Colombo, Featured Articles, Features

යුද අපරාධ සහ එජා සංවිධානය


යුද අපරාධ සහ එජා සංවිධානය – සුනන්ද දේශප්‍රිය

යුගෝස්ලොවියාවට අයත් වූ කොසෝවෝ හි රථ නැවතුමක් යට වසා දමා තිබූ 1990 ගනන් අග භාගයට අයත් සාමූහික මිනී වළක් සොයා ගෙන ඇතැයි පසුගිය මැයි 10 දින ලංඩනයේ පළ වන ගාර්ඩියන් පුවත්පත වාර්තා කළා ය. මෙම වළෙහි කොසෝවෝ ඇල්බේනියානුවන් 250කගේ සිරුරු ඇති බවත් ඉක්මණින්ම ඒවා ගොඩ ගැනීමට කටයුතු කරනු ඇති බවත් පුවත්පත තවදුරටත් වාර්තා කළා ය. 1988 සහ 1990 අතරතූර දී සර්බියානු හමුදා විසින් කොසෝවෝහි ජීවත් වූ 10,000ක් තරම් ඇල්බේනියානුවන් ඝාතනය කළේ යැයි කියනු ලැබේ. දැන් මෙම සාමුහික මිනීවළවල් සොයා ගනු ලැබෙමින් තිබෙන්නේ ඉන් වසර 10කට පසු ය. මෙම සොයා ගැනීමෙහි වැදගත්කම වූයේ එය දැන් අන්තර් ජාතික යුද අධිකරණයෙහි විභාග කැරෙමින් ඇති යුද අපරාධ පිළිබද නඩු විභාගයකට සම්බන්ධ වී තිබීම නිසා ය. ඒ එකළ සර්බියානු නායකයෙකු වූ රදෝවන් කරඩිස්ට විරුද්ධව ඇති යුද අපරාධ නඩුව ය. හිටපු සර්බියානු නායකයිනට එරෙහිව පැවැත්වෙන මෙවැනි නඩු විභාග පෙළකට එරෙහිව සර්බියානු ජාතික පිරිස් විවිධ විරෝධතාවයන්හි නිරත වෙමින් සිටිති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට පසුගිය දා පැවැති එවැනි උද්ඝෝෂනයක් ලොව පුරා උණුසුම් පුවතක් බවට පත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංචනය පසුබිමෙහි ඇතිව බුර බුරා නැගෙන ගිනිදැල් මැද බැං කී මූන් ගේ අනූරූ හිස යකඩ වැටකට යටවී පොඩි පට්ටම් වී තිබෙන ජායාරූපය එම උද්ඝෝෂනයේ අරමුණ ද ස්වභාවය ද අපූරුවට සටහන් කළේ ය. කළහකාරී ස්වභාවයක් ගත් පාර්ලිමේන්තු මංත්‍රී විමල් වීරවංශ විසින් නායකත්වය දෙන ලද මෙම විරෝධය එල්ල වූයේ එල්ටීටීඊ ය සමඟ පැවැති යුද්ධය අතරතුර සිදු කරන ලදැයි කියන මනුෂත්වයට එරෙහි අපරාධ සමබන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි නිර්දේශ කිරීම පිනිස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙනි.

යුද අපරාධ නැත්නම් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අලුත් දෙයක් නොවේ. එමෙන්ම ඒ අරභයා ඇතිව තිබෙන අර්බූදයන් ද අලුත් දෙයක් නොවේ. 2009 ජනවාරි මාසයේ දී ගාසා තීරය ආක්‍රමණය කරමින් කරන ලද යුද මෙහෙයුම අතරතුර දී ඊශ්‍රාලයේ හමුදා විසින් අන්තර් ජාතික මානූෂිය නීතිය සහ මානව හිමිකම් නීති බරපතල ලෙස කෙළෙසන ලද බවට එම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී වාර්තාවක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඒ සඳහා පත් කරන ලද කමිටුවෙහි ප්‍රධානී, විනිසුරු රිචාර්ඩ් ගෝල්ඩ්ස්ටොන් කියා සිටියේ ඊශ්‍රායලයේ ආරක්ෂ හමුදා විසින් යුද්ධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කර ඇති බවට සාක්ෂි තිබෙන බව යි. “කෙලින්ම පලස්තීන වැසියන් ඉලක්ක කර කරන ලද ප්‍රහාරයන් යුද අපරාධ ලෙස සැළකිය යුතු ය” යැයි එම වාර්තාව කියා සිටියා ය. එමෙන්ම එය කියා සිටියේ අනවශ්‍ය තරමේ යුද බලයක් යෙදවීම මගින් ඊශ්‍රායලය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කර ඇති බව යි. මෙම පරීක්ෂණ කමිටුවේ වාර්තාව පිටු 575ක් වු අතර එය ගාසා තීරයේ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් විසින් සිවිල් වැසියන් ඉලක්ක කර ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම ද යුද අපරාධ ගණයට වැටෙන බව ද කියා සිටියා ය. එම වාර්තාව නිර්දේශ කර සිටියේ දෙපාර්ශවය ම විශේෂයෙන් ඊශ්‍රායෙල් යුද හමුදා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිය යුතු බව පෙනී යන හෙයින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂ මණ්ඩලය නිසි ගවේෂනයක් සිදුකර අවශ්‍ය පියවර ගත යුතු බව යි. එපමණක්ම නොවේ. ඊශ්‍රායලය නිසි ලෙස නිර්දේශ ක්‍රියාත්මක කරන්නේද යන්න පරීක්ෂාවෙන් සිටීමට විශේෂඥ මණ්ඩලයක් පත් කරන ලෙසත් දිගින් දිගටම මනුෂ්‍යත්වයට එරෙහි යුදමය ක්‍රියා සිදුවන්නේ නම් ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයට වාර්තා කරන ලෙසත් එම වාර්තාව කියා සිටියා ය. දිගින් දිගටම යුද අපරාධ ගණයේ ලා සැළකෙන ක්‍රියාවන්හි යෙදෙන්නේ නම් පලස්තීන අධිකරයන් පිළිබඳවද එම පිළිවෙතම අනුගමනය කළ යුතු බව එය තවදුරටත් කියා සිටියා ය.

විනිසුරු ගොල්ඩ්ස්ටොන් ගෙන හැර පෑ එක් උදාහරණයක් වූයේ අගමික මෙහෙයක් පැවැත්වෙන අතරතුර මුස්ලිම් දේවස්ථානයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් බැතිමතුන් 15 දෙනෙකු මියයාමේ සිදු වීමයි. මෙම දේවස්ථානය සන්නද්ධ කණ්ඩායම් විසින් සිය ආරක්ෂ ස්ථානයක් ලෙස යොදා ගත්තේය යන චෝදනාව සත්‍ය විය හැකි වුවද “අන්තර් ජාතික මානුෂීය නීතිය යටතේ ආගමික මෙහෙයක් පැවැත්වෙන අතරතුර දේවස්ථානයකට මෝටාර් ප්‍රහාරයක් එල්ල කිරීම සාධාරණ කළ නොහැකි ය” යැයි ඔහු කියා සිටියේ ය.

ඊශ්‍රායලයට යුද අපරාධ එල්ල වීමේ අනතුර දැන් වෙන කවරදාටත් වඩා ප්‍රබලය. පසුගිය මැයි 31 දා ගාසා තීරයට මානුෂිය ආධාර රුගෙන යමින් තිබූ නෞකා සමූහයක එක් නෞකාවකට පහර දී 19 දෙනෙකු මරා දැමීමෙන් පසු ඒ පිලිබඳ අන්තර් ජාතික පරීක්ෂණ කමිටුවේ නායකත්වය බාර ගත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කෙහොන ය. තවම එම වාර්තාව නිකුත්ව නැත.

යුද අපරාධ පිළිබද අන්තර් ජාතික මැදිහත්වීම් දෙවන ලෝක යුද්ධය කරා දිව යයි. නියුරම්බර්ග් නඩු විබාග යනුවෙන් හඳුන්වන ලද නාසිවාදී ජර්මානු නායකයිනට එරෙහිව පවත්වන ලද යුද අපරාධ නඩු විභාග ඒ අතර ප්‍රමුඛ ය. එමෙන්ම මෑත කාලයෙහි වඩා ප්‍රසිද්ධියක් ලබා ගත්තේ යුගොස්ලොවියාවෙහි හිටපු ජනාධිපති ස්ලොබදොන් මිලෙසෙවික්ට එරෙහිව පස් වසරක් පුරා අන්තර් ජාතික යුද අධිකරණයෙහි පැවැති නඩුව ය. නඩු විභාගය අවසන් වීමට පෙර මිලෙසොවික් සිර ගෙදරදීම මිය ගියේ ය. නඩු විභාගය නතර කරන ලද අතර තීන්දුවක් ලැබුණේ නැත.

වත්මන් අන්තර් ජාතික යුද අපරාධ නීතියේ ඇති විශේෂත්වයක් නම් රටක් හෝ හමුදාවක් විසින් කරනු ලබන යුද අපරාධ සම්බන්දයෙන් තනි පුද්ගලයකුට නඩු පැවැරිය හැකිය යන පිළිගැනීම යි. යුද අපරාධ යන සංකල්පය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ එකකි. ඊට පෙර සාමාන්‍යයෙන් කල්පනා කරනු ලැබුවේ යුද්ධයේ දී ඇතිවන මානුෂීය ඛේදවාචක ස්වභාවික දෙයක් බව යි.

ජර්මනියේ නාසි පාලකයින් විසින් දෙවන ලෝක යුද සමයේ දී දසලක්ෂ ගණනින් යුදෙව් ජාතිකයින් මරා දැමීම සහ ජපාන හමුදා විසින් යුද සිරකරුවන් සහ සාමාන්‍ය ජනයා මත පනවන ලද කුරිරු හිංසා පීඩා යනාදිය නිසා මිත්‍ර පාක්ෂික රටවල් විසින් එවැනි අපරාධයන්ට සම්බන්ධ වූ පිරිස් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට තීරණය කරන ලදී. 1945 සහ 1946 කාලයේ පැවැති නියුරම්බර්ග් නඩු විභාග විසින් නාසි ප්‍රධානීන් 12 දෙනෙකුට මරණ දඩුවම ලබා දෙන ලදී. ජපානයේ ටෝකියෝ හි පැවැති එවැනිම නඩු විභාග විසින් ජපාන යුද සෙන්පතියන් 07 දෙනෙකුට මරණ දඩුවම ලබා දෙන ලදී.

වර්ථමානයේ නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන යුද අපරාධ අධිකරණය බිහි වූයේ එකී අත්දැකීම් පසුබිම්කර ගෙන ය. ජන ඝාතනය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, යුද්ධය අතරතුර සිවිල්වැසියන් හෝ සටන්කරුවන්ට නපුරු ලෙස සැළකීම යනාදී සියල්ල යුද අපරාධ ඝනයේ ලා සැළකෙන නමුත් ඉන් ප්‍රධාන කොට සැළකෙන්නේ ජන ඝාතනය යි. අන්තර් ජාතික යුද අපරාධ නීතිය යුද අපරාධ මෙසේ නිර්වචනය කරයි:

යුදමය අවශ්‍යතාවයන්ට බැහැරව නගර, ගම්මාන, යනාදිය විනාශ කිරීම,
ආරක්ෂාවක් නැති නගර, ගම්මාන, ගේ දොර සහ ගොඩනැඟිලි ප්‍රහාර හෝ බෝම්බ දැමීම හෝ මගින් විනාශ කිරීම,
ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික යනාදී ස්ථාන අල්ලා ගැනීම හෝ විනාශ කිරීම හෝ අලාභ හානි කිරීම
පොදු දේපල විනාශ කිරීම

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යනු සන්නද්ධ ගැටුම් කාලයක් තුළ සිවිල් ජනයාට එරෙහිව කැරෙන අපරාධයන් ය. මරා දැමීම්, වහල්භාවයට ගැනීම, පිටුවහල් කිරීම, සිර ගත කිරීම, කුරිරු වධහිංසා පැමිණවීම, ලිංගික කෙළසීම, දේශපාලන, වාර්ගික හෝ ආගමික පදනම් මත නඩු පැවරීම සහ දඩුවම් කිරීම යනාදිය ඊට ඇතුළත් වේ.
මෙම චෝදනා මත කවරකුට හෝ යුද අපරාධ මත නඩු පැවැරීම ලෙහෙසි නැත. මන්ද යත් යුද්ධයේ අවශ්‍යතා වෙනුවෙන් යම් යම් ක්‍රියා අත්‍යවශ්‍ය වූ බවට තර්ක කළ හැකි නිසා ය. අනෙක් අතට යුද අපරාධ සම්බන්දධයෙන් නඩු පැවැරීමට නිශ්චිත කාල සීමාවක් නැත. වසර 25කට පසු හෝ සාක්ෂි ඉදිරිපත් කළ හැකි නම් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ හැකි ය. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් නඩු පැවැරීමට අති විශාල අපරාධ කර තිබීම අවශ්‍ය වන්නේ ද නැත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ තාක් යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර නැත. එහි මහ ලේකම්වරයා විසින් පත් කරනු ලැබ ඇති කමිටුවද එවැනි කමිටුවක් නොවේ. එම කමිටුවේ සභාපති වන ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මෙන්ම අනෙක් සාමාජිකයෝ ද මෙවැනි වාතාවරණයන් සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති අය වෙති. ඔව්න් විසින් ශ්‍රී ලංකාවට අවාසි දායක අසත්‍ය වාර්තාවක් සපයනු ඇතියි සිතීමට ද කරුණු නැත.

අනෙත් අතට අප දන්නා කාරණයක් නම් සත්‍ය දිර්ඝකාලීනව සඟවා තබා ගත නොහැකි බව යි. එක්සත් ජාතීනගේ විශේෂඥ කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලංකාණ්ඩුව තීරණය කළේ නම් සිදුවන්නට තිබුණේ අවාසියක් නොව වාසියකි.