iMAGE: Cartoon by Awantha Artigala 

2019 අප්‍රේල් 22 වන දින සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් නව හදිසි නීති රෙගුලාසි මාලාවක් නිකුත් කර ඇත. මෙම ලිපිය හරහා ‘ප්‍රකාශනයන් පාලනයට’ ( control of publications ) බලපැවැත්වෙන අංක 15 දරන හදිසි නීති රෙගුලාසියේ අන්තර්ගතයන් සහ ප්‍රකාශනයට සම්බන්ධ අනෙකුත් සමහර රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් කෙරේ.

සාකච්ඡා කිරීමට තරම් වැදගත් වන විශේෂාංග හතරක් අංක 15 දරන රෙගුලාසියේ ඇත. මෙම විශේෂාංග විස්තර කිරීමට පෙර, අංක 2 දරන හදිසි නීති රෙගුලාසියට අනුව ‘නිසි බලධාරියා’ යන්න ‘ජනාධිපතිවරයා විසින් ඕනෑම පුද්ගලයෙකු නම් කරන ලද හෝ පත් කරනු ලැබුවහොත්, ඔහු නිසි බලධාරියා ලෙස පත් කෙරේ’ ලෙස අර්ථ දක්වා ඇති බව අප සැලකිල්ලට ගත යුතු ය. අංක 15 දරන රෙගුලාසිය ‘නිසි බලධාරියා’ සඳහා නිශ්චිත අර්ථ දැක්වීමක් සිදු නොකරයි. එමනිසා අපට මෙම පොදු අර්ථ දැක්වීම අංක 15 දරන රෙගුලාසියට යොදාගත හැකි බවට පූර්ව නිගමනයකට ඒමට හැකි ය.

ප්‍රකාශන සීමායනය

ප්‍රථමයෙන් ම, ජාතික ආරක්ෂාවට අගතිගාමී වන හෝ, ඒ හා සමාන අනෙකුත් සමහර අරමුණු ඇතිව කෙරෙන ප්‍රකාශනය සීමා කිරීමට (ශ්‍රී ලංකාවේ දී) හා එවැන්නක් සම්ප්‍රේෂණය සීමා කිරීමට (ලංකාවෙන් පිටතට) නිසි බලධාරියෙකු හට බලය ලබා දේ. මහජන සාමය සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම අනෙක් අරමුණු වේ. නිසි බලධාරියාගේ මතය අනුව නියෝග නිකුත් කිරීම තීරණය කෙරේ. යම් කිසි ‘ප්‍රකාශනයක් ‘ සම්බන්ධයෙන් මෙම රෙගුලාසියේ මුලික අවධානය යොමුවේ . කෙසේ හෝ, ‘සම්ප්‍රේෂණය’ යන යෙදුමට පෞද්ගලික ව වුවත් ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රදේශයක් හා තොරතුරු බෙදාගැනීම යන්න අන්තර්ගත වේ . නිසි බලධාරියාගේ නියෝග උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙක් වරදකරුවෙක් වේ.

පූර්ව වාරණය

දෙවනුව, නිසි බලධාරියෙකු හට පුවත් වාර්තා, කතුවැකි, ලිපි සහ කාටූන් වැනි ද්‍රව්‍ය ප්‍රකාශනයට පෙර ඔහු වෙත ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට හැකි ය. එමනිසා අංක 15 දරණ රෙගුලාසිය පූර්ව වාරණය සවිබල ගන්වන බවක් දක්නට ඇත. මෙම විධි විධානය සරල ව කියවා බැලීමෙන් නිසි බලධාරියාගේ මතයට අනුව ජාතික ආරක්ෂාවට හෝ ඒ හා සමාන අනෙකුත් සමහර අරමුණුවලට අගතිගාමී වන ඕනෑ ම ප්‍රකාශනයක් ආවරණය කිරීමට තරම් නිසි බලධාරියාගේ බලතල පුළුල් බව අවබෝධ වේ.

පුවත්පත් සහ මුද්‍රණාල

තෙවනුව, පුවත්පතක් ප්‍රකාශනය කිරීම සම්බන්ධයෙන් වරදක් හා බැඳේ නම් ජනාධිපතිවරයා හට එම පුද්ගලයාට (වරද සම්බන්ධයෙන් වරදකරු වූ) ශ්‍රී ලංකාවේ පුවත්පතක් ප්‍රකාශනය කිරීම තහනම් කිරීමට හැකි ය. විකල්පයක් වශයෙන්, නිසි බලධාරියෙකුගේ නියෝගයක් යම් පුද්ගලයෙකු උල්ලංඝනය කළහොත්, සහ එම උල්ලංඝනය පුවත්පතක් ප්‍රකාශනය කිරීම හා සබැඳේ නම්, හෝ පුවත්පතක ජාතික ආරක්ෂාවට හෝ ඒ හා සමාන අනෙකුත් සමහර අරමුණුවලට අගතිගාමී වන යමක් පළ වීමට ඉඩක් ඇති බවට නිසි බලධාරියා මතයක් පළ කරයි නම් නිසි බලධාරියා ට (නියෝගයක් නිකුත් කිරීම මඟින් ) එම පුවත්පත මුද්‍රණය, ප්‍රකාශනය සහ බෙදාහැරීම තහනම් කිරීමට හැකිය. උල්ලංඝනය කිරීමක දී නිසි බලධාරියා ප්‍රථමයෙන් ම එම පුද්ගලයාට අනතුරු ඇඟවීමක් කළ යුතු ය. කෙසේ නමුත්, ජාතික ආරක්ෂාවට හෝ ඒ හා සමාන අනෙකුත් සමහර අරමුණුවලට අගතිගාමී වන යමක් පළ වීමට ඉඩක් ඇති බවට මතයක නිසි බලධාරියා සිටී නම් අනතුරු ඇඟවීම අවශ්‍ය වේ.

අංක 15 දරණ රෙගුලාසිය ‘පුවත්පත’ ඕනෑම ආකාරයක ප්‍රකාශනයක් අන්තර්ගත විය හැකි බවට අර්ථ දක්වයි. මෙම අර්ථ දැක්වීමට අන්තර්ජාල (online) ප්‍රකාශන ඇතුළත් විය හැකි ය.

නිසි බලධාරියා විසින් කිසිදු කාරණයකට අදාළ මුද්‍රණාලය භාවිත කිරීම තහනම් කිරීම ද කළ හැකි ය. එමෙන් ම මුද්‍රණාලය අත්පත් කර ගැනීමට හෝ එය පිහිටි භූමිය අත්පත් කර ගැනීමට බලය පවරනු ඇත. එවැනි බලතල නිසි බලධාරියාගේ නියෝගයක විශේෂයෙන් සඳහන් පුවත්පතකට පමණක් අදාළ නොවේ. නිසි බලධාරියා විශේෂයෙන් සඳහන් කරන ලද පුවත්පතක අඩංගු කරුණු ම ඇතුළත් වෙනත් ඕනෑ ම පුවත්පතකට ද (කුමන නමකින් හෝ ඇති) එය අදාළ වේ. ජාතික ආරක්ෂාවට හෝ ඒ හා සමාන අනෙකුත් සමහර අරමුණුවලට අගතිගාමී වන ලේඛනයක් මුද්‍රණාලය විසින් මුද්‍රණය කිරීමට ඉඩක් ඇති බවට මතයක නිසි බලධාරියා සිටින අවස්ථාවල මුද්‍රණාලය අත්පත් කර ගැනීම දක්වා බලතල ව්‍යාප්ත වේ. එම ලේඛනය ප්‍රකාශනයට පත් කිරීමට කළ එකක් නොවූණ ද එය අදාළ නොවේ.

උපදේශක කමිටු

සිව්වනු ව, පුවත්පත් ප්‍රකාශනයක් හෝ මුද්‍රණාලයක් සම්බන්ධයෙන් නිසි බලධාරියාගේ නියෝගය පිළිබඳ අසතුටට පත් ව ඔහුගේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා බලතල ඇති ‘උපදේශක කමිටු’ එකක් හෝ කීපයක් ජනාධිපතිවරයා පත් කළ යුතු ය. සභාපති ද ඇතුළු ව එවැනි කමිටුවල සියලු සාමාජිකයන් ජනාධිපතිවරයා පත් කරයි. අදාළ පුවත්පතේ හිමිකරුට හෝ අදාළ මුද්‍රණාලයේ අයිතිකරුට ඔහු හෝ ඇය වෙනුවෙන් ජනාධිපතිවරයා හමුවේ නියෝජනයන් සිදු කළ හැකි බව සහ උපදේශක කමිටුවට විරෝධතා ඉදිරිපත් කළ හැකි බවට දැනුම් දීමට නිසි බලධාරියා රාජකාරීමය වශයෙන් බැඳී ඇත. උපදේශක කමිටුව ජනාධිපතිවරයා හට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එය අවලංගු කිරීම හෝ වෙනස් කිරීමක් වෙතොත් ඔහු විසින් එය සිදු කෙරේ.

අනෙකුත් වැරදි

අංක 15 දරණ රෙගුලාසියට අමතර ව, 32 සහ 33 යන රෙගුලාසිවල භාෂණය සහ ප්‍රකාශනයට සම්බන්ධ තහනම් පිළිබඳ අන්තර්ගත වේ. 32 රෙගුලාසිය මගින් ‘මහජන බියගැන්වීම්’ හෝ ‘මහජන කැළඹීම්’ ඇති කරවන කිසිදු ආකාරයක ‘කටකතා’ හෝ ‘සාවද්‍ය ප්‍රකාශන’ ව්‍යාප්තිය තහනම් කරයි. 33 රෙගුලාසිය තහනම් සංවිධානයක කිසිදු ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන්, හෝ ‘ත්‍රස්ත ව්‍යාපාරය’ සම්බන්ධයෙන් රජයේ විමර්ශනවලට අදාළ ව හෝ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම හෝ තොරතුරු ලබාදීම සිදු කරන ලේඛන මුද්‍රණය හෝ ප්‍රකාශනය තහනම් කරයි. උදාහරණයක් වශයෙන් මෙම නීතිය යටතේ නිල නොවන ආකාරයෙන් ලබාගත් බුද්ධි අංශ ලියවිල්ලක් ප්‍රකාශනයට පත් කිරීම තහනම් වනු ඇත.

ප්‍රතිවිපාක

15 රෙගුලාසියෙහි යම් විධිවිධානයක් පුවත්පතක් විසින් උල්ලංඝනය කළ විට එහි හිමිකරු, කළමනාකරු, සංස්කාරක සහ ප්‍රකාශක වෙන් වෙන් වශයෙන් සියල්ලෝම  වරදකරුවෝ වෙති.

15, 32 සහ 33 යන රෙගුලාසි යටතේ වරදක් සිදු කිරීමේ ප්‍රතිව්පාක රෙගුලාසි 49 හි සඳහන් වේ. වරදකරු වූවෙකු තුන් මසකට නොඅඩු සහ පස් අවුරුද්දකට නොවැඩි කාලයක බරපතල වැඩ සහිත සිරදඬුවමකට සහ රුපියල් පන්සියයකට නොඅඩු සහ රුපියල් පන්දහසකට නොවැඩි දඩ මුදලකට යටත් වන බව රෙගුලාසියේ සඳහන් ය.

ගෙහාන් ගුණතිලක | Gehan Gunatilleke

 

 

සංස්කාරක සටහන : මෙම ලිපිය Explaining Sri Lanka’s New Emergency Regulations on ‘Publication’නමින් 2019. 04. 25 වන දින අප සහෝදර Groundviews වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ අතර විකල්ප විසින් එය  ප්‍රකාශනයට’ බලපැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව හදිසි නීති රෙගුලාසි මොනවාද ? නමින් පරිවර්තනය කොට මෙලෙස පළ කෙරේ . මෙම ලිපියෙහි කතුවරයා නීතිඥවරයකු වන අතර Verite Research ආයතනයෙහි පර්යේෂණ අධ්‍යක්ෂවරයා ද වේ. මෙහි පුර්ව ඉංග්‍රීසි සටහන විමංසනය කිරීමට සිය වටිනා කාලය කැප කළ ලුවී ගනේෂතසන්, මල්සිරිනි ද සිල්වා සහ රෙහානා මොහොමඩ් යන අයට ඔහු ස්තුතිය පිරිනමයි.