නො වී ය, කෙසේ වෙතත්, තත්ත්වයෙන් පසුව ගන්නා බොහෝ ඡායාරූපවලට කිසි දා සත්‍යය සමීපව අනාවරණය කළ නොහැකි ය.

හයිඩි: ජාත්‍යන්තර සංවාදය චිත්‍රපටගත කරන අතරතුර දී අන් සියල්ල පාගා ගෙන පැන නගින අන්ධදේශානුරාගය පිළිබඳ හැඟීමක් පැවතිණ. ඒ අපහසු මඳ සිනාවලට එපිටින් හැම විට ම සිටියේ විජිතවාදී ජාත්‍යන්තර ප්‍රජාවේ ‛නියෝජිතයෙකු’ ලෙස සලකා වාන් බිඳුණාක් මෙන් මා මත තමන්ගේ අපේක්ෂා භංගත්වයන් නිදහසේ මුදා හැරීමට අවස්ථාව යොදා ගත් අය ය. මගේ ෆින්ලන්ත පෙළපත් නාමය ගැන හැම විට ම ප්‍රශ්නයට බඳුන් වනු ඇත – ඔවුන් කියන්නා වගේ නෝර්වේ රාජ්‍යය සහ ෆින්ලන්තය කොතරම් නම් එකිනෙකට සමීප ද? මා උපන් බිම එල්ල කොට නැගූ අපවාදවලට එරෙහිව – සියලු බටහිර රටවල්වල සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත් වීම් පසුපස පවතින්නේ දුෂ්ට සහගත සහ ආත්මාර්ථකාමී චේතනාවන් පමණක් ය, සාමය රැකීම සම්බන්ධයෙන් ඒවාට කිසි ම උනන්දුවක් නැති තරම් ය යන අදහසට එරෙහිව – මම වාද කළෙමි. සමහර විට මෙම චිත්‍රපටය මාර්ගයෙන් මට දුරු කිරීමට උදව් විය හැකි වන්නේ පොදුවේ පැතිර පවතින අන්න ඒ මතය විය හැකි ය. වසරක් ගෙවී යද්දී, ශ්‍රී ලංකාව තුළ දී මා ලද අත්දැකීම් මානව අයිතිවාසිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට තරම් විය. පිටස්තර සිට ඇවිත් යන අප අතර සිටින සමහරුන් මෙම ශ්‍රී ලංකාව දුර්වල කිරීමට අධිෂ්ඨාන කර ගෙන නැති බවත් අප අතර සිටින සමහරුන් අර්ථවත් ලෙස දායක වී ජාත්‍යන්තර පරිමාණයකින් මතභේදය සමථයකට පත් කිරීමට උදව් කිරීම සඳහා කැමැතෙන් පසු වන්නන් බවත් දිගින් දිගට ම විශ්වාස කරන අයගෙන් කෙනෙකු වෙමි මම.

ගයි: පිටුවාහල්ව විදේශවල විසිරී සිටින්නන් පිළිබඳ ප්‍රශ්නය පෞද්ගලික මට්ටමින් කතා කරන්නේ නම්, මෙම වාර්තා චිත්‍රපටය මා වසන මේ ලන්ඩනයෙහි ද අන් තැන්වල ද විසිර සිටින පිටුවාහල් වුණු ප්‍රජාවන්ගේ අවධානය වෙනස් කිරීමට උදව් වනු ඇතැයි මම උද්‍යෝගීව සිටිමි. 2009 මැයි 19 වන දා ලන්ඩනයේ වීදි රතු සහ කහ පැහැයෙන් ගිනියම් විය. පාර්ලිමේන්තු චතුරස්‍රයෙහි මුළු දෙවුණු මානුෂීය අභියාචනයක්, රිදුම් කා පරාජිත එල්.ටී.ටී.ඊ.යේ ධජ ලෙළවමින් බෙරිහන් දෙන එක ම මහා ජනස්කන්ධයක් බවට වර්ධනය විය. පිටුවාහල්ව විදේශවල විසිරී සිටින දෙමළ සහ සිංහල ප්‍රජාවන් අතර සන්ධානයක් ඇති නොවීම මෙම පිටු තුළ නිරතුරුව සඳහන් වන ගැටලුවකි. විශේෂයෙන් සකස් කරන ලද ඊළම් හිස් වැසුම් ද එල්ටීටීඊ පැහැති වළලු ද පැලඳි මට වඩා වයසින් බාල යෞවනයන් වෙම්බ්ලිහි, ටූනිංහි සහ මධ්‍යම ලන්ඩනයෙහි වීදිවල සිටිනු දුටු විට අප්‍රධාන පරම්පරාවේ සිංහලයෙකු වන මම වික්ෂිප්ත වීමි. සිංහලයන්ගේ පාර්ශ්වයේ විරෝධතා, දෙපාර්ශ්වය අතර සංඛ්‍යාමය සූදුවකට වැඩි දෙයක් නොවන තරමට පිරිහී තිබුණු සැටි දුටු විට මම ඊටත් වඩා පවා කලබලයට පත් වුණෙමි. මට මතක හැටියට, සිංහල විරෝධතාවලට එක් වන ලෙස හැම සතියක ම පාහේ මගෙන් ඉල්ලා සිටිනු ලැබිණ. කාරණය කුමක් දැයි ඒ හැම දාක ම මම ඇසුවෙමි, හැම විට ම වාගේ ලැබුණු අවුල් සහගත පිළිතුර වූයේ සතියකට පෙර දෙමළුන් කළ නිසා ය යන්න යි. ඔයිට වඩා හොඳ හේතුවක් ලැබුණා ම ආපහු එන්න, මම කීමි. නිර්ලජ්ජිත දේශානුරාගය දවසේ න්‍යාය පත්‍රය බවට පත්ව තිබුණු එකල සහභාගි වීම ප්‍රතික්ෂේප කළ මා වැනි වෙනත් අය සැලකුණේ අ-ශ්‍රී ලාංකිකයන් ලෙස ය. මහා ගාලගෝට්ටිය මධ්‍යයේ, ඊට එරෙහිව නැගුණු මැදහත් හඬවල් යටපත් විය. වෙන කිසිවක් නොවන්නේ නම්, මෙම චිත්‍රපටයෙන් අඩු ගණනේ ‛නිවුණු රටවල’ (මීට වඩා හොඳ යෙදුමක් නැතිකම නිසා මෙය යොදමි) වෙසෙන අප මඳක් මුහුකුරා යවන උණුසුම් සංවාදයකට මග පෑදෙනු ඇත. පාඩම් ඉගෙන ගෙන, වචනවලින්, ක්‍රියාවෙන්, ප්‍රතිරූපවලින් හෝ චිත්‍රපටයෙන්, අප තෝරා ගන්නා කුමන හෝ මගකින්, වඩා පරිපූර්ණ ලෙස ඊට සහභාගි වන්නට උත්සාහ ගනිමු.