Colombo, Featured Articles, Features

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි – සුනන්ද දේශප්‍රිය

ඒ මෙයට වසර විසි දෙකකට පෙරය. ඇමෙරිකාවේ ටෙක්සසාස් හි ඒඇන්ඩ්එම් සරසවි බිමෙහි තනි පුද්ගලයකු “ කාම්බෝජයේ ඝාතන නතර කරනු” යනුවෙන් ලියූ පුවරුවක් ඔසවා ගෙන යනෙන පුද්ගලයින් සමඟ කතා කිරීමට උත්සාහ දරමින් සිටියේ ය. “එක් දවසකට තුන් දෙනෙක් මගේ කතාව ඇහුවා නම් මගේ දවස සාර්ථක යි” කියා කීමට පුරුදුව සිටි ඒ මිනිසාගේ නම යුක් වාන්ග් ය. ඔහු කියා සිටියේ කාම්බොජයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහිව සටන් කර කාම්බෝජයේ බලයට පත් වූ කමර් රූජ් පාලනයට විසින් එරට කරනු ලබන මිනිස් ඝාතන නතර කිරීමට සහාය ලබා දෙන ලෙස ය.
“හුඟ දෙනෙක් මං ගැන දුක හිතන්න ඇති. අනේ අර කෙට්ටු කාම්බෝජ අනාථයා” කියලා. “ ඒත් මොනව හරි කරන්න ඕන කියන හැගීම මගේ ඇඟේ තිබුණ” යැයි යුක් චාන්ග් කිය යි.

තව දින පහකින් එනම් 2010 ජූලි 26 දා යුක් චාන්ග් අපේක්ෂා කළ යුක්තිය සංකේතාත්මකව ඉටු වනු ඇත. කාම්බෝජ ජන ඝාතනයේ එක් මිනීමරු පාලකයකු වූ ඩච් පිළිබඳ ඇසුණු නඩුවෙහි තීන්දුව එදින කාම්බෝජ යුද අපරාධ අධිකරණය විසින් දීමට නියමිත බැවැනි. මෙම යුද අධිකරණය පවත්වා ගෙන යන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කාම්බෝජයේ අගනුවර වන නෙම්පෙන් හි ය.

ලී දහසක සංවාරයක් ඇරඹෙන්නේ එක් පියවරකින් යැයි කියනු ලැබේ. ලෝකය වෙනස් කළ සෑම ව්‍යාපාරයක් ම ඇරඹී ඇත්තේ එක් මිනිසකු සිත පහළ වූ අදහසක් තවත් මිනිසකුට කීම මගිනි. එනයින් ම යුක් චාන්ග් වැනි මිනිසුන්ගේ ව්‍යායමය ද වසර 19කට පසු පල දැරුවේ ය. 2006 ජූලි 17 දා කාම්බොජය පාලනය කළ කෙමර් රූෂ් යුද්ධ අපරාධ විභාග කිරීම පිණිස අන්තර් ජාතික විනිසුරන් 10 දෙනෙකු එරටට පැමිණියේ ය. ඒ ලක්ෂ 15ත් 20ත් අතර ජනතාවක් වසර හතරක කෙටි කාලයක් තුළ ඝාතනය කල කෙමර් රූෂ් පාලකයිනට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කරනු පිණිස ය. ඒ වන විට කමර් රූජ් පාලනයේ නායකයා වූ පොල්පොට් ගේ නමින් කුප්‍රසිද්දියට පත් එකී ඝාතන දේශපාලනය පොල්පොට්වාදය නමින් දේශපාලන ඉතිහාසට එක්ව තිබුණි.

ගොවි පවුලක ඉපදුණු පොල් පොට් වයස 20ක් වූ 1949 දී වැඩිදුර අධ්‍යාපනය පිණිස පැරීසියට ගියේ ය. අධ්‍යාපනය අතහැර රුඩිකල් මාක්ස්වාදී අදහස් වැළඳගත් පොල්පොට් 1953 දී ආපසු සිය රට පැමිණ එරට කොමියුනිස්ට් පක්ෂයට බැදුණි. 1962 වන විට පක්ෂයේ නායකයා බවට පත් පොල්පොට් දී කාම්බොජ පාලකයා වූ නරදොම් සිහනුක්ගේ මර්දනයෙන් බේරීමට වනගත විය. වියට්නාමයේ සිය බලය රැක ගැනීමට යුද වැදී සිටි ඇමෙරිකානුවෝ සිය හෙංචයියකු වූ කාම්බෝජ හමුදා නායක ලොන් නොල් බලයේ පිහිටු වීම පිණිස යුද හමුදා කුමංත්‍රණයක් දියත් කළේ ය. සිහනුක් චීනයට පැන ගියේ ඇමෙරිකානු ගැති හමුදා පාලනයට එරෙහිව මාඕවාදී පොල්පොට් සමඟ සන්දානයකට එළඹියේ ය. වියට්නාම් ගරිල්ලන් සැගවී සිටින්නේ යැයි කියූ කාම්බෝජ පෙදෙස් දිගින් දිගටම ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයන්ට ලක් වූ අතර කාම්බෝජ වැසියන් 150,000ක් එම ප්‍රහාර නිසා මරණයට පත් විය. ගරිල්ලා ව්‍යාපාරය ක්‍රමයෙන් ජනතා සහයෝගය ලබමින් තිබුණි.
1975 දී වියට්නාම් විප්ලවය ජය ගත්තේ, ඇමෙරිකානු හමුදා ලද මේ තාක් ලද එකම සමස්ත පරාජය සනිටුහන් කරමිනි. ඒ පසු පසින් අනෙක් ඉන්දු චීන රාජ්‍යයන් වූ කාම්බෝජයේ ද ලාඹ්සයේ ද වූ ඇමෙරිකානු ගැති පාලන බිද වැටී ගරිල්ලා හමුදා බලය අල්ලා ගත්තෝ ය. කෙමර් රූෂ් බලයට ආවේ ය.

ඉන් වසර 12කට පසු ඒ ඇන්ඩ් එම් සරසවි බිමෙහි හුදකලාව තමා පසු කර යනෙන මිනිසුනට සිය රටෙහි සිදු වූ ජනඝාතනය ගැන කතා කිරීමට උත්සාහ දරමින් සිටි ඒ මිනිසා, එනම් යුක් චාන්ග් අද ‛කාම්බෝජ තොරතුරු මධ්‍යස්ථානය’ නම් රාජ්‍ය නොවන සංවිධානය එරට අගනුවර වන නොම්පෙන්හි පවත්වා ගෙන යයි. පොල්පොට්ගේ ඝාතන දේශපාලනයට එරෙහිව කාව හෝ නම්මවා ගැනීමට උත්සාහ කිරීමෙන් නොනැවතුනු යුක් චාන්ග් ඒ කාලය පුරා සරසවි පුස්තකාල සිසාරමින් තොරතුරු එකතු කිරීමේ ද යෙදුනේ ය. 2006 ජූලි 17 දා අන්තර් ජාතික විනිසුරන් කාම්බෝජයට පා තබන විට හිටපු පාලකයිනට එරෙහිව යුද අපරාධ ගොනු කිරීමට අවශ්‍ය කමර් රූෂ් පාලනයේ ඝාතන යාන්ත්‍රණය පිළිබඳ තොරතුරු විශාලතම සංඛ්‍යාව තිබුනේ යුක් චාන්ග්ගේ ‛කාම්බෝජ තොරතුරු මධ්‍යස්ථානය’ හි ය.
දශ ලක්ෂ ගණනින් යුදෙව් ජනයා ඝාතනය කළ ජර්මනියේ නාසි ඝාතකයන් මෙන් පොල්පොට් ඝාතන යාන්ත්‍රණ ය ද පුදුමාකාර ලෙස විස්තරාත්මක වාර්තා පවත්වා ගෙන ගොස් තිබුණි. පනස් දෙනෙකු තරම් කාර්‍ය මණ්ඩලයක් ඇතිව කටයුතු කරන කාම්බෝජ තොරතුරු මධ්‍යස්ථානය ඒ වන විට පිටු ලක්ෂ හයක් ඉක්මවූ සාක්ෂි එක් රැස් කර තිබුණි. ඒ අතර පොල්පොට් සිරකඳවුරුහි ඝාතනය කරන ලද පිරිස් කෙරෙන් ලබා ගන්නා ලද පාපෝච්චාරණ, විදුලි පණිවිඩ, රුස්වීම් වාර්තා, නිර්දේශ, සමූහ මිනීවලවල් 20,000ක, සිර කඳවුරු 189ක සහ ස්මාරක 80 සිතියම්, ජායරූප 6,000ක්, වාර්තා විත්‍රපට 200ක් සහ හිටපු කාමර් රූෂ් සොල්දාදුවන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ජා 6,000ක් ද විය.

1975 අප්‍රෙල් 17 දා කමෙර් රූෂ් ගරිල්ලා හමුදා නොම්පෙන් නුවරට ගමන් කළේ නාගරිකයිනගේ ප්‍රීතිඝෝසා මැද ය. වසර 30 ක් තරම් පැවැති සිවිල් යුද්ධය අවසන් වීම ජනයාගේ සතුටට කාර්ණය විය. එසේ නමුත් ගරිල්ලා හමුදාව තමන් සමඟ සතුටුවීමට නොපැමිණෙන බව දුටු නගර වැසියෝ තරමක වික්ෂිප්තියට පත් වූහ. එම කණස්සල්ල ප්‍රයෝගික බවට පැමිණියේ පැය ගණනාවක් තුළ නගරයේ සියළු වැසියන් නගරය හැර යා යුතු බවට කෙමර් රූෂ් ගරිල්ලන් විසින් කළ නියෝගය නිසා ය. ඇමෙරිකානුවන් නගරයට බෝම්බ දැමීමට සැළසුම් කරන බැවින් නගරය ජන ශූන්‍ය කරන බව අලුත් විප්ලවවාදී පාලකයෝ කියා සිටියහ. නමුත් නගරය වසර ගණනාවක් පුරා ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයන්ට මුහුණ ද තිබුණි. එකළ නගරය හැර යාමට කිසිවකු උනන්දු වූයේ නැත. මේ බෝම්බ ප්‍රහාර කතාව ගොතා තිබුණේ පොල්පොට්ගේ ‛ගැමි සමාජවාදය’ සහ ‛සමාජ පරිශෝදනය’ සඳහා සඳහා නොම්පෙන් හිස් කිරීමට ය.

අමානුෂිකත්වය සහ දැවැන්තබව අතින් නූතන ලෝකය කම්පාවට පත් කළ කාම්බෝජ ජන ඝාතනය ඇරඹුනේ එලෙස නොම්පෙන් හිස් කිරීම සමඟ ය. නොම් පෙන් පමණක් නොව කාම්බෝජයේ සියූළු නගර ජන ශූන්‍ය කෙරුණි. මහ මඟ පමණක් 20,000ක් මිය ගියේ ය. අනතුරුව එලෙස පලවා හරින ලද ජනයාට උදෑසන 4.00 සිට රාත්‍රී 10.00 දක්වා රාජ්‍ය ගොවිපල හි වැඩ කිරීමට බල කෙරුණි. කෑමට ලැබුණේ දෙදිනකට බත් ග්‍රූම් 180ක් පමණකි. සමාජය ශුද්ධ කිරීම පිණිස යැයි කියූ නිරනුකම්පික ව්‍යාපාරයක් දියත් කරනු ලදුව වෛද්‍යවරු, ගුරුවරු, නීතිඥයෝ යනාදී ශ්‍රස්ත්‍රඥ ජන පිරිස් අත් අඩංගුවට ගෙන මරා දමන ලදී. පැරණි හමුදාවෙහි සාමාජිකයන්ගේ පවුල් පිටින් ම ඝාතනය කෙරුණි.

යුක් චාන්ග් වැනි මිනිසුන් ලොව පුරා සටන් කරමින් සිටියේ මෙම කුරිරු ඝාතන පිලිබඳ යුක්තිය ඉටු කරන ලෙස බල කිරීම පිණිස ය. එසේ නමුත් කාම්බෝජය සහමුලින්ම චාගේ ලෝක ජනමාධ්‍යයෙන් වසා තිබුණි. බලයට පත් කමර් රූෂ් පාලකයෝ රඑට තිබූ සියළු බටහිර විදේශ තානාපති කාර්‍යාල වසා දමන ලදී. සියළු විදේශිකයින් පිට මං කෙරිණ. ලෝකයෙන් වසා ලක්ෂ ගණනින් ජනයා මරා දැමෙත් දී චීනය අන්තර් ජාතික මන්ඩපයන්හි කාම්බෝජයේ ජන ඝාතක ආණ්ඩුව ආරක්ෂා කළේ එය එරට අභ්‍යන්තර ප්‍රශ්ණයක් බව කියමිනි. රාජ්‍යයේ සෛවරීබව රැක ගැනීමේ තර්කය මරා දැුමුණ දශ ලක්ෂ ගනනාව සාධාරණය කිරීමට යොදා ගැනුණි.

1975 සිට 1978 දක්වා දශ ලක්ෂ විස්සක් කාම්බෝජියානුවන් ඝාතනය වන අතරවාරයේ ලෝකය නිහඩව සිටියේ ය. අන්තිමේ දී 1978 දෙසැම්බර් 25 දා වියට්නාමය කාම්බෝජයෙන් එල්ල වන දේශසීමා ප්‍රහාර නතර කිරීමේ මුවාවෙන් සමස්ත ආක්‍රමණයක් දියත් කර පොල්පොට්වාදී කෙමර් රූෂ් පාලනය වනයට පළවා හරින ලදී. මිනිස් ඝාතන නතර විය. ඉන් අනතුරුව විසි වසරක්ම චීනයේ සහාය ලද කෙමර් රූෂ් ගරිල්ලෝ වියට්නාම් හමුදා විසින් පිහිටුවන ලද පාලනය සමඟ යුද වැදී සිටියහ. එසේ නමුත් 1980 ගනන් පුරා එරට සිදුවූ මානුෂ්‍ය ඝාතන පිළිබඳව සාක්ෂි මතු වෙමින් තිබුණි. 1990 ගනන් මුලදී කෙමර් රූෂ් පාලනයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද යුද අපරාධ චෝදනා එල්ල කළ යුතු බවට වූ හඬ වැඩියෙන් ඇසෙන්නට පටන් ගත්තේ ය. කෙමර් රූෂ් ගරිල්ලා ව්‍යාපාරය 1996 දී පමණ නැත්තටම නැති වී ගියේය.

යුක් චාන්ග් ඇමෙරිකාවට පැන ගියේ සිය දෙමාපියන් සහ පවුලේ තවත් සාමාජිකයින් කෙමර් රූෂ් හමුදාව විසින් ඝාතනය කිරීමෙන් පසු ය. මෙම අපරාධයන් සම්බන්ධයෙන් කවදා හෝ යුක්තිය ඉටු කරවා ගැනීම ඔහු වැනි බොහෝ කාම්බෝජ පිරිමින් සහ ගැහැනුන්ගේ ජීවිත අපේක්ෂාව බවට පත්ව තිබුණි. 1997 දී කාම්බෝජ ආණ්ඩුව පොල්පොට් සහ ඔහුගේ මිනීමරු සගයින් අධිකරණය ඉදිරියට පැමිණ වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආධාර ඉල්ලා සිටියේ ය. කෙමර් රූෂ් නඩු විභාග නමින් හැදින්වෙන අධිකරණය ඇරඹුණේ එලෙස ය.

පොල්පොට්ගේ කෙමර් රූෂ් පාලන සමයෙහි මරණය හා සමාන බියක් ජනිත කළ පුද්ගයකු වූයේ හිටපු ගණිත ගුරුවරයකු වූ ඩච් යන ආරූඩ නාමයෙන් හැදින්වුනු ටුඅල් සෙන්(ග)ල් සිර කදවුර බාරව සිටි ඝාතකයා ය. මෙම සිර කදවුරට ගෙන යන ලද 20,000 කට ආසන්න පුද්ගලයින්ගෙන් දිවි ගැලවුනේ 17 දෙනෙකුගේ පමනි. ‛කාම්බෝජ තොරතුරු කේන්ද්‍රය’ දිවා රෑ වැඩ කරමින් අධිකරණය ඉදිරියට ගෙන ආ එක් නඩු විභාගයක් වූයේ එය යි. ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශ කිරීමට නියමිත මෙම නඩු තීන්දුව කෙමර් රූෂ් පාලකයින් විසින් ඝාතනය කරන ලද විසි ලක්ෂයක් වූ කාම්බෝජ ජාතිකයිනට යුක්තිය ඉටු කිරීමේ තීරණාත්මක පියරවරක් වනු ඇත. එමෙන්ම කෙමර් රූෂ් පාලනයේ ජීවත්වන නායකයින් ගනනාවක් ම දැන් මෙම යුද අපරාධ අධිකරණය හමුවට පනවා සිටිති.

මෙම අධිකරණ ක්‍රියාවලිය ඇරඹුණේ ම කාම්බෝජ රජයේ ඉල්ලීම සහ අන්තර් ජාතික බලපෑම අනුව ය. එමෙන්ම පරාජය වූ කෙමර් රූෂ් පාලනයට එරෙහිව ය. දශ ලක්ෂ විස්සක් තරම් ජනතාවක් අමු අමුවේ ම ඝාතනය කිරීම පාදක කොට ගෙන ය. ඒ වසර විස්සකට පසු ය.

නොම්පෙන් නුවර සිය කාම්බෝජ තොරතුරු කේන්ද්‍රයේ දවසට පැය 14ක් පමණ වැඩ කරන යුක් වාන්ග් කියන්නේ මෙසේ ය. “ මගේ අම්මයි තාත්තයි මරණව මම දැක්ක. අපේ ජනගහණයෙන් හතරෙන් එකක් බිලි වුණා කෙමර් රූෂ් භීෂණයට. අපට යුක්තිය අවශ්‍ය කරන්නේ පළි ගන්න නොවෙයි. ආයෙ කවදාකවත් මේ වගේ අපරාධයක් මගේ රටේ විතරක් නොවෙයි ලෝකේ කොහේවත් සිදු නොවෙන්න. මම තවමත් ලෝකයෙන් අහන්නේ අපේ රටේ ලක්ෂ විස්සක් මිනිස්සු මරා දාන කං ලෝකෙ බලාගෙන හිටියේ ඇයි කියලා”