iMAGE:  Vikalpa

ඡන්දය ජනතාවගේ ශුද්ධ අයිතියකි. එය රට ගොඩනැගීමේ හා ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සුදුසු පාලකයන් තෝරා පත්කර ගැනීමේ ජනතාව සතුවන බලය පිළිබිඹු කරන උපකරණයයි. මේ ශුද්ධ අයිතිය උක්ත කාලය සඳහා ජනතාව විසින  වඩාත් යහපත් ආකාරයෙන් පාවිච්චි කළේද යන්න පිළිබඳ ස්වයං සමාලෝචනයක් කළ යුතු තීරණාත්මක මොහොතක් එළඹ තිබේ. ඒ ස්වයං සමාලෝචනය තුළ සිදුවන පසු විමසුම් හා සංවාද තුළ පමණක් සත්‍ය ලෙසම ජනතාවට සැබෑ විකල්පය හඳුනා ගත හැකි බැවිනි.

හැත්තෑ වසරක් පුරා දිවෙන මෙරට පක්ෂ, වර්ණ, සලකුණු මත ගොඩනැගෙන දේශපාලනය තුළ ජාතික ප‍්‍රතිපත්ති මත දේශපාලනයේ නිරතවන පාලක පිරිසක් හෝ ඒ සඳහා පෙළගැසෙන පුළුල් ජනතා බලවේගයක් තිබූ බවට පැහැදිලි සාක්ෂි හඳුනා ගත නොහැක. යම්කිසි සාධනීය වැඩ පිළිවෙළක් තිබුණ එකම අවධිය ලෙස හඳුනාගත හැකිව තිබුණේ 70-75 සමගි පෙරමුණ ආණ්ඩුව තුළ ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිට්ස් පක්ෂය වැනි වාමවාදී නැඹුරුවක් සහිත පක්ෂවල ප‍්‍රගතිශීලි කි‍්‍රයා පිළිවෙත බව කිව යුතුය. එහෙත් ඒ තුළ වූ ගැටලු රටට හිතකර ලෙස හඳුනාගෙන නිරාකරණය කරනවා වෙනුවට නැවත නැවතත් ජනතාව ඉදිරියේ උලුප්පා දක්වමින් එකල විපක්ෂය 77 දී බලයට පත්වූයේ හයෙන් පහක ජනතා වරමක් ලබාගෙනය. ජාතිකත්වය, ආගම, කුලය, දරිද්‍රතාවය, අධ්‍යාපන තත්ත්වය හා විරැකියාව පදනම් කර ගනිමින් ජනතාව බෙදා වෙන්කර මැතිවරණ අභිමුව ආකර්ෂණිය ඡන්ද පොරොන්දු හරහා ජනතාව තමන් වෙත දිනා ගැනීම ට කටයුතු කිරීම මෙරට මැතිවරණවල සුලභ දසුනකි.

විවෘත ආර්ථික  මොඩලය තුළ ආණ්ඩුව 82 හඳුන්වා දුන් ජනමත විචාරණය මෙරට මැතිවරණ ඉතිහාසය උඩ යටිකුරු කළේය. ජනප‍්‍රිය දේශපාලන ධාරාවක් රට තුළ නිර්මාණය කරමින් පක්ෂ මත නොව පුද්ගල කේන්ද්‍රයව ගොඩනැගුණ මනාප ක‍්‍රම ය තුළ බිහි කළේ දේශපාලන සුපර්ස්ටාස්ය. ඔවුන් වෘත්තීය දේශපාලනයේ යෙදෙමින් තම අඹු දරුවන් පමණක් නොව ඥාති පරපුරවල්ද පෝෂණය කළේ මහජන මුදලින් ය . විශාල පිරිවැයක් දරමින් නඩත්තු වන ප‍්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව  දක්වාම මෙය කොන්දේසි විරහිතව වලංගුය. වරෙක ඔවුන් ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටින කූප‍්‍රක ට ජාවාරම්කරුවෝය, කොන්ත‍්‍රාත් හෝ රජයේ සැපයුම්කරුවෝය. ස්කාගාර හෝ තැබෑරුම් හිමිකරුවෝ ද ලෙස කටයුතු කරමින් රජයේ වරප‍්‍රසාද ලබමින් අති විශාල මුදල් සම්භාරයක් උපයා ගත්තෝ වූහ. තම පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරවලට බර පැන දැරුවෝද මොවුන් ය . බොහෝ රාජ්‍ය අංශයේ රැකියා ප්‍රතිපාදනය  කළේ දේශපාලන හිතවත්කම් පදනම් කරගෙනය. මේවා ජනතාව හොඳින් දන්නා කූප‍්‍රකට කරුණුය. එහෙත් පාලකයන් ජනතාවගේ පරමාධිපත්‍ය ගැන දොඩමින් ඡුන්ද අයිතිය ජනතාවගේ දරිද්‍රතාවය මත බැඳ තබා ඊනියා පොරොන්දු දෙමින් කොල්ලකාරී ලෙස තම ඡුන්ද පදනම තහවුරු කර ගත්තේ මේ ජනතා නිහඬතාවය තුළය.

ආගමික නායකත්වය හා විද්වත් කොටස් හරහා දෙපිය වරකින් ජනතාවට ආමන්ත‍්‍රණය කළේ මේ කූට දේශපේ‍්‍රමියෝය. ඒ වෙනුවට ඔවුන්ට වරප‍්‍රසාද ලැබුණා හෝ එළඹෙන මොහොතක ලැබෙන්නට ගිවිසාගෙන තිබෙන්නටද පිළිවන. පසුගිය දිනවල අසන්න ට ලැබුණ ඇතැම් විහාරස්ථානවල පිං පෙට්ටිවලට ඉබි යතුරු වැටෙන විට තෝරාගත් විහාරස්ථානවලට දහසින් නොව මිලියන ගණනින් බැඳි පියලි ප‍්‍රදානය කරන්නේද දූෂිත ඊනියා විද්වතුන් යැයි කියා ගන්නා කොටස් වල නැවත කල එලි බැසීමද සිදු වන්නේ මේ ක‍්‍රමය තුළ ය.

මෙරට තුළ කි‍්‍රයාත්මක බොහෝ ජනමාධ්‍ය මධ්‍යස්ථ මතයක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කිව නොහැකිය. බොහෝ මාධ්‍ය කි‍්‍රයාත්මක වනුයේ අයිතිකරුවන්ගේ හා පාලක පක්‍ෂවල දේශපාලනික හිතවත්කම් පදනම් කරගෙනය. ඒ නිසාම වඩාත් ජනතාවාදී සංකල්පවලට වටිනාකමක් හෝ ඉඩක් ලබා දෙන්නේ ඉතාම අඩුවෙන්ය. වඩාත් ආකර්ෂණිය ප‍්‍රචාරක උපක‍්‍රම යොදා ගනිමින් ඔවුන්ගේ මතය පොදු මතය ලෙසත් ඔවුන් ආමන්ත‍්‍රණය කරන්නේ මෙරට සබුද්ධික ජනතාවම බවත් පැවසීම කෙතරම් ජුගුප්සාජනකද ? ලී- ක්වාන්  යූ, මාවෝ සේතුන්, ගාන්ධි වැනි මහා චරිත නැවත උත්පාදනය කරන්නට උත්සාහ කරන්නේ මේ හැත්තෑ වසරක් වියපත් දේශපාලන ගර්භාෂය තුළය.

ඒ වෙනුවෙන් පෙළ ගැසෙන ‘ගොබෙල්ස්’ පීතෘවරුන්ද බොහෝය. නව ලිබරල්වාදය තුළ චීන ව්‍යාප්තවාදය ගැන මුනිවත රකිමින් ඇමරිකානු ව්‍යාප්තවාදයට එරෙහිව අවි අතට ගන්නා දේශපාලන ඔස්තාර්ලා  බිහි කරනුයේද මේ හිත මිතුරු මාධ්‍ය සංග‍්‍රහ තුළය.

විකල්පය මේ මොහොතේ විවිධ මුහුණුවරින් ජනතාව ඉදිරියේ ප‍්‍රාදුර්භූත වන අතර සැබෑ ජනතාවාදී විකල්පය හඳුනාගත යුතුය. ඒ ප‍්‍රධාන දේශ පාලන ධාරාවන් තුළින්ම විකල්පය යැයි කිය ගන්නා කණ්ඩායම් හෝ පුදගලයින් මේ මොහොතේ බිහි වෙමින් තිබෙන නිසාය. ඇතැම් පක්ෂ තුළ අභ්‍යන්තර අරගල හරහා පවතින ක‍්‍රම යට අභියෝග කරමින් විකල්පය නිර්මාණය කරන අතර පරණ මුහුණු වෙනුව ට අලුත් මුහුණුද, යුරෝපීය ඇඳුම් වෙනුවට ජාතික ඇඳුමද, වැඩිහිටි වෙනුවට තරුණ ජවයද මේ බාහිර ප‍්‍රතිරූප නිර්මාණය කරයි. ජනතාව හමුවේ ඇති සැබෑ අභියෝගය නම් විකල්ප ය සොයා ගත යුත්තේද මේ දේශපාලනය තුළින්ම වීමයි. එය තනි පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පමණක් කළ හැකි නොවේ. හදිසියේ ආකාස්මිත වන චරිතයකටද මෙය කළ නොහැකිය. මෙරට දේශපාලනය පිළිබඳ මනා අවබෝධයකින් යුතු වඩාත් පොදු අරමුණු වෙනුවෙන් කැපවිය හැකි මනා ශික්ෂණයෙන් යුතු විභවයකට හැර කළ හැකි යැයි විශ්වාස කළ නොහැක. එය හුදු මැතිවරණයකට හෝ යම් අපේක්ෂකයෙකුගේ ජයග‍්‍රහණය සඳහා නොව රට ගොඩනැගීමේ අරමුණෙන් යුතු ජාතික ප‍්‍රතිපත්ති පෙරදැරි කර ගත් පුළුල් ව්‍යාපෘතියක් විය යුතුය. එය මෙරට දේශපාලන සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක් වනුයේ මේ සැබෑ ජනතා අරමුණු වෙනුවෙන් පෙළ ගැසෙන ආකාරය අනුවය.

එමෙන්ම රට ගොඩනැගීමේ පොදු අරමුණක් වෙනුවෙන් තම දේශපාලන මතවාද පසෙකලා එක්වන්නට කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට මේ මොහොතේ කිසිදු බාධාවක් තිබිය යුතුද නැත. එය ප‍්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද පදනම වෙනස් කිරිමේ ආදේශකයන් හෝ තම ප‍්‍රතිරූප ගොඩනගා ගැනීමේ කූට අරමුණුවලින් තොර සැබෑ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් තෙවෙනි බලවේගයක පොදු නියෝජනය විය යුතුය.
මේ අතිශය තීරණාත්මක මොහොතේ ඊට උරදෙමින් එය තම කාර්යභාරය ලෙස සලකන විවිධ ක්ෂේත‍්‍රයන් නියෝජනය කරන ප‍්‍රාමාණික විද්වතුන්ද සංවාදශීලි බලවේගයන්ද පමණක් නොව එළඹෙන නිශ්චිත මොහොතේ ස්වයං සමාලෝචනයක යෙදෙමින් ඒ සඳහා දේශපාලනික ශක්තිය ලබා දෙන්නට ශී‍්‍ර ලාංකික සබුද්ධික ජනතාවද පෙළ ගැසිය යුතු කාලය එළඹ තිබෙන බව කිව යුතුය.

රංජිත් ගමගේ | Ranjith Gamage