iMAGE: Cartoon by Gihan De Chikera

පසුගිය අප්‍රේල් 3 දින “මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම’ යනුවෙන් ඉංග්‍රීසි හා සිංහල ජාතික පුවත්පත් සියල්ලේම පාහේ ව්‍යාකරණ මෙන්ම අක්ෂර වින්‍යාස දෝස රැසක් සහිත අමුතු ආකාරයේ මුල් පිටු දැන්වීම් කවරයක් පළ කොට තිබුණි.

ඒ සම්බන්ධව ” Daily Mirror ” පුවත් පත සඳහන් කොට තිබුණේ  “වෙළඳ දැන්වීමට අදාළ මුදල ගෙවා ඇති අතර එහි අන්තර්ගතයේ දෝෂ සම්බන්ධව තමන්ට කිසිදු වගකීමක් කර්තෘ මණ්ඩලය ලෙස භාර ගත නොහැකි බවයි “.

ජනාධිපති මාධ්‍යය අංශය හෝ ජනාධ්පති ලේකම් කාර්යාලය විසින් අදාළ දැන්වීම පළ කොට ඇතැ යි සිතිය හැකිය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට මරණිය දණ්ඩනය ක්‍රියාත්මකයි !
මත්කුඩු කිලෝ තොගයක් ජනතාව ඉදිරියේ ගින්නට
කුඩු ජාවාරමේ මහා මොළකරුවන් සොයා නොනවතින මෙහෙයුමක
පාසල් දරුවන් මත් රකුසාගෙන් බේරා ගන්න පාසල් තුළට සේවාවක්
පාණාතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
රැකියා විරහිත උපාධිධාරියෙක් අළුගෝසු තනතුරට අයදුම් කරයි

ලෙස එකකට එකක් විසංවාදී ශිර්ෂ යටතේ නිර්මිත වෙළඳ පුවත් කවරය සම්බන්ධයෙන් විවිධ මත මේ වන විට පළවෙමින් තිබේ.

තම ධුර කාලයන් හි අවසන් අදිරයන් ගෙවමින් ශ්‍රී ලංකාව අන්දමන්ද දුපතක් බවට පත් කරමින් සිටින මෛත්‍රී ජනපතිවරයාත් , වික්‍රමසිංහ අගමැතිවරයාත් දැන් සැරසෙන්නේ අඬ බෙර සන්දර්ශන වලින් ජාමේ බේරා ගැනීමටය. හිටි හැටියේම තොග ගණන් කුඩු රට වටින් මතුවේ. ඒවා මාධ්‍යය කැඳවා පුළුස්සා දමයි. තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමේ දිනය දැන් තීරණය කොට ඇතැයි ජනපතිවරයා ඒ අතර කියයි.

දැන් සියලු රාජ්‍ය සේවකයින් වෙත දිවුරුම ගන්නා ලෙස බලකරන ආණ්ඩුව කුඩු ජාවාරමේ මහමොලකරුවන් එක පෙළට පෝලිමේ තබා ගෙන ව්‍යාජ බක්මහ දිවුරුම නම් අලුත් ම බයිස්කෝප් එක වෙනුවෙන් රඟ දෙනු පෙනේ.

එය දුටු විට මතක් වන්නෙම ජර්මනියේ හිට්ලර් මිස අන් කිසිවෙකුත් නොවේ. මෙය උත්ප්‍රාස ජනකය . මත්ද්‍රව්‍ය මහා මොළකරුවන් තම සුරතේම තබාගෙන මේ ජනපතිවරයා ඇතුලු පිරිස අත් ඔසවාගෙන කරන දිවුරුම මාධ්‍යය සංදර්ශනයක් මිස ඒ කෙරේ වන සැබෑ වුවමනාවෙන් තොරව කරන්නක් බව නොකිව මනාය . ඒ අතර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම උදෙසා ජනපතිවරයාගේ ඇති නොනිත් ආශාව වෙනමම කතා කළ යුතු එකකි.

කෙසේ වෙතත් මේ අතර තවත් හාස්‍ය ජනක කරුණකි. අගමැතිවරයා තමා ‘බක්මහ දිවුරුම’සජීව විකාශයේදී පෙන්වන ලද කැමරා කෝණය හරි නැතැයි ‘රූපවාහිනිය සමඟ උරණ වී ඇති බවද අද වාර්තා වී තිබුණි.

මෙකි කරුණු සියල්ලම පෙන්නුම් කරමින් සිටින්නේ  මේ ජනපතිවරුන්, අගමැතිවරුන් ඇතුලු පිරිස විසින් කරමින් සිටින්නේ කිසිසේත් දැන් නැවත ප්‍රතිස්ථාපනය කළ  නොහැකිව ඇති  තම ප්‍රතිරූපයන් වඩවා ගන්නට කෙසේ හෝ උත්සාහ කරන  බවය. මේවායේ සැබෑ වුවමනාවට වඩා ඇත්තේ  කෙසේ හෝ එක දා ගැනීමේ වුමනාවක් පමණි. ඒවා කොතරම් ඵලදායිද? බෝඩ් ලෑලි, කට්වුට් නොඑල්ලනට සපථ කළ පැමිණි ජනපතිවරයා දැන් දැන් පාරවල් ගානේ එල්ලී ගත්‍ ගමන්මය. අමුතු අමුතු  නම් වලින් එක එක දවසට එක එක කෙරුවාවන් පටන් ගනියි. එහෙත් ඉවර කළ දෙයක් නම් නැත. ඒ වෙනුවට කරන්නේ කටින් බතල කොළ සිට වීමය.

මහජනයා ලෙස අපේ පොදු මුදලින් සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට අපට අයිතියක් ඇතුවා සේම අයිතිය වෙනුවෙන් හඬ නැගීමද අප කළ යුතුය .

මේ  අනුව අප්‍රේල් මස 4 වන දින  විකල්ප සම සංස්කාරකවරිය වන  ඉෂාරා ධනසේකර විසින් ඉහත ” බක්මහ දිවුරුම” නමින් අප්‍රේල් 3 වන දින ජාතික පුවත් පත් වල පළ කරන ලද මුල්පිටු දැන්වීම් කවරය සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතට අනුව

1. 2019. 04. 03 දින “බක්මහ දිවුරුම” සම්බන්ධයෙන් වන දැන්වීම පළ කරන ලද පුවත් පත් මොනවාද?
2. පුවත්පත් දැන්වීම් පළ කිරීම සඳහා වැය කළ සමස්ත මුදල කොපමණද? යන තොරතුරු විමසමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත  තොරතුරු ඉල්ලීමක් කොට තිබේ.

පාණාතිපතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ! යනුවෙන් ලියා තබා එහිම එල්ලුම් ගස වෙනුවෙන් වන කඹයක් දක්වන ලද රූපයක් ඔබ්බවමින් පළ කරනු ලබන මේ පුවත් පත් දැන්වීම විහිළුවක් නොවේද? පුවත්පතක දැන්වීමක් පළ කර ගත නොහැකි රාජ්‍ය අසමත් භාවය දැනටම පෙන්වා ඇති ව්‍යාපෘතියකින් හඳ අල්ලනවා යයි පාරම් බෑ විට අප ජනතාව ලෙස කල්පනා කළ යුත්තේ කෙසේද යන්න නැවත අප අපි කෙරෙන්ම විමසිය යුතුව තිබේ. කොටින්ම ‘බක්මහ දිවුරුම’ යනුම බයිස්කෝප් විහිළුවකි.