iMAGE: Vikalpa

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන් මඟින් සමාජය කෙරෙහි ඇති කළ තුවාල තව තවත් පැසවමින් සහ විසකුරු වෙමින් පවතී. යම් විනාශයට පත් වින්දිතයන් හැරුණු කොට සෙසු සියල්ලන් විසින් බොහෝ දේවල් කාලයාගේ ඇවෑමෙන් අමතක කර දැමීමට පුරුදුව ඇති සමාජයක, හිතූ තරම් ඉක්මණින් හෝ ප‍්‍රාර්ථනා කළ තරම් ඉක්මණින් ඒ තුවාල සුව වන බවක් පෙනෙන්ට නැත. දශක තුනක යුද්ධය තුළ ජීවිත අහිමි කරගත් හෝ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඉරණමත් බයංකාර වීමට හොඳටම ඉඩ ඇති බව පෙනේ. ඒ කාලයේ ඇති වූ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් සොයා බැලෙන, ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් උත්තේජනය සපයනු ලබන සංක‍්‍රාන්තික යුක්තිය පිළිබඳ ක‍්‍රියාවලිය, මේ වන විට පාස්කු ඉරිදා ප‍්‍රහාරයන් විසින් ඇති කළ දේශපාලනික ආන්දෝලනයේ අවධානය තුළ, අයාලේ ගොස් ඇති බවක් පෙනේ.

225 දෙනෙකුට ජීවිත අහිමි කළ, මාරක බෝම්බ ප‍්‍රහාර හයෙන් දෙමසක් ගතව ඇති මොහොත වන විට, රටේ වෙසෙන වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් එකිනෙකාගෙන් දුරස් වීම වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. පළාත් පාලන ආයතන පවා මේ විදිහට භේද භින්න වෙමින් තිබේ. නැගෙනහිර කල්මුනේ නගරයේ දැනට බලය හොබවන මුස්ලිම් ප‍්‍රජාවට සමාන වන ආකාරයෙන් තමන්ටත් බලය තිබිය යුතු බවට ඒ පළාතේ දෙමළ සහ සිංහල ප‍්‍රජාවන් එක්ව ඉල්ලා සිටිති. ජනතාව එකිනෙකාගෙන් ඈත් කරවන මෙකී නැමියාවට, ආගමික පූජක පංතියේ ඉහළම ස්ථරයත් යට වන බවක් පෙනේ. වඩාත් සර්වසාධාරණ සමාජ වටිනාකම් සමාජයට දේශනා කරතැයි අපේක්ෂා කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා ඊට ගොදුරු වී සිටිති. එවැනි එක් ආගමික පාර්ශ්වයක මහනායක භික්ෂුවක්, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නැයි මෑතකදී තමන්ගේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. උපදින්නට තිබුණු ජීවිත දහස් ගණනක් නැති කරමින් නීති විරෝධී වෛද්‍ය භාවිතාවක නිරතව ඇති බවට චෝදනාවට ලක්ව සිටින වෙනත් ජාතියක පුද්ගලයන් ගල් ගසා මැරීම පවා උන්වහන්සේ අනුදැන වදාරා ඇත.

මනුෂ්‍යයාගේ සෑම ස්වභාවයකම මූලය සිත වන නිසා, ඉහත කී සමස්තය අතිශය අතාර්කික වන්නේ වී නමුත් එය මාරාන්තික ප‍්‍රතිවිපාක ගෙනදිය හැකි කාරණයක් ද විය හැකිය. අභූත දේවල් ගැන අප විශ්වාස කරන්නේ නම්, ඒ අභූත විශ්වාසයන් මහා ක‍්‍රෑරත්වයක් බවට පත්කිරීමටත් අපට හැකියාව ලැබෙන්නේය. මහජන කලකෝලාහල සහ ජාතීන්ට එරෙහි අපරාධ ආදිය ඊට අන්තර්ගත වෙයි. ඒවා, ලෝකයේ වෙනත් තැන්වල මෙන්ම ලංකාවේ ද ඇති වී තිබේ. රුවන්ඩාවේ එක ජාතියකට අයත් මිනිසුන් කැරපොත්තන් වශයෙන් හඳුන්වමින්, දින කිහිපයක් ඇතුළත ඒ ප‍්‍රජාවෙන් දස ලක්ෂයක් මිනිසුන් ඝාතනය කෙරුණි. ඝාතකයන් සහ එසේ ඝාතනයට ලක්වූ මිනිසුන් අයත් වුණේ එකම ආගමකට ය. එහෙත් වෙනස් ගෝත‍්‍රයකට අයත් වීම ඒ විනාශයට හේතුකාරක කර ගැනුණි. දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධයේ නිමාවෙන් දස වසක් ගෙවෙමින් තිබුණු අවස්ථාවක, ඒ වන විට මහත් වියදමකින් අප උපයාගෙන තිබූ සාමය තිරසාරව තිබෙතැයි ශ‍්‍රී ලාංකිකයෝ සිතූහ. එහෙත් කිසිම අභ්‍යන්තරික තර්කයකට හසු නොවන මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් පාස්කු ඉරිදා කිතුණුවන් විශාල පිරිසක් ඝාතනය කරනු ලැබීම මගින් එම විශ්වාසය කඩාවැටුණි.

අතීත සාක්ෂි

අද වන විට අප දරුණු අවදානමේ මුවවිටට පත්ව ඇති තරම විවිධ ආකාරයෙන් පෙන්නුම් කෙරේ. තමාව යම් වරදකට නතර කළ රථවාහන අංශයේ එක් පොලිස්කාරයෙක්, තවත් ප‍්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී ඇතැයි තමාට කී බව මගේ සගයෙක් මට කීවේය. එහෙත් එය මොන විදිහේ ප‍්‍රහාරයක් ද, කොහේ සිදුවීමට නියමිත එකක්ද ආදී කිසි තොරතුරක් කියා නැත. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පසුගිය ඉරිදා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පාරේ සිටි බවත් කියැවේ. එහෙත් එවැනි ප‍්‍රහාරයක් සිදු වුණේ නැත. ඇත්තෙන්ම තවත් බෝම්බයක් පිපිරුණේ නම් සහ බොහෝ ජීවිතත් විනාශ වූයේ නම් සියල්ල නැවතත් මහා අවුලකට පත්වෙනු නියතය . මුස්ලිම් පල්ලිවල සහ ඒ ජනතාවගේ නිවෙස්වල තිබී කඩු විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව තවත් මා දන්නා කෙනෙක් මට කීය. වැරදි කර හසුවන අයගේ අත් පා කපා දමන මුස්ලිම් රටවල සිරිත ගැනත් ඔහු කීවේය.

මේ කඩු පිළිබඳ සිද්ධිය කීමෙන් පමණක් සෑහීමකට පත් නොවුණු මොහු මීට අවුරුදු දෙදහසකට කලින් ඉන්දියාවේ තිබුණු බෞද්ධ රාජධානි ගැනත්, බෞද්ධ භික්ෂූන් දහස් ගණනක් ඝාතනය කළ මුස්ලිම් ආක‍්‍රමණිකයන් සුප‍්‍රකට ඓතිහාසික ඉන්දීය බෞද්ධ විද්‍යායතනය වන නාලන්දාව ගිනිබත් කොට විනාශ කළ සැටිත් මට කීවේය. බෞද්ධයන් කෙරෙහි මුස්ලිම් ආගමිකයන්ගේ හොඳ හිතක් ඇතැයි ඔහු කොහෙත්ම විශ්වාස නොකරයි. ඇත්ත වශයෙන්ම, බොහෝ දෙනාගේ හිත් තුළ අහේතුක බියක් පවතී. එය ඔවුන්ගේ සිත් තුළට කා වැදී ඇත. මුස්ලිම් නොවන පුද්ගලයන් වඳ භාවයට පත්කරමින් එම ජන කොටස්වල ප‍්‍රමාණය කුඩා කිරීම අරමුණු කරගෙන මුස්ලිම් ජාතිකයන් විසින් බෙදා හරිනු ලබතැයි විශ්වාස කරන වඳ බෙහෙත් වර්ග පිළිබඳ බිය නිසා මුස්ලිම් මිනිසුන්ගේ තැන්වලින් කෑම ගැනීමෙන් වළකින්නැයි මොවුහූ සෙස්සන්ට කියා දෙති.

සිසේරියන් ශල්‍යකර්ම කරන අතරතුරේ දහස් ගණන් ගැහැනුන් වඳ භාවයට පත්කළ හැකි වන සේ කටයුතු කිරීමට තනි වෛද්‍යවරයෙකුට හැකියාවක් තිබිය නොහැකි බව මා කියන විට බොහෝ දෙනා කට අයා බලා සිටින සැටි මා දැක තිබේ. එම බොරු කතාව සිදුවිය හැකි සත්‍යයකැයි ඇත්තෙන්ම ඔවුන් විසින් විශ්වාස කරනු ලබන බවට එය ඉඟියක්දැයි මට සිතී ඇත. මේ ගැන පරීක්ෂා කර බැලීමට ආණ්ඩුව දැන් වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් පත්කොට ඇත. එහෙත් එය ප‍්‍රමාණවත් නැතැයි කියමින් තවමත් පෙළපාලි සහ උද්ඝෝෂණ ආදිය පැවැත්වේ. සිංහල ගැහැනුන් වඳ භාවයට පත්කළා යැයි කියන වෛද්‍යවරයාගේ කතාව මා විශ්වාස නොකරන බව කියන්නේ, සිසේරියන් සැත්කමකදී, තවත් වෛද්‍යවරුන්, හෙදියන් සහ සහායකයන් වැනි පිරිසක් එම කාර්යයට සහභාගී වන නිසා තනි වෛද්‍යවරයෙකුට එවැන්නක් කිරීමේ ඉඩක් නැති නිසා ය. එහෙත් මගේ කතාව අසා සිටින පිරිස් ඒ තර්ක පිළිගැනීමට සූදානම් නැති බව පෙනේ.

දැන්ම කළ යුතු දේ

මෙසේ ජාතීන් වශයෙන් සහ ආගම් වශයෙන් භේදභින්න වීම නිසා, එකිනෙකා කෙරෙහි වන අවිශ්වාසයත්, වෛරයත් තවත් වැඩි වීමකට මිස සමහන් වීමකට ඉඩක් ඇති බවක් පෙනෙන්ට නොතිබීම අභාග්‍යයකි. එසේ වීමට හේතු දෙකක් තිබේ. එකක් වන්නේ ව්‍යාපාරික තරගකාරීත්වයයි. වැරදි සහ දූෂමාන ආරංචි පතුරුවා හැරීමෙන් ප‍්‍රාදේශීය මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේද ව්‍යාපාරික වාසි ලබන සමාජ කොටස් සිටිති. යම් ජාතියක ව්‍යාපාර වර්ජනය කිරීමේ ප‍්‍රයත්නයන් පැනනගින්නේ එකී අවශ්‍යතාවයෙනි. එය ජාතීන් අතර තව තවත් වෛරය ඇවිලවීමට තුඩුදීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. දෙවැනි කාරණය වන්නේ, මේ වන විට රටම මැතිවරණ පරිසරයකට සුසර වෙමින් සිටීමයි. වාර්ගික සහ ආගමික හැඟීම් උසිගැන්වීම ඇතුළු ඕනෑම ක‍්‍රමයකින් එකී මැතිවරණ සඳහා වන යම් වාසියක් තමන්ට ලබා ගැනීම හැම පාර්ශ්වයකම දේශපාලඥයන්ගේ සිරිතයි.

මෙවැනි අවාසනාවන්ත තත්වයකදී, සෑම පක්ෂයකම දේශපාලඥයන් විසින් කළ යුතුව ඇති මුත් නොකරන හරින අධ්‍යාපනික කාර්ය භාරයක් තිබේ. එය සිවිල් සමාජයේ දැනුවත් කොටස් විසින් කඩිනම්ව අතට ගත යුතුව තිබේ. විශේෂයෙන්, ශ‍්‍රී ලංකාව වාසභූමි කරගෙන සිටින මුස්ලිම් ජනතාව, තමන් අයි.එස්. සංවිධානයට අනුබද්ධ ත‍්‍රස්තවාදී න්‍යාය පත‍්‍රය සමග මොන ආකාරයකින්වත් සම්බන්ධ නැති බවත්, එය කෙලෙසකින්වත් අනුමත නොකරන බවත් ප‍්‍රසිද්ධියේ සනාථ කළ යුතුය. එය වරක් දෙවරක් නොව, මේ අර්බුදය අවසන් කර ගන්නා තෙක් ඔවුන් නිරතුරුව කළ යුතු වන්නේය.

එසේම, යම් කඩු ප‍්‍රමාණයක් සොයා ගනු ලැබුවේ, ලංකාවේ තිබෙන මුස්ලිම් පල්ලි දහස් ගණනක් අතරින් දෙකකදී පමණක් බවත්, එසේ තිබියදී විශාල පල්ලි ප‍්‍රමාණයකින් කඩු සොයාගනු ලැබුවේ යැයි කීම බොරුවක් බවත් ප‍්‍රචාරක මාධ්‍ය හරහා සමාජයට කියා දීම වැදගත් ය. මේ ආකාරයෙන්ම මුස්ලිම් ජාතිකයන් විසින් ආහාරවලට වඳ බෙහෙත් මිශ‍්‍ර කර සපයන බවට ඇති මිථ්‍යාවත් එම ප‍්‍රචාරණයන් ඔස්සේ නිරාවරණය කළ යුතුව ඇත.

තමන්ගේ ව්‍යාපාරික ප‍්‍රචාරණයන් සඳහා වෙළඳ සමාගම් වැය කරන මිලියන හෝ බිලියන ගණන් වන විශාල ධනය මේ හදිසි සහ අත්‍යාවශ්‍ය කාර්යය සඳහා යෙදවිය යුතුව තිබේ. මුද්‍රිත සහ විද්‍යුත් යන මාධ්‍ය දෙකෙන්ම ප‍්‍රචාරය වන ප‍්‍රවෘත්ති සේවාවන් මේ සඳහා යොදා ගත හැකිය. තමන්ගේ වාසිය සඳහා, ජාතීන් අතර විරසක ඇති කරන බොරු තොරතුරු සමාජගත කරන පිරිස්වල ව්‍යායාමයන් ව්‍යර්ථ කළ හැකි වන තරමට එය ශක්තිමත් සහ ප‍්‍රබල ප‍්‍රචාරණයක් විය යුතුව තිබේ. ජනතාව දැනුම්වත් කිරීමේ ඒ අධ්‍යාපනික වැඩපිළිවෙල, අඩු වශයෙන්, ඊළඟ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අලූත් ආණ්ඩුවක් පිහිටුවා ගන්නා තෙක්වත් ඉදිරියට කරගෙන යා යුතුව ඇත. ඉන් පසු අලූතෙන් පත්වන ආණ්ඩුවට, අසත්‍ය මැඩලමින් සත්‍යය නිරාවරණය කිරීමේ කාර්යයට අවශ්‍ය කරන සදාචාරමය දැක්ම සහ විශ්වසනීයත්වය තිබෙති යි අපි අපේක්ෂා කරමු. එසේ වන තෙක්, ශ‍්‍රී ලංකාව ගමන් කරනු ඇත්තේ, සාමය සහ වියවුල අතර වන දුෂ්කර සහ අසීරු මාවතක ය. ඕනෑම අවස්ථාවක පුපුරා යා හැකි අවදානමක ය.

ආචාර්ය ජෙහාන් පෙරේරා

 

2019 ජුනි 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, ආචාර්ය ජෙහාන් පෙරේරා ලියූ, ‘Counter Potential for Anti-Muslim Actions through Education Campaign’ යන ලිපිය  “දැනුම්වත් කිරීමේ ව්‍යාපාර ඔස්සේ මුස්ලිම්-විරෝධය මැඩලිය හැකි ශක්‍යතා සපයා ගැනීම’’ නමින්  සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.