iMAGE:GETTY IMAGES

ළමයා, දරුවාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය, ළමයාගේ කායික හා මානසික සංවර්ධනය, අප රටෙහි අනාගත දරු පරපුර වැනි වචන අප නිතරම අසන සහ අසන්නට ලැබෙන වචන අතර කිහිපයකි. එම වචන, රට මේ වන තෙක් පාලනය කළ සියලූ නායකයින් බහුලව භාවිතා කළ, එමෙන් ම එක් එක් සමාගම් නිෂ්පාදනය කරන භාණ්ඩ අලෙවියට භාවිතා කළ, විද්‍යුත් මාධ්‍යයන්ගේ උදෑසන ගුවන් කාලය ගෙවා දැමීමට ඒ ඒ ආයතන භාවිත කළ පුහු වචන බව, මේ දින රූපවාහිනිය නරඔන ඔබට නැවත නැවත පසක් වනු ඇත.

සන්නිවේදනය යන මාතෘකාව පිළිබඳව අධ්‍යනය කරන විට විවිධ අර්ථකථන, නිර්වචන ඇති අතර සියල්ලම පොදුවේ ඉලක්ක කරනු ලබන්නේ තොරතුරු දැනගැනීම, අදහස් ප‍්‍රකාශ කිරීම, රටේ සංවර්ධනයට භාවිත කිරීම, සමාජ දියුණුව සඳහා  භාවිත කිරීම වැනි පොදු මානයන් දෙසට ය. නමුත් එලෙස සන්නිවේදනය යන මාතෘකාවට, වැඩි වටිනාකමක් එකතු කරනු ලබන ටෙලිවිෂනය, ලංකාවේ ඉතිහාසයේ සිටම සහ වර්ථමානයේ බහුල වශයෙන් විෂම ලෙස ක‍්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට, පාසල් ළමුන් සමඟ  කටයුතු කරන, ළමා මානසික සංවර්ධනය ඇති කිරීමට උත්සහ කරන අයකු ලෙස ඇති වන්නේ ජුගුප්සාජනක හැඟීමකි .

ජන මාධ්‍යයක ප‍්‍රධාන අරමුණ වන්නේ මිනිසුන් විචාරවත් කිරීම, දැනුම අවබෝධය ඉහළ දැමීම මඟින් අනාගතයේ යහපත් සාමාජයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මග පෙන්වා දීම ය. නමුත්ර අද ජනමාධ්‍යය රටේ අනාගත පරපුර නැත්නම් ළමා මනස අත්හැර දමා, අමතක කරදමා වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් නරඹන නාලිකාව විමට උත්සහ කිරීම නිසා ඇති වී ඇත්තේ ඛේදවාචකයකි, එමෙන් ම රූපවාහිනි නාලිකා උක්ත වගකීම අතහැර දමා ඇති ආකාරය විශ්මය දනවන්නකි.

ශ‍්‍රි ලංකාවේ කිසිදු අංශයකට ප‍්‍රතිපත්තියක් නොමැති බව සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික වැනි සියලූ අංශ පිළිබඳව අධ්‍යනය කිරීමෙන් ඔබට මනාව පැහැදිළි වේ. එමෙන් ම, වර්තමාන දේශපාලන අධිකාරිය සහ මේ වන තෙක් රට පාලනය කළ සියලූ පාලකයින්ට රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණු බව ද සත්‍යයකි. ඉඳින් එවන් තත්ත්වයක් මත ළමා මනස සහ මාධ්‍ය හැසිරීම පිළිබඳව විවේචනය කිරීම උපහාසයක් ලෙසද දැනෙන්නට පිළිවන.

වර්තමානයේ ජාතික හා වානිජ මාධ්‍ය හැසිරීම, රටක අනාගත පරපුර තවත් වියවුල් කිරීමට බලපෑමක් සිදු කරමින් සිටී. පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය සහ පාතාලයේ පුද්ගලයින් පිළිබඳව දිගින් දිගටම දවස පුරා ප‍්‍රවෘත්ති විකාශනය කොට, එමෙන් ම ඔහුගේ වත්කම් පිළිබඳව මාධ්‍යය හරහා හෙළි කොට, එම පුද්ගලයා ශ‍්‍රි ලංකාවේ ලොකු කුඩා සියලූ දෙනාගේ වීරයකු වී ඇති බව, ඔහු පිළිබැඳ අදහස් ඉදිරිපත් කරන ආකාරයෙන් තහවුරු කරනු ලබයි. එවන් තත්ත්වයක් මත, දරිද්‍රතාවයෙන් පෙළෙන මෙවැනි රටක, මුදල් ඉපැයීම සඳහා අනාගතයේදී මේ ළමුන් සමාජ විරෝධි ක‍්‍රියාවන්ට යොමු වුවහොත්, එය විමතියට පත් විය යුතු කරුණක් නොවන්නේ ය.

එමෙන් ම ළමුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව, බොහෝ වැඩිහිටියන්ගේ මතය වන්නේ, මත්ද්‍රව්‍ය මුලූ ලෝකයේ ම මෙන්ම සමස්ත සමාජයේම සාමාන්‍ය තත්ත්වයක් බවත් ය. එය එසේම ය, එය එසේ නම්, මත්ද්‍රව්‍ය සමස්ත සමාජයේ සමාන්‍ය දෙයක් බවට පත් කළේ කවු ද? මෙතෙක් රට පාලනය කළ දේශපාලඥයින් සහ රූපවාහිනි මාධ්‍යය නොවේ ද?

එමෙන් ම මනුෂ්‍ය ඝාතන සහ ඝාතන උත්සහයන්ගේ ආරක්ෂිත කැමරා දර්ශන පෙන්වීම මඟින්  අනාගතයේ ඇතිවිය හැකි අවධානම් තත්ත්වයන් පිළිබඳ වගකීම භාරගනු ලබන්නේ කවර කණ්ඩායම් ද? ප්‍රචණ්ඩ හැසිරීම් සහිත විඩියෝ ක‍්‍රිඩා සහ එවැනි චිත‍්‍රපට හරහා ළමා මනස විකෘති භාවයට පත්වේ, යන්න පිලිබඳ ලෝක ළමා දිනයන් හී දි වැඩි වැඩියෙන් කථාකරන රූපවාහිනි මාධ්‍ය ආයතන, උක්ත අතිශය සංවේදී රූපරාමු විඩියෝ පෙන්වීම විතරක් ම නොව, ඇතැම් විට යම් යම් අධි සංවේදී සිදුවීම් වලට අදාල විඩියෝ දර්ශන නොමැති නම්, ත‍්‍රිමාණ සජීවි කරණය හරහා අදාළ සිදුවීම විකාශනය කරනු ලබන්නනේ කුමණ න්‍යයායකට යටත්වද? නමුත් ලෝකයේ අනෙක් රටවල, ඉතාම උසස් ගණයෙහි ලා සැළකෙන සියලූ රූපවාහිනි මාධ්‍ය ආයතන, උක්ත ආකාරයෙන්  මාධ්‍ය සදාචාරයට පටහැනි අකාරයට හැසිරෙන ආකාරයක් දැක ගැනීමට හැකි වන්නේ ඉතාම විරල අවස්ථාවන් හීදි ය.

ඉන් පසු මේ දිනවල රූපවාහිනි මාධ්‍යයන් හී වැඩිම ගුවන් කාලයක් වෙන් කරනු ලබන මාතෘකාව වන්නේ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය යි. මෙය ප‍්‍රහාරයට පෙර නවසීලන්තයේ පල්ලියකට එල්ල ප‍්‍රහාරයෙන් පසුව, එරට වගකීම් සහගත මාධ්‍ය එම ප‍්‍රවෘත්තිය විකාශනය කළ ආකාරය පිළිබඳව දර්ශන නොපෙන්වීමට වගකීම් සහගත වු ආකාරය විශේෂයෙන් කැපීපෙනෙන ලක්ෂණයකි.

නමුත් ශ‍්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ පාතාල ක‍්‍රියාවන් නැවත නැවත විකාශය කරමින්, ඔවුන්ගේ එම ක‍්‍රියාවන්ට වටිනාකම් එකතු කළ ආකාරයට ම, මෑතක සිදුවු ත‍්‍රස්තප‍්‍රහාරය නැවත නැවත විකාශය කොට ළමුන්ගේ සිත තුළ භිය හා භීතියට ඇති කිරීම හරහා ඇති වන මානසික පසුබටතාවය පිළිබඳව අංශූමාත‍්‍රයක තරම්වත් සංවේදී නොවීම, අතිශය භයානක තත්ත්වයකි.

මෙරට ඇති වූ අති බිහිසුණු ස්වාභාවික ආපදා ලෙස හඳුනා ගත හැකි සුනාමි තත්ත්වය, සාමසර කන්ද නායයෑම, ගංවතුර තත්ත්වයන් වැනි අවස්ථා වලදී පශ්චාත් ක්ලමත අක‍්‍රමතාවය (PTSD)  ලක්වු ළමුන් බොහෝ දෙනෙකු ඒ ඒ කඳවුරැ වල සිටි අතර, එමෙන්ම 2009 වසරේ යුද්ධයකට කොටු වූ තරුණ හා වැඩිහිටි කිහිප දෙනෙකු පශ්චාත් ක්ලමත අක‍්‍රමතාවයට  (PTSD)  මුහුණ දී මාස තුනක කාලයක් නින්දත් නොනින්දත් අතර ගත කළ ආකාරය පිළිබඳව  අසා ඇත. මෙලෙස පශ්චාත් ක්ලමත අක‍්‍රමතාවයට (PTSD)  ලක් වූ බෝහෝ පුද්ගලයින්, එම ව්‍යසනයන්ට සජීවීව මුහුණ දුන් ළමුන් හා වැඩිහිටියන් ය.

නමුත් මෑතක සිදුවු පිපිරීම් මාලාවට සජීවීව මුහුණ නොදුන් බොහෝ ළමුන් ද පශ්චාත් ක්ලමත අක‍්‍රමතාවයට (PTSD)  ලක්වීමට ඉඩ කඩ ඇත. එලෙස යම් මානසික පසු බෑමකට හෝ වියවුලකට ලක්වූ ළමුන්, ඔබ පරිසරයේ සිටී නම් මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ විකාශනය වන ප‍්‍රවෘත්ති වලින් ඈත් කර තබන ලෙස හෝ ඊට අදාල කටයුතු කරනු ලබන වෛද්‍යවරයකුට හෝ මනෝඋපදේශක වරයකුට යොමු කරන ලෙස දන්වා සිටීමට ද කැමැත්තෙමි.

පශ්චාත් ක්ලමත අක‍්‍රමතාවයකට පත් වූ ළමයකු, නැවත නැවත එම පිපිරීම පිළිබඳව  ප‍්‍රකාශ කිරීම, ප‍්‍රශ්න කිරීම, පාලනය කළ නොහැකි සිතුවිළි සහ මැවී පෙනීම වැනි තත්ත්වයක්, එම සිදුවීම සිදු වූ අවස්ථා , ස්ථාන, විද්‍යුත් මාධ්‍ය හරහා නැරඹීම සහ ඒ ආසන්නයට යෑමට අකමැති වීම, ගෙදර ඇති පිහි වැනි තියුණු ආයුධ වලට ඇති අනියත භිය, ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම, යම් මානසික හෝ කායික අපහසුතාවයකින් පෙළෙන බවක් දක්නට ලැබීම, මානසික ඒකාග‍්‍රතාවයකින් සිටීමට අපහසු වීම, හැම පුද්ගලයෙක් සහ දේවල් දෙස සැකයෙන් හා අනියත බයක් ඇතිව කථා කිරීම, එමෙන් ම නින්ද අපහසුතාවය වැනි තත්ත්වයන් දක්නට ඇත.

සියලූම මනුෂ්‍යයින් සමාජය හරහා ඉගෙනීම සිදු කරන බව සෑම දෙනෙකුම දන්නා කරුණකි. එය සමාජ ඉගෙනුම් න්‍යාය ලෙස මනෝ විද්‍යඥයින් ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස මාධ්‍ය විසින් වගකීම් විරහිත ආකාරයට හැසිරීම හරහා, සෘණාත්මක ප්‍රචණ්ඩකාරී  සිදුවීම් නිතර නිතර ඇස ගැටීම නිසා ළමුන්ගේ හැසිරීම අතිශය වියවුල් සහ ප්‍රචණ්ඩකාරී වීම වැළැක්විය නොහැක්කකි. එම තත්ත්වයන් බිහිසුණු චිත‍්‍රපට නරඹන සහ එවැනි විඩියෝ ක‍්‍රිඩාවේ යෙදෙන ළමුන්ගෙන් දක්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය  හා සමාන හෝ ඊට වඩා වැඩි වීම, මෙලෙස සත්‍ය සිදුවීම් නිතර නිතර විකාශනය හරහා ඇති කරන බව ප‍්‍රකාශ කළ යුතු ය. අවසන් වශයෙන් සඳහන් කළ  යුතුව ඇත්තේ, මීට වඩා ශ‍්‍රි ලංකාවේ මාධ්‍ය අයතන වගකීම් සහගත වීම අනිවාර්ය කරුණක් වන අතර, එමෙන් ම ශ‍්‍රි ලංකාවේ සියලූ වැඩිහිටියන්ගෙන් කළ යුතුව ඇති ඉල්ලීම වන්නේ, මේ දිනවල හැකිතාක් ළමුන් රූපවාහිනයෙන් ඈත් කර තැබීමට වගකීම් සහගත වන ලෙස ය.

         

සම්මිත මීගස්කුඹුර | Sammitha Meegaskumbura

 

 

සංස්කාරක සටහන : ලිපියේ කතුවරයා පාසල් උපදේශකයෙකු, අධ්‍යාපන අභිප්‍රේරක හා මතක සංවර්ධන වැඩසටහන්කරුවෙකු , පෞරුෂ හා නායකත්ව වර්ධන පුහුණු කරුවෙකු මෙන්ම විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය පිලිබඳ සම්පත්දායකයෙකු  ලෙස කටයුතු කරයි. හෙතෙම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර උපදේශකවරයෙකු වන අතර  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා විශේෂවේදී උපාධිධරයෙකු සහ උපදේශනය සම්බන්ධ ඩිප්ලෝමාධාරියෙකි.